නිදහස හිඟා කන්න ඕනෑ නෑ

නිදහස හිඟා කන්න ඕනෑ නෑ

අනගාරික ධර්මසේකර තුමා

නිදහස් රටක වෙසෙන ශ්‍රී ලාංකික අපට නිදහසේ ඉන්න ඉඩදෙන්න’ මැයෙන් බටහිර ජාතීන්ට කරන ආයාචනය ගැනත් රටේ පවතින වාතාවරණය පිළිබඳවත් අනගාරික ධර්මසේකර තුමා සමඟ ‘දිනමිණ’ කළ සංවාදයකි මේ.

* නිදහස් රටක වෙසෙන ශි‍්‍ර ලාංකික අපට බටහිර ජාතීන් නිදහසේ ඉන්න ඉඩ නොදෙන්නේ ඇයි?

පැහැදිලිව කියන්න තියෙන්නෙ අපි නිදහස් ස්වෛරී ස්වාධිපත්‍යය ඇති රටක් . ඒක අපි කාගෙන්වත් හිඟා කන්න ඕන නැහැ. එය අපි ලබා ගත්තේ සමාජමය බලවේගයන්ගෙන්. වියට්නාමය වගේ ලේ හලන යුද්ධයක් කළේවත් මැදපෙරදිග, රටවල වගේ අපි යුද වැදුණේ නැහැ. අපි මේ නිදහස සාමකාමීව විඳින්න ඕනෑ. දෙවැනි ලෝක යුද්ධයේදී පෙරමුණ ගත්තෙ රුසියාව. ඇමරිකාව පස්සෙ ඇවිත් ඒකෙ වාසිය ගන්න හැදුවා. පරාජය වෙච්ච ජපානයට න්‍යෂ්ඨික බෝම්බ දාලා ඔවුන්ගේ ශක්තිය මෙතනදී පෙන්නුවා. නමුත් එදා ලෝක බලවතා වුණේ බ්‍රිතාන්‍යයයි. මෙතනදී බ්‍රිතාන්‍යයට ලෝකයේ වැදගත්ම තැනක් වුණේ ලංකාව. ඒ නිසා ලංකාව ඩැහැ ගැනීමේ කුමන්ත්‍රණයක යෙදෙන පිරිසක් තමයි බටහිර ජාතීන් එහි මූලික අඩිතාලම තමයි අපිට මේ අත්විඳින්න දැන් සිදුවෙලා තිබෙන්නෙ.

* ඉතින් ඇයි බටහිර ජාතීන්ට අපේ රට මේ තරම් වැදගත් වෙන්නෙ.

විශේෂයෙන්ම භූගෝලීය සාධක ත්‍රිකුණාමලය වරාය හා ඒ ආශි‍්‍රත ඇති තෙල් ටැංකි. කන්ද උඩරට වගේ පාලන මධ්‍යස්ථාන. ගුවන් තොටුපල මේවගේ භුගෝලීය සාධක අධීරාජ්‍යවාදී සටනකදී වැදගත් වූ තැනක් ලෝකයේ කොහේවත් නැහැ. අධිරාජ්‍යවාදී පාලන සමයේ මවුන් බැටන් සාමිවරයා තමයි. ඉංගී‍්‍රසින්ගේ යුද්ධය මෙහෙයවූ මිනිහා. එයා හිටියෙ මහනුවර. එතන ඉඳන් තමයි යුද්ධය මෙහෙය වූයේ.

* ඔබතුමා කියන්නෙ ඉංගී‍්‍රසින්ට විරුද්ධව රට තුළ සිදු වූ කැරැල්ල ගැන?

ඔව්! එදා ඉඳන්ම ලෝක බලවතුන් කියන බටහිර ජාතීන්ට මෙවන් වටිනා දිවයිනක් තවත් නැහැ. ලෝකයේ තම පාලන මධ්‍යස්ථානය කරගන්න. එදා විර කැප්පෙටිපොළ සමඟ සටනේදී රටේ ජනතාවගෙන් 10% ක් ඉංගී‍්‍රසින් විසින් ඝාතනය කෙරුවා. හැබැයි නැවත රට නැගිට්ටා වසර 30 ක් යනකොට ඒ මාතලේ කැරැල්ලෙන්. පුරන් අප්පු ගොංගාලෙගොඩ බණ්ඩා වැනි වීරයෝ ඔවුන්ගේ ඒ ජාතිකත්වය අපේ මිනිසුන්ගේ ලේ නහරවැල්වලට කා වැදිලා තිබුණා. ඒ ජාතිකත්වය තුළ අනගාරික ධර්මපාල තුමා වැනි නායකයෝ බිහිවෙලා ගමින් ගමට යමින් බටහිර මිෂනාරි බලවේගයන්ට යටත් වීමට ඉඩනොදී මානසික වහල් බවින් මුදා ගත්තා. එයින් ගොඩ නැඟුණු බලවේගය තමයි 1956 දී මතුවෙලා ආවේ.

* නමුත් ඊට පෙර රටේ ජාතිකත්වය පරාධීන වූ මොහොතෙම නැවත විමුක්තිය ඇති කළානෙ. වාරියපොළ සුමංගල වැනි හිමිවරු.

ඔව්! ඒකෙදි අධිරාජ්‍යවාදී කොඩිය උස්සනකොට ඒකබිම දාල පාගල නැවත සිංහල කොඩිය එසවූවා. ඒකෙදි ජාතික විමුක්තිය ඇති වුණා. ඒක දිගටම ඇවිත් ධර්මපාල තුමා උපායශීලිව ලෝක බෞද්ධ බලවේග එක්තැන් කළා. ඉන්දියාවට ගිහින් බෞද්ධයන් වෙනුවෙන් හඬ නඟල ඉන්දියාව සමඟ නඩු කියල බෞද්ධ උරුමය රැකගත්තා. බෞද්ධයන්ගෙ නායකත්වය ලංකාවට ගත්තා. ආසියාවේ බෞද්ධ බලවේගය ලංකාව වටා පෙළ ගැසුවා. මේක ලෝක බලවතුන්ට මුහුණ දෙන්න අපට ලොකු ශක්තියක් කර ගත්තා. එදා එතුමාට තිබුණ පිළිගැනීම කෙතෙක්ද කියනවනම් සමහර බටහිර බලවත්තු එතුමා ක්‍රිස්තුස් වහන්සේටත් සමාන කළා.

* ඉතින් මේ තත්ත්වය දිගටම පවත්වාගන්න අපිට බැරි වුණේ ඇයි?

මේ තත්ත්වය තමයි 1956 අවුරුද්දේ සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල පංචමහා බලවේගය බවට පත්වෙලා බණ්ඩාරනායක මහත්මයා බලයට පත්කළේ. එතුමාගේ ඝාතනයෙන් පසුව මෙරට බිහිවුණ විශිෂ්ටතම රාජ්‍ය නායිකාව තමයි බණ්ඩාරනායක මැතිනිය.

* ඇයි ඔබතුමා ඇයට මේ තරම් ගෞරවයක් දෙන්නෙ. ඔබතුමන් යම් කාලෙක ඇගේ උදහසට ලක්වුණානෙ?

ඒක ඇත්ත 71 විප්ලවය වෙලාවේ මට එල්ලල පහර දුන්නේ. නමුත් ඇත්ත කියන්න ඕනෑ. එතුමියගෙ තිබුණෙ රාජ්‍ය තාන්ත්‍රික භාවය කොච්චරද කියනවනම් 1972 අවුරුද්දේ ලෝකයේ රටවල් 107 ක් එකතු කරල නොබැඳි ජාතීන්ගේ සමුළුව පවා ලංකාවෙ තිබ්බා. ඒක දෙවැනිවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. සම්පූර්ණයෙන්ම චීන රජයේ ආධාරයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හදලා එහි ලෝක සමුළුවක් තියන්න තරම් ඇය ජාත්‍යන්තරය පිළිගත් එඩිතර නායිකාවක් වුණා. විශේෂයෙන්ම ඇය කාන්තාවක් වෙලත් එදා ඒ දේ කළා. ලෝකයේ සතුරු රටවල් මිතුරන් බවට පත් කළා. ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල රාජ්‍ය නායකයන් ගේ විරසක වීම් ඇගේ මැදිහත්වීමෙන් මිතුරන් බවට පත් කළා. 71 විප්ලවය සඳහා ලෝක බලවතුන්ගෙන් ආධාර ලබා ගත්තා. මිග් යානා පවා අපට ලබාදීමට ඔවුන් ඉදිරිපත් වුණා. චීනය, රුසියාව එහි මූලිකයෝ වුණා. එංගලන්තය හෙලිකොප්ටර් පවා දුන්නා.

* නමුත් එදා ජනතා විමුක්ති පෙරමුණ විප්ලවයකට ආවනෙ. ඔවුන්ට බටහිර රටවල් උදව් කළේත් නැහැනෙ. එල්. ටී. ටී. යට බටහිර රටවල් උදව් වුණානෙ.

මෙන්න මේ දේ තමයි අපට අද ගැටලුව වෙලා තියෙන්නෙ. එදා හිටිය සිරිමා බණ්ඩාරනායක මැතිනියගෙන් පසුව බිහිවුණ ශ්‍රේෂ්ඨතම නායකයා තමයි වත්මන් ජනාධිපතිතුමා එදා බණ්ඩාරනායක මැතිනියට ලෝකයේ බලවත් රටවල් කීකරු වුණේ ඇයට අකීකරු වෙන්න බැරි කමට. මොකද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තරම් ඇය දක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් ඇගේ තිබුණ ගැහැනුකමට ඇයට බොහෝ දෙනා සැලකුවා. හරියට අම්මෙකුට දක්වන සැලකිල්ල වගේ. ලෝකයේ පළමු අගමැතිවරිය කියන ගෞරවයත් ඒකට ඈදෙන්න ඇති.

* ඒ වුණාට එදා යුද්ධය නතර කරන්න කියල බටහිරින් බලපෑම් තිබුණෙ නැහැනෙ. එංගලන්තෙ මිලි බෑන්, ප්‍රංශ විදේශ ලේකම් වගේ ලෝක බලවතුන් ඇවිත් ජනාධිපතිවරයාට බලපෑම් කළානෙ. එල්. ටී. ටී. ඊ. යුද්ධය නතර කරන්න.

ඒක තමයි මහින්ද රාජපක්‍ෂ මහත්මයගෙ තිබුණ එඩිතරකම. ලෝක බලවතුන් හමුවේ පවා ඔහු තම ස්ථාවරය නැවැත්වුවේ නැහැ. ඔවුන්ට සැබෑ තතු පැහැදිලි කරල දීල යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙන ගියා.

* ජනාධිපතිවරයාගේ මේ දැඩි ස්ථාවරය සහ ලැබූ යුද ජයග්‍රහණය ලෝක බලවතුන්ගේ උදහසට ලක්වුණ කාරණයක් නිසා නෙවෙයිද? අපේ රටට එල්ල කරන මේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා?

කොටින්ම ඉන්දියාව පවා අප කියන විදියට හිටපල්ලා කියන තත්ත්වයෙන් හිටියේ. දැන් ටිකක් මධ්‍යස්ථ මත දැරුවට. ඇත්ත වශයෙන් ම බටහිර බලවතුන්ගෙ අණ පිළිපදින රටවලට විශාල ආදර්ශයක් වගේම බටහිර රටවලට මහින්ද රාජපක්‍ෂ කියන චරිතය විශාල අභියෝගයක්. මේ කාරණයේදී ඒ නිසා කෙසේ හෝ තමන්ට සිදුවුණ මදි පුංචිකමින් ගැලවෙන්න මොකක් හරි කිරීමේ බලාපොරොත්තුවකින් බටහිර රටවල් මේ පෙළගැහිලා ඉන්නේ.

* නිදහස් රටක් ලෙස මෙහි යටිතල පහසුකම් නංවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අසීමිතව ණය පහසුකම් සලසනවා. මේවායේ ඉන්නෙත් බටහිර බලවතුන්. මේවායෙත් යම් යටි අරමුණක් තියෙන්න බැරිද?

අධිරාජ්‍යවාදීන් අපේ රටේ කළේත් යටිතල පහසුකම් හැටියට පාරවල් හදපු එකනෙ. දුම්රිය මාර්ග, උඩරටට මාර්ග පහසුකම්, මාතලේට මේවගේ මාර්ග පහසුකම් නංවන්න ඇති තරම් මූල්‍ය පහසුකම් සපයනවා. කවදා හරි රට අස්ථාවර වුණෙත් ඒකෙ වාසිය බටහිර ජාතීන් සතු කර ගන්න. කිසිම දවසක අපේ රටේ වාරි කර්මාන්තය ගොඩනඟන්න ඔවුන් උදවු කරන්නෙ නැහැනෙ.

* හොඳයි රට හමුවේ ඇති අභියෝග ජය ගන්න ඔබතුමා යෝජනා කරන උපාය මාර්ග මොනවා ද?

පොදුවේ එක මතයක ඉන්න ඕනෑ. අධිරාජ්‍යවාදීන් හිතන්නෙ කවුද අපිට රිංගන්න පුළුවන් හිඩැස් ඉතිරි කරන්නේ කියල. අද විපක්ෂයත් බලන්නෙ තරගකාරීව එකිනෙකා කපාගෙන කොහොමද නැඟිටින්නෙ කියන එක. මේ වගේ තත්ත්වයක් ඇතිවන එක ඒකාධිපතිත්වයට හොඳයි. අරගල කළාට කමක් නැහැ නමුත් 50,000ක් පාරට බැස්සොත් මේ තමයි ආණ්ඩුව කියන මතයෙන් බැහැර වෙන්න ඕනෑ. ඒ කිසිම දෙයක් එපා. ජාති ආගම් කුල ගෝත්‍ර හැටියට බෙදිල ඉන්නෙ අපි නෑදෑකම් කියන්න බැරි හින්දා. ලංකාවේ ද්‍රවිඩ තරුණියන් ලක්ෂයක් එක්ක සිංහයල තරුණයන් ලක්ෂයක් විවාහ ගිවිස ගත්තොත් මේ ප්‍රශ්නය එතනින්ම ඉවරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා