ආර්ථික වාසි රැසක් ඇති මැද කන්නයේ මුං ඇට වගාව

ආර්ථික වාසි රැසක් ඇති මැද කන්නයේ මුං ඇට වගාව

මැද කන්නයක් ආරම්භ කර ඉපනැල්ලේ මුංඇට වගා කිරීමෙන් වසරකට මෙරටට පිටරටින් ගෙන්වන මුංඇට මෙට්ට්‍රික් ටොන් 14000 ක් පමණ ප්‍රමාණය අවම කර ගැනීමට හැකිවේ.

මෙරට කා අතරත් ජනපි‍්‍රය කන්න දෙක වනුයේ යල සහ මහ කන්නය යි. පාරම්පරික හේන් ගොවියා මහ කන්නය ඔක්තෝබර් සිට අප්‍රේල් මාසය දක්වා ද, යල කන්නය මැයි සිට අගෝස්තු මස දක්වාත් හඳුන්වයි. ඊශාන දිග හා නිරිත දිග මෝසම් වැසි මූලික කරගෙන කන්න දෙක ක්‍රියාත්මක කෙරේ. අගෝස්තු මාසය සිට ඔක්තෝබර් මාසය දක්වා තුන්වන කන්නය හෙවත් මැද කන්නයක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසුවේ ය. මෙරට කෘෂිකාර්මික බහු භෝග වගා සංග්‍රාමයක් තුළින් රටේ ස්වයංපෝෂිත ආර්ථිකය එදා ශක්තිමත් වූවා සේම හෙට ද එවන් තත්ත්වයන් ඇති කිරීමට මහින්ද චින්තන ප්‍රතිපත්තිය සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධව 1983 සිට 1990 වසර කාලය තුළදී කෘෂිකර්ම පර්යේෂණ ආයතනවල සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල වශයෙන් අතිරේක භෝග වගා කිරීමට සුදුසුම කාලය වශයෙන් මැද කන්නයක් හඳුන්වා දීමට රජය තීරණය කරනු ලැබීය. යල – මහ දෙකන්නයේ වාරිමාර්ග පහසුකම් ඇති හම්බන්තොට, මොණරාගල, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, හසලක, ගල්නෑව, ගිරාදුරුකෝට්ටේ වැනි ප්‍රදේශ කෙටි කාලීන භෝග වගා කිරීමට සුදුසු ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන තිබේ. මැද කන්නයේ වගා කිරීමට යෝග්‍ය වගා ලෙස මුං ඇට, කව්පි, උඳු, තල, මෙනේරි හඳුනාගෙන තිබේ.

මැද කන්නයේ ඉපනැල්ලේ සාර්ථකව වගා කෙරුණු මුං ඇට වගාවේ රන් අස්වනු නෙළීමේ මංගල්‍යය පසුගියදා ලුණුගම්වෙහෙරේ දී සිදු වූ අයුරු. කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිස එක්ව සිටී.

වී අස්වනු නෙළීමෙන් පසු ඉපනැල්ල යොදා ගනිමින් මුං ඇට වගා කිරීම ප්‍රධාන අරමුණ වේ. දැනට කර තිබෙන වගාවන්ට අනුව කර ඇති සමීක්ෂණවලින් අක්කරයකට මුංඇට කිලෝ ග්රෑම් 300 - 350 අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබාගත හැකි අතර රුපියල් 40,000 ක වැනි ආදායමක් මාස 2 1/2ක් වැනි කෙටි කාලයකින් ලබාගත හැකිවේ. සහල් නිෂ්පාදනය අතින් මෙරට ස්වයංපෝෂිත වී ඇති අවස්ථාවක වෙල් ඉපනැල්ලම යොදාගෙන මුං ඇට වගා කර පිට රටට ඇදී යන විදේශ විනිමය සම්පූර්ණයෙන්ම නතර කිරීමේ අභියෝගය ට මුහුණ දී සිටී. එම අභියෝගය පිළිගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව 2011 වසරේ දී හෙක්ටයාර් 7000 ක පමණ මුං ඇට වගාකර තිබේ.

මෙරටට මුං ඇට මෙට්ට්‍රික් ටොන් 14000 ක් පමණ පිටරටින් ගෙන්වන අතර ඉන් අඩක් පමණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගාවෙන් අඩුකර ගැනීම ඉලක්කය වේ. මුං ඇට වගාවේ රන් අස්වනු නෙළීමේ මංගල්‍යය ද පසුගියදා හම්බන්තොට දී කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ගොයම් කපා අවසන් වූ ඉපනැල්ලේ මුං ඇට වැපිරීමෙන් වගාව ආරම්භ කෙරේ. අක්කරයකට කිලෝ ග්රෑම් 10 – 15 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. 80% ක් පමණ බීජ ප්‍රරෝහණය වීමේ ශක්තිය තිබේ. උදෑසන වැටෙන පිණි බිඳු වගාවට ප්‍රමාණවත් ජලය සපයයි. වියළි තත්ත්වයන් ඇති වුවහොත් සාමාන්‍ය ජලය සැපයුමක් අවශ්‍ය වේ’ රනිල කුලයේ ශාඛයක් වන මුං ඇට වගාව නයිට්‍රජන් උරාගැනීමට මුල මණ්ඩලයේ කුඩා ගැටිති පිහිටා තිබේ.

ගසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොඳින් ලබාගැනීම සිදු කෙරේ. වගාව අස්වනු නෙළීමෙන් පසු පසට නයිට්‍රජන් බහුල වශයෙන් ලැබේ. මෙය ඊළඟ කන්නයේ වී වගාවට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. මැද කන්නයේ වගාවන් ලෙසින් ආරම්භ කර ඇති ප්‍රධාන වගාවක් වන මුං ඇට වගාව තුළින් අතිරේක ආදායමක් ලැබීමට හැකි වීම ප්‍රධාන වාසියකි. එසේම පස සරුවීම සිදුවේ. කාබනික පොහොර පසට එකතු වීම තුළින් ලවන ගතිය අඩුවී වී වගාවට හොඳ බිමක් සකස් වීම ගොවි ජනතාවගේ ජයග්‍රහණ රැසකි. සහල් නිෂ්පාදනය අතින් අප රට දැනටමත් ස්වයංපෝෂිත අතර අතිරේක ආහාර භෝග නිෂ්පාදනය අතින් තවමත් දුර්වල මට්ටමක පසුවන නිසා මෙය එය ඉදිරියට ගෙන යෑමට හොඳ වැඩ පිළිවෙළක් බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් කමල් මාන්කෝට්ටේ මහතා ප්‍රකාශ කර සිටී.

කලින් කලට සිදු කෙරෙන තාක්‍ෂණික අත්හදා බැලීම්වලට අනුගත වන ගොවි ජනතාව සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මෙවැනි වගාවන් ආරම්භ කිරීම සෙසු අයට ද ආදර්ශයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ටී. කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා