ඕස්ට්‍රේලියාව පරාජය වෙද්දී ලෝක සූරයෝ ගෙදර යති

ධෛර්ය සම්පන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසන් ඕවරයේ තියුණු ජයක්

ඕස්ට්‍රේලියාව පරාජය වෙද්දී ලෝක සූරයෝ ගෙදර යති

ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් ක්‍රීඩාංගණයේදී සත්කාරක කැන්ගරුවන් පරදා ශ්‍රී ලංකාව ජය පැන් බොද්දී තරගාවලියෙන් ඉවතට ගිය ලෝක සූර ඉන්දීය ක්‍රීඩකයෝ භාරත දේශය බලා පිටත්වීමේ අදහස ඇති කර ගත්හ. තරග තුනකින් සමන්විත අවසන් වටයට පැමිණීමට නම් ඔස්ට්‍රේලියාව සමඟ මේ තරගය ශ්‍රී ලංකාවට නියත ජයක් විය යුතු හෙයින් ක්‍රිකට් ලෝකයම දැඩි අවධානයකින් ඊයේ පසුවිය.

දෙපැත්තටම ජය පරාජය මුල සිටම දෝලනයවූ තරගයේ අවසන් ඕවරයේදී ශ්‍රී ලංකා ජය තහවුරු විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 238ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට ලබාගත හැකි වූයේ ලකුණු 229ක් පමණි. අවසන් ඕවරයේදී කඩුල්ලක් අතැතිව ලකුණු 7ක් ජයග්‍රහණය පිණිස අවශ්‍යව තිබුණද නුවන් කුලසේකර එවූ මුල්ම පන්දුවට හසී එල්ල කළ පහර ඩිල්ෂාන් අතට උඩපන්දුවක් සේ ලැබුණු හෙයින් ඔස්ට්‍රේලියා පරාජය සනිටුහන් විය.

අවසන් කඩුල්ල බිඳහෙලු කුලසේකර සමග
තරගයේ වීරයා චන්දිමාල්

ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් දුන් වේග පන්දු යවන ලසිත් මාලිංග ඊයේ තරගයේදී ඕවර් 10ක් යවා ලකුණු 49කට කඩුලු 4ක් බිඳ හෙලීම කැපී පෙණුනි. එහෙත් කඩාවැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟූ යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට තරගයේ වීරයා සම්මානය හිමි කිරීම ඉතා සාධාරණ බව බොහෝ දෙනාගේ මතය විය.

ඔස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු යුගලය වූ වේඩ් හා වෝනර් ලකුණු එකතුව 18ක් වෙද්දී ක්‍රීඩාගාරයට යැවීමට මාලිංග හා කුලසේකර සමත් විය. ඊයේ තරගයේ නායක ෂේන් වොට්සන් අංක එක පිතිකරු ලෙස පැමිණ පන්දු 83 කදී හතරේ පහර 5ක් සමඟ සංයමයෙන් යුතුව ඉනිම ගොඩනැංවීය.

ඔස්ට්‍රේලියාව ප්‍රබල බලාපොරොත්තු තබා සිටි ෆොරස්ට් ලකුණු 2කට දැවී යෑම අවාසිදායක විය. හොඳින් පන්දුවට පහරදුන් ෂේන් වොට්සන් මාලිංග යැවූ ‘යෝකර්’ පන්දුවෙන් මැද ඉන්න ගැලවී විසිවී යෑම ඔස්ට්‍රේලියා ඉනිමේ වෙනසක ආරම්භය විය.

එහෙත් ඩේවිඩ් හසී අවසන් ඕවරය තෙක් ඔස්ට්‍රේලියා බලාපොරොත්තු ගිලිහී යා නොදී පන්දු 74 කදී ලකුණු 74ක් ලබා ගත්තද දිනයේ වාසනාව ශ්‍රී ලංකාව සතුවිය. හසී හතරේ පහර 4ක් හා අලංකාර හයක් එල්ල කළේය. තිසර පෙරේරාගේ ඕවරයේ පන්දු 5ක් යවා තිබියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය අතර තම මංගල ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීමට ලහිරු තිරිමාන්න සමත්විය. කුලසේකර කඩුලු 2ක් හා සචිත්‍ර, හේරත් කඩුල්ල බැගින් දවාගත්හ.

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩාක ඩෑන් ක්‍රිස්ටියන් පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ගනිද්දී ඔස්ට්‍රේලියාව අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව ලකුණු 238කට දවාලුවේය. මද වේග පන්දු යවන ක්‍රිස්ටියන් ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 5 ක් ලබා ගත් අතර මේ අනුව පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගත් සිවුවැනි ඔස්ට්‍රේලියානුවා බවට ක්‍රිස්ටියන් පත්විය.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා පිලේ රිද්මය ක්‍රිස්ටියන් විසින් 44 වැනි ඕවරයේදී තිසර පෙරේරා (5) සචිත්‍ර සේනානායක (0) හා නුවන් කුලසේකර (0) දවාලීමත් සමග නැතිව ගියේය. පෙරේරා, හතරේ සීමාව අසලදී මයික් හසී විසින් දර්ශනීය අයුරින් උඩ පන්දුව රැක ගැනීමෙන් දැවී ගිය අතර සේනානායක හා කුලසේකර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

කෙසේ වෙතත් රූපවාහිනී පුනරූපනවලට අනුව කුලසේකරට දුන් දැවී යාමේ තීරණය සැකසහිත එකක් විය. ජේම්ස් පැටින්සන් ඕවර 10ක් ඇතුලත ලකුණු 51කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් වන මහේල ජයවර්ධන (5) හා තිලකරත්න ඩිල්ෂාන් (9) මුළු ලකුණු 17 වන විට දවාලමින් ඔස්ට්‍රේලියාව හොඳින් තරගය ආරම්භ කළේය.

එහෙත්, කුමාර් සංගක්කාර හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ගොඩගනිමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සබඳතාවක් පිහිටුවූහ. සංගක්කාර සාර්ථක ඉනිමක් කරා යමින් සිටියද පැටින්සන්ගේ පන්දුවකට දුන් උඩ පන්දුව ‘ඩීප් ස්කුවෙයාර් ලෙග් හි පීටර් ෆොරස්ට් විසින් රැක ගැනීම හේතුවෙන් දැවී ගියේය. ‘සංගා’’ පන්දු 93කින් ලකුණු 64ක් රැස් කළේය.  චන්දිමාල් පන්දු 84කින් ලකුණු 75ක් ලබා ගත්තේය.

39 වැනි ඕවරයේ දී පැටින්සන්ට ඔහුගේ තෙවැනි කඩුල්ල අත්කර දෙමින් චන්දිමාල් ‘මිඩ් ඕෆ්’ හි ක්ලින්ට් මැකේ වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ලහිරු තිරිමාන්න අර්ධ ශතකයක් (51) ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරයට පෙර ඕවරයේදී පැටින්සන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඔහු පන්දු 59කට මුහුණ දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා