ජාතික හැඳුනුම්පත වෙනුවට ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක්

ජාතික හැඳුනුම්පත වෙනුවට ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දැනට නිකුත් කරන ජාතික හැඳුනුම්පත වෙනුවට ආරක්ෂාව සඳහා වැදගත් තොරතුරු ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතියි. මෙම නව හැඳුනුම්පත දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පතෙහි අන්තර්ගත කර නොමැති නවීන ආරක්ෂිත සංකේත ඇතුළත් කර වර්තමාන අවශ්‍යතාවනට ගැළපෙන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව සකස් කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සංකල්පය 1954 ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ බිහි වී ඇති අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 1971 ඔක්තෝම්බර් 01 වන දින ආරම්භ කර ඇත.

මේ අනුව, 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත මගින් වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අරමුණින් මෙය බල ගන්වා ඇත. මෙයට 1971 අංක 28 හා 1981 අංක 37 යන සංශෝධන දෙක අලුතින් එක් කර ඇත. 1971 කැරැල්ලෙන් පසුව ආරක්ෂක කටයුතු හේතුවෙන් පුද්ගලයන් හඳුනා ගැනීමේ අවශ්‍යතාව මත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම 1972 වසරේ දී ආරම්භ කර තිබේ. දැනට නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත මිනිස් ශ්‍රමය උපයෝගී කර ගනිමින්, අතින් සිදුවන කල් ගතවන ක්‍රියාවලියකි. ජාතික ආරක්ෂාව සඳහා වැදගත් වන දියුණු රටවල්වල භාවිතා කරන මෙහි වර්තමාන අවශ්‍යතා සහ නවීන ආරක්ෂිත සංකේත කිසිවක් දැනට වලංගු ජාතික හැඳුනුම්පතෙහි නොමැතිවීම නව හැඳුනුම්පත නිකුත් කිරීමට බලපා ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 1972 සිට 2011 වසරේ අගෝස්තු අවසන් වන විට ජාතික හැඳුනුම්පත් දෙකෝටි පනස් අට ලක්ෂ හැට පන්දහස් හයසිය තිස් අටක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ. වසරකට දළ වශයෙන් ලක්ෂ 09 කට ආසන්න හැඳුනුම්පත් ප්‍රමාණයක් නිකුත් කෙරෙනු ඇත. මේ සඳහා නව හැඳුනුම්පත්, අනු පිටපත්, සංශෝධන, එක් දින සේවය හා ජංගම සේවය ද මෙයට ඇතුළත් වේ. මේ අතරින් නව හැදුනුම්පත් ලක්ෂ 04ක් පමණ වසරකට නිකුත් කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරේ. මෙම ජාතික හැඳුනුම්පත් ලබන්නන්ගේ පහසුව සඳහා 2003 සැප්තැම්බර් 01 වන දින සිට රුපියල් 500ක මුදලක් අය කර ලබාදෙන එක් දින සේවය ආරම්භ කරන ලදී.

තවද 1972 සිට 2004 දක්වා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී භාවිත කරන ලද කළු - සුදු ඡායාරූපය වෙනුවට 2005 ජුලි 01 වන දින සිට වර්ණ ජායාරූපය සහිත හැඳුනුම්පත් නිකුත් කිරීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලදී. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා වතුවලින් වසරකට අයදුම්පත් 2000 ක ද 90%කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙනු ඇත්තේ පාසල් හා පිරිවෙන්, ජංගම සේවා ඇතුළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාය. වසර 30ක යුද්ධයෙන් පසුව උතුරු - නැඟෙනහිර නැවත පදිංචි කර ඇති ජනතාවගේ නැති වූ හැඳුනුම්පත් වෙනුවට නැවත හැඳුනුම්පත් නිකුත් කිරීම ද මේවන විට සාර්ථකව සිදුකර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නව වැඩපිළිවෙළ තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මෙන්ම සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට ද පහසුවක් වන බව එදා මෙදා තුර පුරවැසියන් වෙත හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් සිදු කරනු ලැබුව ද කළු සුදු ජායාරූප වෙනුවට වර්ණ ජායාරූප යෙදීම හැර අන් කිසිදු නව වෙනස්කමක් සිදුවූවා යැයි පැවසිය නොහැක. එහෙයින් යුගයට ගැලපෙන අයුරින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නව දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ. මේ සඳහා තාක්ෂණික උපදේශක සේවාවන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය එක්ව ලබාදීමට නියමිතය. මෙම නව ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 14.5 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. මෙහි පළමු කාර්යය ලෙස පුද්ගලයින් හඳුනා ගැනීමේ දත්ත තැන්පත් කිරීම සඳහා විද්‍යුත් දත්ත ගබඩාවක් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිතය.

මේ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දත්ත ගබඩාව අනුසාරයෙන් නවීන සංකේත සහිත ආරක්‍ෂිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත මහජනතාවට හඳුන්වා දෙනු ලැබේ. රාජ්‍ය ආයතන, විශේෂයෙන් බැංකු හා මූල්‍ය ආයතන සහ වෙනත් ආයතනවලට අවශ්‍ය වූ විට සැක කටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමට හැකි වනු ඇත. දියුණු රටවල පුද්ගලයන්ගේ සියලු ගනුදෙනු හා සේවාවන් සිදු කරනු ලබන්නේ ජාතික හැඳුනුම්පත හෝ ඒ හා සමාන අංක පදනම් කරගෙනය. ශ්‍රී ලංකාවේ ද ඉදිරියේදී පුද්ගලයෙකුට තමන් සේවා ලබා ගන්නා සියලුම ආයතන සමඟින් මෙම හැඳුනුම්පත් අංකය භාවිත කොට ගනුදෙනු කිරීමේ අවස්ථාව මෙම විද්‍යුත් හැඳුනුම්පත හරහා එළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.අන්තර්ජාල හරහා සිදුකෙරෙන වාණිජකරණයේ මුල්‍ය ගනුදෙනු මේ වන විට ජාත්‍යන්තර මට්ටමට පුළුල් වී ඇති බැවින් ඒ සමඟ වැඩිවෙමින් පවතින අපරාධ ද මැඩපැවැත්වීමේ අවශ්‍යතාවද මේවන විට පැන නැඟී ඇත.

මේ නිසා පුද්ගලයන්ගේ සියලු තොරතුරු ඇතුළත් වන ඩිජිටල් හැඳුනුම්පතකට යාම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. අපරාධ හා වංචා අවම කිරීම, පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම හා පුද්ගල තොරතුරු අන්සතුවීම වැළැක්වීම මෙන්ම ව්‍යාජ ලෙස හැඳුනුම්පත් සකස් කිරීමට නොහැකි වන අයුරින් මෙය සකස් කිරීම ද මෙහි විශේෂත්වයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිකුත් කිරීමට අපේක්ෂිත මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ මූලික අවස්ථාවේදී දැනට ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇති පුරවැසියන් වෙත විද්‍යුත් ජාතික හැඳුනුම්පත නොමිලේ ලබාදීමට කටයුතු කෙරේ. බැංකු හා අනිකුත් ආයතනවලට පුද්ගලයන් හඳුනා ගැනීමේ හා නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ සේවාවන්වලදී අය කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එනම් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල දීර්ඝකාලීනව පියවා ගැනීමේ අරමුණින් එසේ කිරීමට සිදුවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා