ඔටේරෝ ප්‍රමාදයි !

ඔටේරෝ ප්‍රමාදයි !

මාරියා ඔටේරෝ මැතිනියට තවත් වරක් පාර වැරදී ඇත. එතුමියගේ ඉතිහාසය ගැන කියන්නට කැමැත්තක් නැති’මුත් වර්තමානය ගැන යමක් කිව යුතුව තිබේ. මේ මැතිනිය අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් ව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කිරීම් සඳහා ලෝකය පුරා දුව-පැන ඇවිදින කාන්තාවකි. මේ කාන්තාව ලිපිගොනු රැසක් ද කිහිලි ගන්නා ගෙන පෙරේදා ජිනීවා නුවරට කඩාපාත් වුවා ය. ඇයගේ අරමුණ වූයේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම ය.

ඔටේරෝ මැතිනිය කවුන්සිලය වෙත එන විට ඇයගේ කතාව අවලංගු කර තිබිණි. හේතුව නියමිත වේලාවට කවුන්සිලයේ නොසිටීම ය. ඔටේරෝ මැතිනියගේ ගුවන් යානය ප්‍රමාද වූයේ යැයි සමහරු කියති. ශ්‍රී ලංකාවට ලෝකයේ රටවල් රැසකින් ලැබෙන සහයෝගය දැක අමෙරිකාව සිය චෝදනා පත්‍රය සඟවා ගත්තේයැයි තවත් සමහරු කියති. අමෙරිකාව වඩාත් සංවිධානාත්මකව ඉදිරි දිනක දී එම චෝදනා පත්‍රය ඉදිරිපත් කරන්නේ යැයි තවත් සමහරු කියති. කුමක් වුව අමෙරිකාවට පාර වැරදී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද මානව හිමිකම් කවුන්සිලයේ රටවල් හතළිස් හත වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපියෙහි සඳහන් ව ඇත්තේ ශ්‍රී ලංකාවට සහයෝගය නො දෙන ලෙස හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කරන ලෙස ය. සම්බන්ධන් මහතා ද කල් යල් බලා තම යටි අරමුණ ඉස්මතු කරගෙන තිබේ. ඒ මහතාට අවශ්‍ය සංහිඳියාවක් නැත. ඒ මහතාට අවශ්‍ය සාමයක් ද නැත. දෙමළ ජාතික සන්ධානය කලක් නියෝජනය කළේ කොටි සංවිධානයේ අදහස් ය. එම සංවිධානය තව ම මතවාදයෙන් ඉවත් වී නැති බවක් පෙනෙන්නට තිබේ.

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හිතාමතා ම තම යෝජනා ඉවත් කරගන්නේ නම්; එය ඉතා වැදගත් ය. ඇතැම්විට ලෝකයේ ප්‍රකට රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය දැක බ්ලේක් මහතා හා ඔටේරෝ මැතිනිය එසේ කරන්නට ඉඩ තිබේ. කුමන තත්ත්වයක් යටතේ වුව මානව හිමිකම් කවුන්සිලයේ රටවල් හතළිස් හත අතරින් සැලකිය යුතු ප්‍රමාණයක සහයෝගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ලෝකයේ රටවල් ගණනාවක දී පැවැත් වූ උද්ඝෝෂණ, ශ්‍රී ලංකාවේ ජනතාව වීදියට බැසීම, මානව හිමිකම් කවුසලයට ගිය ශ්‍රී ලාංකේය නියෝජිතයන්ගේ සාර්ථක කාර්යභාරය ආදිය ද අමෙරිකාවේ සැලකිල්ලට ලක් ව ඇති බව පෙනෙන්නට තිබේ.

මානව හිමිකම් කවුන්සලයේ දී අපට සැලැසුමක් ඉදිරිපත් කරන්නට ඉඩ ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම සැලැසුම නම්; උගත් පාඩම් හා සන්හිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කාල රාමුවක් ඉදිරිපත් කිරීම ය. එය ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිගතහොත් එය නිරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් ද පත් කරනු ඇත. මේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලවත් පහරක් වනු ඇතැ’යි ඉහත දේශපාලන විචාරකයෝම පෙන්වා දෙති. උගත් පාඩම් කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මාස දෙකකට වඩා ගෙවී ගොස් නැත. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් ද පත්කර තිබේ.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අපට චෝදනා එල්ල කරනුයේ ශ්‍රී ලංකාව තුළ ඉතා යහපත් තත්ත්වයක් පවතින අතරතුර ය. ජාතීන් අතර සමගිය හා සන්හිඳියාව ඉතා හොඳ මට්ටමක පවතී. ඒ අතර රටේ සංවර්ධනය යහපත් ය. උද්ධමනය 2.7% ට පහළ බැස තිබේ. වාර්ෂික ආර්ථික වෘද්ධිය 8% තත්ත්වයේ පවතී. 1977 න් පසුව ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වෘද්ධිය මේ තත්ත්වයෙන් පවතින්නේ වර්තමාන යුගයේ පමණී. ඒ බව බටහිර රටවල් තේරුම් ගත යුතු ය.

ලෝකයේ බිලියන එකක් ජනතාව කුසගින්නේ පසු වෙති. දරුවෝ පස් දෙනෙක් දිනපතා සාගින්නෙන් මිය යති. ආදායම් විසමතාව ඉතා ඉහළ තත්ත්වයක පවතී. විරැකියාව, මන්දපෝෂණය, දුප්පත්කම ශීඝ්‍රයෙන් ඉහළට ගමන් කරයි. මානව හිමිකම් කවුන්සිලයේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අවධානය යොමු විය යුත්තේ ඒ දෙසට ය. සෝමාලියාවේ අනාථ කඳවුරුවල දිනපතා මියයන ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ ගණන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමතක ය. ඔවුන් උත්සාහ කරනුයේ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට අත පෙවීමට ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර හැට ගණනක් සම්පූර්ණ වී ඇති නමුදු ඔවුන්ගේ මුල් අරමුණු සමඟ ගමන් කිරීමට අපොහොසත්ව සිටී. අද ලෝක සංවාදයේ පවතින එක් අදහසක් වන්නේ එ.ජා. සංවිධානය වෙනුවට අලුත් ජගත් සංවිධානයක් පිහිටුවිය යුතු බව ය. ලෝකය පුරා පවතින දේශපාලන හා ආර්ථීක ගැටලු විසැඳීමට දැන් පවතින ජගත් මණ්ඩලයෙන් කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැත. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස වැනි මාතෘකා ජගත් සංවිධාන වෙතින් ලෝකය හමුවට එන්නේ වෙනත් යටි අරමුණු ඇතිව ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මෙන්ම නො බැඳි ජාතීන්ගේ රටවල් ද එක මතයකට පැමිණ සහයෝගයෙන් කටයුතු කරන්නේ නම්; එ.ජා.සංවිධානයේ ලෝක ඒකාධිකාරයට අභියෝග කළ හැකි ය. ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නයේ දී නො බැඳි ජාතීන්ගේ රටවල් එක මතයක සිට කටයුතු කරන බවක් දැන් – දැන් පෙනෙන්නට තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. අමෙරිකන් ව්‍යාප්තිවාදයට මෙන්ම බටහිර ධනපති රටවල ලෝක සූරාකෑමට ද මේ මඟින් විසැඳුමක් සපයා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ඒ සඳහා වේදිකාවක් කර ගත හැකි ය.

අපට අවශ්‍ය වන්නේ රටේ ස්වාධීනත්වය හා නිදහස රැකගනිමින් අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමේ ක්‍රමෝපායකි. මේ ක්‍රමෝපාය නිර්මාණය කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ හා සමාජ නායකයන් ඒකරාශී විය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා