අපේ විපක්ෂය හොඳටෝම දොයි

අපේ විපක්ෂය හොඳටෝම දොයි

ලක්ෂ්මන් සෙනෙවිරත්න
ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය

ලදායිතා ප්‍රවර්ධනය යටතේ සිදුකෙරෙන්නේ මොනවාද? රටක ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව, කොළොන්නාවේ සිද්ධිය ආණ්ඩුවට බලපෑ ආකාරය, ගඩාෆිගේ ඝාතනයෙන් පසු ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ දෘෂ්ටිය යනාදී කරුණු කාරණා පිළිබඳ මේ සාකච්ඡාව ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සමඟය.

* ඔබේ අමාත්‍යාංශය යටතේ සිදුකරන කාර්යභාරය කුමක්ද?

මේ අමාත්‍යාංශයෙන් කරන පළමුවැනි දේ තමයි ඔළුව හදන එක.

* ඒ සඳහා කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවාද?

අද අපේ රටේ තියෙන බරපතළම ප්‍රශ්නය තමයි ජනතාවගේ ආකල්පවල පසුගාමී තත්ත්වය. ඒ පසුගාමී ආකල්ප වෙනසකට ලක්කළ යුතුයි. මගේ අමාත්‍යාංශය ඵලදායිතා කියලා කිව්වට මෙහි අංශ 2 ක් තියෙනවා. අනෙක් අංශය තමයි මානව සම්පත. අපි දැන් පටන් අරන් තියෙනවා ගම් මට්ටමෙන් ආදායම් මාර්ගවලින් අඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් තෝරා ගත්තා. මීගහකිවුල, කන්දේකැටිය, සොරනාතොට ඇල්ල කියලා. ඉන් ගමේ භාෂාවෙන් කියනවා නම් උණ තියෙන 10 දෙනෙක්ව තෝරා ගත්තා. මේ අයට අපි දින 3, 4 ක පුහුණුවක් දුන්නා.  ප්‍රජා ඵලදායිතාවය සහ ආකල්ප වෙනස යටතේ ගෙදර දොර වැඩකටයුතු පමණක් නොව සිතුවිලිවල පවා සුබවාදී වෙනසක් ලබා දුන්නා. ඊටපස්සේ එක වසමකින් 50 දෙනෙක් තෝරා හදන්න කියලා ඒ අයට කිව්වා. අපි හිතුවාට වඩා 70% පමණ සාර්ථක ප්‍රතිඵල අපට ලැබුණා. අපි හදපු ගම් නායකයෝ එයාලගේ ගෙදර වත්තේ වැට මායිමේ ඉඳලා කුස්සියත්, අන් සියලු ස්ථානත් පිළිවෙළකට සකසලා.

අරපිරිමැස්ම පුරුදු වෙලා. ගම්වල කසිප්පු ජාවාරම නතර වෙලා. අපි ඊළඟ පියවරට දැන් යනවා. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කරනවා. කෘෂිකර්ම නිලධාරි, සමෘද්ධි නිලධාරි, ග්‍රාම සේවක සහ සෞඛ්‍ය නිලධාරි යන රටේම ඉන්න අයටත් මේ වගේ ක්‍රමවත් පුහුණුවක් ලබාදෙනවා. ඒ අය තමයි රජයේ පණිවුඩය ගම් බිම් මට්ටමට ගෙනියන උදවිය. ඊළඟට රාජ්‍ය අංශය කාර්යක්ෂම කරන්නයි වැඩපිළිවෙළ. ඒ සඳහා ලබන මාසේ කැබිනට් පේපර් එකක් දානවා. රාජ්‍ය සේවයේ උසස්වීම් සියලු දේවල් කාර්යක්ෂමතාවය මත පමණක් සිදුවිය යුතුයි. රාජ්‍ය අංශය දියුණු වුණයි කියන්නේ පුද්ගලික අංශය ඉබේම දියුණු වෙනවා. එතැනට යන්න නම් ආකල්පමය වෙනසකට යා යුතුමයි. මෙරටේ ජනමාධ්‍යයෙනුත් කළ යුතු විශේෂ වැඩකොටසක් තමයි ඒ සඳහා පුළුල් ප්‍රචාරය ලබාදීම. එමඟින් සියලුදෙනාගේ මනස මෙහෙයවන්න රුකුලක් දෙන්න පුළුවන්.

පාසල් අධ්‍යාපනයටත් ඵලදායිතාවය ඇතුළත් කරන්න අපේ යෝජනාවක් තියෙනවා. අපේ දරුවන්ට තමන්ගේ දක්ෂතාවය හඳුනාගෙන එතැනින් එහාට යා යුත්තේ කොහාටද? යන මාර්ගය, ඒ සඳහා යොමු වන ආකාරය මඟපෙන්වා දෙනවා. ස්වයංරැකියා සඳහා දැනුම ලබාදීම, ණය පහසුකම් ලබාදීම තව ක්‍රමයක්. ආබාධිත අය දැනුවත් කරලා ස්වයං රැකියාවලට යොමු කරනවා. ගම්පහ වැටිලා තිබුණු පුද්ගලික ආයතන 40 ක් අපි නඟාසිටවූවා. ඒ සඳහා ඵලදායිතා ලේකම් කාර්යාලය, මානව සම්පත් නිලධාරින් ඉටුකළ අවංක කැපවීම මම ඉතාමත් අගය කරනවා. ඔවුන් ආකල්පමය වෙනසකට බඳුන් කළා. එය ඉතාමත් සාර්ථකයි. මේ රටේ ජනතාව හරි බුද්ධිමත්. රටට ආදරෙයි. හිනාවෙලයි ඉන්නේ. ඒ වගේම ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තිය ඔවුන්ට තියෙනවා.

මේ සියලු ශක්තීන් හොඳ පැත්තට හරවා ගන්න තල්ලුවක් දිය යුතු වෙනවා. මොකද අගය කිරීමක් අපේ අයට නෑ. එතැනටයි අපි ආ යුත්තේ. ඔළුව හැදුවේ නැත්නම් වෙන මොනවා කළත් වැඩක් නෑ. අපි හරි දක්ෂයි තමන්ගේ වැඩ කොටස හරියට නොකර අනුන්ට ඇඟිල්ල දිගු කරන්න. ඒ අයට මං කියනවා කාටවත් ඇඟිල්ල දිගු නොකර තමන්ටම දිගුකර ගන්න කියලා.

* පශ්චාත් යුද කාලච්ඡේදයේ මෙරටේ ශීඝ්‍ර සංවර්ධනයක් අපට දක්නට තිබෙනවා. ඒ සඳහා ඔබතුමාගේ දායකත්වය කෙබඳුද?

මේ වගේ සංවර්ධනයක් මීට පෙර කවදාද වුණේ? එජාපයේ අය කියන්නේ මොනවද වෙන්නේ කියලා. මං අහන්නේ මුන්නැහෙලාගෙන් දෙයියනේ, ඇස් දෙක ඇරලා අවට පොඩ්ඩක් බලන්න. බදුල්ල දිස්ත්‍රික්කයට 80% ක් විදුලිය දීලා ඉවරයි. 2012 වෙනකොට 100% ක්ම සපිරෙනවා. ඒ වගේම මං මාවත් හරිම කඩිනමින් ඉදිකෙරිලා. මහියංගනයට යන්න ඉස්සර පැය 4 ක් ගතවුණා. දැන් පැය 1 මිනිත්තු 15 කින් ගමන ඉවරයි. පාරේ යන අයත් කල්පනා කරන්න ඕනෑ විනයගරුකව ගමන් කරන්න. තමන්ගේ ආකල්ප වෙනස් කර ගැනීම කාගේත් යුතුකම. අපි හිතන පතන විදිහ වෙනස් නොකළහොත් අපි කොහෙද නතර වෙන්නේ? මහජන චීනය වගේ දියුණුවේ හිනිපෙත්තටම යන්න අපටත් පුළුවන්. ඒකට ආකල්ප වෙනස් කරගත යුතු වෙනවා. අපි උත්සාහ දරන්නෙත් විවිධ වැඩමුළු තියලා මේ අයගේ ඔළුව හදන්න. ඊට පස්සේ ඒ අය හිතන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා. මේක බැලූ බැල්මට නොපෙනෙන දෙයක් වුණාට මිනිස් ක්‍රියාකාරිත්වයත් සමඟ දක්නට ලැබෙන දෙයක්. භෞතිකව රටේ සිදුවන සංවර්ධනයට මේ ආකල්ප සංවර්ධනයත් එකතු වුණාම අපි මහජන චීනයට නොදෙවෙනි වේවි.

* රටක ප්‍රබල විපක්ෂයක් සිටිය යුතුයි. අපේ රටේ විපක්ෂය මතභේදයට තුඩු දීලා. ඔබ විපක්ෂයේ සිට පැමිණි අයෙක්. මේ ගැන ඔබ දක්වන අදහස් කුමක්ද?

ඕකට උත්තර දෙන්න පුළුවන් කෙනත් මම තමයි. ඔබ කියූ දේ හරි. රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. නමුත් අපේ විපක්ෂය හොඳටෝම දොයි. විපක්ෂයක් මේ රටේ නැතුව නොවෙයි. විපක්ෂයේ කාර්යභාරය කරනවාට වඩා ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඇතුළේ හැල හැප්පීම්. මමත් එහි ඉඳිද්දි පක්ෂ නායකත්වය සමඟ ගැටුණා. දැන් වසර 5 කට මැතිවරණයක් නෑ. දැන් විපක්ෂයට තියෙන්නේ ඇතුළේ ඇණකොටා ගන්නා එක පැත්තකට දාලා සියලුදෙනා එක්වෙලා තමන්ගේ රාජකාරිය කරන එකයි. ඒ වගේම විපක්ෂය හැම දේකටම විරුද්ධ නොවී හොඳ දේවල්වලට සහයෝගය දිය යුතුයි. විපක්ෂයට වෙලා තියෙන්නේ නායකයෝ වැඩි එකයි. හැමකෙනාම අනාගත ජනාධිපතිවරු, අගමැතිවරු වෙන්න යනවා. ඒ අයට හීනෙන් පේන්නෙත් ජනාධිපතිකම් හා අගමැතිකම්.

* ඔබ විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට ආවේ ඇයි?

මම විපක්ෂයේ සිට බැලුවා හැමදාමත් මොනවද වෙන්නේ කියලා. මට මහින්ද රාජපක්ෂ මහත්තයා ආරාධනාවක් කළා. මම එතුමාව දන්නේ බොහෝම කලක සිට. අපි අවුරුදු ගණනාවක් ඉඳලා විපක්ෂය තුළ ඇණකොටා ගන්නවාට වඩා නරකද රටට උදව් කරන එක. ආණ්ඩුවත් සමඟ එකතුවෙලා ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙළට උදව් කරන එක. මම නම් හිතන්නේ අපේ යුතුකම එයයි.

* පසුගියදා කොළොන්නාවේ සිද්ධියත් සමඟම බොහෝ අය චෝදනා කළා ආණ්ඩුවේ අයම එකිනෙකාට එරෙහිව ඇණ කොටා ගන්නවා කියලා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේක මගේ පුද්ගලික අදහසක්. මේක ආණ්ඩුවටත් රජයටත් දොස් කියන්න කාරණයක් නොවෙයි. මේ දෙන්නගේ තිබුණේ පෞද්ගලික මත ගැටුමක්. ඒක බොහෝම දරුණු වෙලා ගියා. ඉතින් මේකට ආණ්ඩුවට දොස් කියන්නේ ඇයි? අපේ අය වැස්සත්, පෑව්වත්, බස් එකක් හැප්පුණත් බනින්නේ ආණ්ඩුවටයි. පුරුදු වෙලා තියෙන්නේ කෝකටත් තෛලය ආණ්ඩුව කියලා. ඒකයි එහෙම දොස් කියන්නේ. ආකල්පවල වෙනසක් නැතිකමයි. ඒකනේ පැහැදිලි කාරණාව.

* අපි කොතරම් ආකල්ප ගැන කතා කළත් මෙරටේ අපරාධ රැල්ල ඉහළ බව විවිධ ප්‍රකාශනවලින්ම පැහැදිලියි?

මාධ්‍යයේ යුතුකම තමයි මේවා පෙන්වා දෙන එක. ඒත්, තවත් යුතුකම් රැසක් තිබෙනවා. ඒවා කරන බවත් පේන්න නෑ. ප්‍රධානම දේ තමයි මෙරටේ ජනතාවගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කරන විදිහට මාධ්‍ය හැසිරෙන්න ඕනෑ. මාධ්‍යයට පුළුවන් විනාශයක් කරන්න. ඒ වගේම යහපත් ආකාරයට ගොඩ නංවන්නත් පුළුවන්. යුද්ධය අවසන් කළ යුතු බවට අරගෙන ගිය ප්‍රචාරණය ප්‍රශංසනීයයි. මිනිසුන්ගේ ජන විඥානය තේරුම්ගෙන හැසිරෙනවා නම් හොඳයි. අපේ රටේ ආගම දහමට ලැදි පිරිස වැඩියි. ඒවා ගැන වැඩිපුර ඉඩකොටසක් ලබාදිය යුතුයි අපරාධවලට වඩා.

* ගඩාෆිගේ සිදුවීමත් සමඟ බොහෝ චෝදනා කළ බටහිර රටවල් ශ්‍රී ලංකාව ගැන ප්‍රශංසනාත්මකව සිතන්න පුරුදු වෙලා. ඔබට ඒ පිළිබඳව පැවසීමට ඇත්තේ කුමක්ද?

කවුරු මොනවා කිව්වත් දෙවි දේවතාවුන් වහන්සේලා බලන රටක් ශ්‍රී ලංකාව. යුද්ධයකදී මිනිස්සු මැරෙනවා. දේපළ විනාශ වෙනවා. ඇෆ්ගනිස්ථානය, ඉරාකය යුද්ධවලදී මිනිසුන් මැරුණේ නැද්ද? බිහිසුණු යුද්ධයක් හමාර කරලා දාපු එකේ ඇති වරද කුමක්ද? යුරෝපයේ රටවල්වලට ඇති අයිතිය මොකක්ද ඒ ගැන කතා කරන්න. අපේ අය කී දාහක් යුද සිරකරුවෝ වෙලාත් මැරුණාද?  මේ අය බලන්නේ රාලහාමිට එක නීතියක්, අප්පුහාමිට එක නීතියක් විදිහටයි. ඒක වැරැදියි. රාලහාමි හරි අමෙරිකාව ඕන දෙයක් කළත් ඒවා හරි. ලංකාව වැනි රටක කෙස් ගහක් හෙළවුණත් වැරැදියි. ඒක කෙන්ද කන්ද කරනවා.  නමුත් අමෙරිකාව තමන්ට ඇඟිල්ල දිගුකර ගත්තොත් තමන් කරපු දේ ගැන උත්තර දෙන්න විදිහක් නැති වෙනවා. නමුත් අද විවිධ සිදුවීම් නිසා ලංකාව ගැන ඔවුන්ගේ අදහස් වෙනස් වේගෙන යනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා