ජනාධිපතිතුමා කොටි භීෂණයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම මානව හිමිකම් කඩ කිරීමක්ද?

ජනාධිපතිතුමා කොටි භීෂණයෙන්

රටත් ජනතාවත් බේරා ගැනීම මානව හිමිකම් කඩ කිරීමක්ද?

මහ ඇළගමුවේ ලංකානන්ද නාහිමි
පාරම්පරික දේශීය වෛද්‍ය විශාරද
(කුස්වල වෙද හිමියෝ)

දිනය 2009 වසරේ මැයි මස 18 වැනිදා ය. මේ දිනය මෙතරම්ම වටිනා දිනයක් වනු ඇතැයි සමස්ත ලෝකවාසී කිසිවකු විසින් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. නමුත් නොසිතූ දේ සිදුවිය. එදින ලෝකය පුරා ක්ෂණයකින් පැතිර ගිය ආරංචියක් සමඟම ලොවම කැළඹිණි. මේ ආරංචියෙන් ශ්‍රී ලංකාවත් ජාති, ආගම්, භේදයෙන් තොර මුළු මහත් ජනතාව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පී‍්‍රති ප්‍රමෝදයට පත් වූහ.

ඒ දශක තුනක් පුරා ශ්‍රී ලංකාව වෙලාගෙන සිටි එල්ටීටීඊ ත්‍රස්තවාදය නමැති අන්ධකාරය පලවා හැර ආලෝකයේ රන් කිරණ ලක් පොළොව මත පතිත කරවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශහිතෛෂී වීරෝදාර රණවිරුවන්ට හැකියාව ලැබීම ය. එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන්ගේ දශක ගණනක ඝාතන රැල්ලට නැවතීමේ තිත තැබුවේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මඩගොහොරුවකදී මරණය වැළඳ ගනිමිනි.

ප්‍රභාකරන් හමුදාවේ වෙඩි පහරකින් මරණයට පත්වීයැයි යන ආරංචිය සැලවීමත් සමඟම රට පුරා සැරසිලි සිරි ඇරඹුණේ ය. ඒ මිනිස් ඝාතනයන් හමුවේ ලද සතුටෙන් නොව විශාල ජනතාවක් කපා කොටා ම්ලේච්ඡ ලෙස මරා දමමින් රටවැසි ජනතාව මරණ මංචකයට කැඳවාගෙන යමින් සිටි ඝාතකයකුගේ අවසානය ඇසීමෙන් ලද තම බිය පලවා හැරීමක් වේ.

ජාතික ධජ අතින් ගත් රට වැසියන් ගම් නියම් ගම්, නගරවල සැරිසරමින් පී‍්‍රති ඝෝෂා පවත්වමින් පෙළපාළි යද්දී තවත් තැනෙක කන් බිහිරි කරවන රතිඤ්ඤා හඬ රැව්පිළිරැව් දුන්නේ ය. තැන තැන රොක්ව ගැහැනු පිරිමි ළමා තරුණ පිරිස් කිරිබත් උයා සතුටින් වීථි සරසන්නන් සමඟ බෙදා ගනිමින් උදම් අනනු දක්නට ලදී. ඇත්තටම එය එතෙක් මෙතෙක් සියලු භේදයන්ගෙන් තොරව කිසිදු පෙර දැනුම්දීම් නැකැත් බැලීම් වලින් තොරව රට තුළ පැවැති ලොකුම සැණකෙළි සමය විය.

නමුත් මෙලෙස යුද්ධයෙන් සැබෑ ලෙස බැට කෑ ජනතාව පී‍්‍රති ප්‍රමෝදයට පත්වෙද්දී මේ ආරංචියෙන් අතිශය ලැජ්ජාවට හා කනගාටුවට පත් වූ ලොව රාජ්‍යයන් හා පාලකයන් ද විය. ඒ යුද්ධය හිඟන්නාගේ තුවාලය බවට පත් කර ගනිමින් ලෝකයේ විවිධ රටවල පැවතුණු විවිධ ගැටුම්කාරී අවස්ථාවලට වක්‍රව උදව් පදව් කරමින් යුද්ධය නිසාම තම බලය ලොව පුරා ව්‍යාප්ත කිරීමට මාන බලමින් සිටින දැනටමත් තම බලය විවිධ රටවල ව්‍යාප්ත කර තිබෙන අමෙරිකාව ප්‍රමුඛ ඇමරිකාවට ආවඩන බටහිර රටවල් කිහිපයකි.

ශ්‍රී ලංකාව ලෝකයම විශ්මයට පත් කරමින් ලද මේ විජයග්‍රහණය හමුවේ මේ ඉහත රටවල් දැඩි කැලඹිල්ලට පත්වන්නේ ය. විශේෂයෙන්ම ලෝක පොලිස්කාරයන් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නට උත්සාහ ගන්නා අමෙරිකාව තමන්ගේ ගෙදරටම පැමිණ ප්‍රහාරයක් එල්ල කර පලාගිය බින් ලාඩන්ව අල්ලා ගැනීමට තමන්ගේ මුළු යුද ශක්තිය ගොනු කර ගත්තත් ඔවුන්ට බින්ලාඩන්ව අල්ලා ගැනීමට නොහැකිව සිටියදී (පසුව පාකිස්ථානයේදී ඔහුව ඝාතනය කරන ලදී.) ශ්‍රී ලංකාව නමැති මේ කුඩා දිවයින ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානයක් වූ සහ ලොව බිහිසුණුම ත්‍රස්තවාදී නායකයෙක් වූ ප්‍රභාකරන්ව විනාශ කිරීම ඔවුන්ට දරාගත නොහැකි විය.

විශේෂයෙන්ම යුද්ධය පැවැති කාල වකවානුවේදී එය නතර කරවීම සඳහා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කිරීමට අමෙරිකාව කටයුතු කළ අතර ඒ සඳහා තවත් විවිධ රටවල් හා සංවිධාන ද ඈඳාගත් නමුත් මේ ලොව බලවතුන්ගේ රැවුම් ගෙරවුම් තඹ දොයිතුවකට ගණන් නොගත් අපගේ රටට රටේ පිනට පාත්‍ර වූ ජනපති මහින්දයන් තීන්දු තීරණ ගනිමින් යුද්ධය ඉතා කෙටි කලකින්ම අවසන් කරන්නට සමත් වන්නේ ය. තමන්ගේ පදයට නටන රූකඩයක් බවට ජනපති මහින්දව පත් කර ගැනීමට නොහැකි වීමත් යුද්ධය අවසන් කිරීමත් යන කාරණා හමුවේ අමෙරිකාව ප්‍රමුඛ ඇමරිකාවට ආවඩන්නන් ජනපති රාජපක්ෂයන් හා ශ්‍රී ලංකාව කෙරෙහි වෛර බැඳගත්තේ ය.

මේ සමඟම ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සටන අරඹන්නේ ය. මේ සඳහා ඔවුන් යොදා ගන්නා එකම අවිය වන්නේ මානව හිමිකම් ය. ශ්‍රී ලංකාව යුද්ධය පැවැති සමයේ විශාල ලෙස මානව හිමිකම් කැඩූ බව ප්‍රකාශ කර සිටි අතර යුද්ධය අවසන් කාලයේ ජාත්‍යන්තර යුද නීති පවා කඩා දමා ඇතැයි චෝදනා එල්ල කරන්නට පටන් ගත්තේ ය. ඒ සඳහා ඔවුන් සමඟ දෙමළ ඩයස්පෝරාව නමැති පිරිසක්ද එක්ව සිටිති. අහිංසක ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව රවටාගෙන සිටින මේ දෙමළ ඩයස්පෝරාව දෙමළ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන විදේශවලින් ඩොලර් මිටි ගණන් සල්ලි උපයා ඒවා තමන්ගේ සුඛවිහරණය සඳහා යොදා ගනිමින් සිටිති.

නුඹත් මට පුතෙකි....

යුද්ධය අවසන් වීමෙන් මේ පිරිසේ ආදායම්වලටද දැඩි ලෙස පහරවැදී තිබෙන නිසා ඔවුන් නැවත මේ රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කර කෙසේ හෝ තමන්ගේ බඩ වඩා ගැනීමේ අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීමට කිසිම හිරිකිතයකින් තොරව අමෙරිකානු නඩයට එක්ව සිටිති. මේ නඩයේ පළමු ප්‍රහාරය එල්ල වන්නේ යුද්ධය අවසන් කාලයේමය. ශ්‍රී ලංකාව යුද්ධ සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවත් ඒ පිළිබඳ පියවර ගත යුතු බවත් දන්වමින් ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුව ඉදිරියේ චෝදනාවක් ගොනු කරන්නේ ය. නමුත් ශ්‍රී ලංකාව යුද සටනේ වූ නියම තතු ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හෙළිදරව් කිරීමත් සමඟම ජාත්‍යන්තර මිතුරෝ ශ්‍රී ලංකාව වටා එක්රොක් වූ අතර එවර එම යෝජනාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන්නේ ය.

එයින් නොනැවතුණු මේ රැල මීළඟට යොදා ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඔවුහු බෑන් කී මූන් නමැති අමෙරිකානු පදයට තාල අල්ලන රූකඩ මහ ලේකම්වරයා හරහා ශ්‍රී ලංකාවට බැටදීමට සැරසුනහ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උදෙස් ලබාදීමට යැයි පවසමින් ඊනියා කමිටුවක් පත් කර ගත්තේය. දරුස්මාන් නම් වූ එම කමිටුව හරහා ශ්‍රී ලංකා මානුෂික මෙහෙයුම් සමයේ විවිධ වැරදි අඩුපාඩු සිදුව ඇතැයි වාර්තා සකස් කළේය. එ.ජා.සංවිධානයට ඉදිරිපත් කර ඒ තුළින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට සැරසුණද එවරද ශ්‍රී ලංකාව කොටු කර ගැනීමට මේ නින්දිත ප්‍රහාරකයන්ට නොලැබෙන්නේ ය.

නමුත් එයින්ද නොනැවතුණු මේ කණ්ඩායම යුද්ධය පැවැති කාලය තුළ ශ්‍රී ලංකාව හමුදාව විසින් අත්අඩංගුවට ගත් එල්ටීටීඊ පිරිස්වලට අමානුෂික වද දී ඔවුන් ඝාතනය කරන ලදැයි පවසමින් ඔවුන් විසින්ම සැකසූ ව්‍යාජ වීඩියෝ දර්ශන ලොව පුරා ප්‍රචාරය කළේ ය. නමුත් මේ චිත්‍රපට පිළිබඳව ඉතා සියුම් ලෙස ප්‍රතිප්‍රහාර ඇරඹූ ශ්‍රී ලංකාව එයද බොරුවක් බව ලොවට ඔප්පු කිරීමට සමත් වන්නේ ය. දැන් එහි දෙවැනි චිත්‍රපටයද සකසා ඇති බව තොරතුරු හෙළි වී ඇත. දැන් නැවතත් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කළැයි තවත් නාටකයක් ඇරැඹී ඇත. ඒ 2012 ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කිරීමට සැරසීමයි.

මෙවරද එය පෙරමුණ ගෙන ඇත්තේ අමෙරිකාව වන අතර මෙවර එය ජයග්‍රහණය කර ගැනීම සඳහා අමෙරිකාව දැඩි කලබලයෙන් යුතුව ක්‍රියාත්මක වීම අරඹා ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය සඳහා මෙවර රටවල් 47 ක් සහභාගි වනු ඇත. පසුගියදා (27 දා) මෙ සමුළුව ඇරැඹි අතර එය අවසන් දින කිහිපයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අමෙරිකාවට කඩේ යන රටක් විසින් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දැන ගන්නට ඇත. මේ යෝජනාවලියට සහාය ලබා ගැනීමට අමෙරිකාව විවිධ වැඩසටහන් දියත් කර ඇති අතර එහිදී ඉතා පහත් තත්ත්වයේ ප්‍රචාරාත්මක වැඩසටහන් අරඹා ඇත.

එනම් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ද සහය ඇතිව බව පවසමින් විදෙස් නියෝජිතයන් මුලා කිරීමේ උත්සාහයක් ගැනද දැන ගන්නට ලැබී ඇත. අමෙරිකාව පවසන අයුරු ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ කළේ ද? එසේ නම් ඒවා හොයන්න ජාත්‍යන්තර කමිටු පත් කරනවාට වඩා අවසන් සටනේදී යුදබිමේ සිට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වූ හා ආරක්ෂක අංශවලට භාර වූ දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් විමසිය හැක. පුනරුත්ථාපන වැඩසටහන් වලින් පසු සඳහන් වූ හා තවමත් එම වැඩසටහන්වලට සහභාගි වෙමින් සහ නඩු කටයුතු නිසා අත්අඩංගුවේ පසුවන පිරිස්ද සිටිති. මේ පිරිස සැබෑවටම ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩ කළා දැයි හොඳාකාරවම දන්නා පිරිස් ය.

අහිමි වූ රැකවරණය යළිත්...

කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරමින් සිට යුද්ධය පැවැති අවසන් කාල සීමාවේදී ශ්‍රී ලංකා හමුදාවට බාර වූ දයා මාස්ටර් නම් අය අද නිදහස්ව යාපනයේම මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටින්නේ ය. ඔහු පසුගියදා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු හමුදාවට බාර වූ අයුරුත් බාර වූ පසු හමුදා නිලධාරීන් ඔහුට හොඳින් සැලකූ අයුරුත් පැහැදිලි කර තිබිණි. එසේ නම් මානව හිමිකම් ගැන තවත් කුමන කතාද? කුමන ජාත්‍යන්තර යෝජනාවලිද?

සැබවින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එක්වරම ප්‍රභාකරන් සමග යුද්ධ කිරීමට ක්‍රියා කළේ නැත. සාකච්ඡා පවත්වමින් එල්.ටී.ටී.ඊ. සමඟ සාම ක්‍රියාවලියකට මුල පිරුවත් පැවැති සෑම රජයකටම කළා සේ ප්‍රභාකරන් ජනපති මහින්දට ද කොකා පෙන්වූයේ ය. නමුත් එවර ප්‍රභාකරන්ට වැරදුණේ ය. මන්ද මේ සාපරාධී ත්‍රස්ත්‍රවාදය තුරන් කර එල්.ටී.ටී.ඊ. ප්‍රදේශයේ සිටි දෙමළ ජනතාව මෙන්ම සමස්ත රටවැසියා මුදා ගැනීමට ජනපති මහින්ද තුළ පැවැති ඒකායන අධිෂ්ඨානය නිසා ය. මානුෂීය මෙහෙයුම නමින්ම මෙම යුද ක්‍රියාමාර්ග ආරම්භ කළේ සැබවින්ම ත්‍රස්තවාදයෙන් ජනතාව මුදා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.

එල්ටීටීයෙන් දෙමළ ජනතාවට කොපමණ දුක්ගැහැට එල්ල වී තිබුණා දැයි එල්ටීටීඊය වෙනුවෙන්ම හඬ නැඟූ දෙමළ දේශපාලකයකු වූ රවිරාජ් මන්ත්‍රීවරයා අමෙරිකාවට වරක් දන්වා තිබුණේ ය. කොටි සංවිධානයෙන් ජනතාවට දැඩි දුක්ගැහැට එල්ල වන බවත් කොටි පාලන ප්‍රදේශවල ජනතාව දැඩි භීතියෙන් සිටින බවත් එම නිසා කොටි බලය ඉස්මතු වීම වැළැක්විය යුතු බවත් අමෙරිකාවට දන්වා තිබිණි. මේ අනුව එල්ටීටීඊයේ අමානුෂිකත්වය පිළිබඳ තවත් අටුවාටීකා අවශ්‍ය නොවන්නේ ය. එල්ටීටීඊයේ ම්ලේච්ඡත්වය අමෙරිකාවට පවසා තිබෙන්නේ එල්ටීටීඊයේ හඬවල් ලෙස කටයුතු කළ දේශපාලකයන්ය. මෙලෙස භීතියෙන් සිටි ජනතාව එම භීතියෙන් මුදාගෙන ඔවුන්ට සැබෑ නිදහස උදා කිරීම මානව හිමිකම් කඩ කිරීමක්ද?

මානුෂීය මෙහෙයුම අවසන් අදියරවලට පැමිණි විට එල්ටීටීඊ ග්‍රහණයෙන් මිදී හමුදාවේ රැකවරණය පතා එන දෙමළ ජනතාවට කොටි වෙඩි තබා මරා දැමූ බව පලා ආ ජනතාව පවසන අයුරු අප රූපවාහිනී නාලිකාවලින් දුටුවෙමු. දහස් ගණන් ජනතාව තම සියලු වත්කම් අතැර ඇඳිවත පිටින් දරුවන් කරතබාගෙන කලපු තරණය කරමින් හමුදා ප්‍රදේශවලට පැමිණෙන විට ඔවුන්ට ආරක්ෂාව, ආහාරපාන හා ඉඳුම්හිටුම් සලසමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කළ ඒ විශිෂ්ට මානුෂීය සේවය බටහිර සමහර අමානුෂීය පිරිස්වලට නොතේරීම ඇත්තටම පුදුමු සහගතය.

මානව හිමිකම් කැඩුවේයැයි යෝජනාවල් ඉදිරිපත් කරනවාට වඩා අමෙරිකාව ඇතුළු නඩය කළ යුතු වන්නේ උතුරේ සහ නැගෙනහිර පළාත්වල සිදුවන දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට හැකි උපරිමයෙන් සහාය දැක්වීමය. දෙමළ නායකයෙක්වත් නොකළ සේවයක් දෙමළ ජනතාවට ඉටුකරමින් සිටින ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමය. එදා එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල නායකයන්ව සිටි කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි අය අද ප්‍රාන්ත නියෝජිතයන් ලෙස කටයුතු කරමින් සිටින්නේය. කරුණා අම්මාන් අද රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකි. පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයා ය. එල්ටීටීඊ නායකයින් මානව හිමිකම් කඩ කළා නොව ශ්‍රී ලංකා රජය ඔවුන් සමාජගත කළේ ඒ අයුරෙනි.

නුඹ අසරණ නැත මෑණියනි....

අද සමස්ත ශ්‍රී ලංකාවම එකම යායක් වී ඇත. උතුරේ වැසියෝ දශක ගණනකට පසු දකුණේ නෑගම් යති. දකුණේ ජනතාව දශක ගණනකට පසු උතුරේ නෑගම් යති. උතුරේ පාසල් දරුවෝ දකුණේ සංචාරය කරති. දකුණේ දරුවෝ උතුරේ සංචාරය කරති. උතුරේ තරුණියෝ දකුණේ රණවිරුවන් හා විවාහ වෙති. තුවක්කුවෙන් සියල්ල තීන්දු කළ යුගය නිමාවී ඇත. උතුරේ ජනතාව ක්‍රමයෙන් සිවිල් පරිපාලනයේ අත්දැකීම් ලබමින් සිටිති. සුපිරි මාර්ග ඉදිවෙයි. සුපිරි ප්‍රවාහන සේවා ඇරඹී ඇත. නව නිවාස, රැකියා, ව්‍යාපාර ඇරැඹෙමින් උතුරත් දකුණ මෙන් වේගවත් සංවර්ධනය මාවතට අවතීර්ණ වී ඇත. අමෙරිකාව ඇතුළු නඩයට මේවා වහකදුරු විය හැකිය.

යුද්ධයට ගොදුරුව සිටි යුද්ධයෙන් බැට කෑ ජනතාව අද සැබෑ නිදහස් සුව විඳිමින් සිටිති. මෙලෙස උතුර නැගෙනහිර ගොඩනැංවීම සඳහා එල්ටීටීඊ වැනි සංවිධාන විනාශ කිරීම මානව හිමිකම් උල්ලංඝනය වීමක් වන්නේ කෙසේදැයි ශ්‍රී ලාංකිකයන් මෙන්ම බහුතර ලෝකවාසීන් අමෙරිකාවෙන් ප්‍රශ්න කරන්නේ එහෙයිනි. මානව හිමිකම් මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යා යුතු නොවේ යැයි පසුගියදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වැලැදිමීර් මිහයිලෝ ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට සහාය නොදෙන බවද රුසියාවේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවද ඔහු පවසා තිබිණි. ඒ ලෝක බලවතාගේ වචනය තවත් ලෝක බලවතෙක් වන චීනය ද පවසා තිබිණි. චීනයේ සහාය ද අපටය. අප කලාපයේ බලවතා වන ඉන්දියාව ද අප සමඟය. කවදත් අප සමඟ එක්වන අපගේ මිත්‍ර රටවල් සමඟ මෙම ප්‍රබල බලවතුන් සිටගත් විට අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය වැනි රටවලට ශ්‍රී ලංකාවට කළ හැකි කෙංගෙඩියක් නැත. ලෝකයේ රටවල් රැසක්ම අද ඇමරිකාවේ ක්‍රියා නිසා අවසන් සුසුමන් හෙළමින් සිටී. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ඊජිප්තුව, ලිබියාව තවමත් ගිනි ගනී.

මෙම රටවල සිවිල් වැසියන් ලක්ෂ ගණනක් අමෙරිකානු හමුදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතත් අදටත් එම ජනතාවගේ මානව හිමිකම් ගැන කවුරුත් අසන්නේ නැත. බින් ලාඩන් නිරායුදව නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අමෙරිකානු සෙබළුන් ඔහුව මරා දැම්මේ බලහත්කාරයෙන් තවත් රටකට ඇතුªළු වී සියලු ජාත්‍යන්තර නීති පවා බිඳිමිනි. බින් ලාඩන්ගේ මානව හිමිකම් ගැන අපේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙගෙන් විමසූ විට ඇයට කටඋත්තර නැතිවිය. ඒ ඇමරිකාව මානව හිමිකම් රකින හැටිය.

පසුගිය 27 දා සමස්ත රට පුරා හන්දියක් හන්දියක් ගාණේ එක් වූ මෙරට දේශහිතෛෂී දේශමාමක ජනතාව ලොවටම හඬගා කියූ පණිවුඩය අමෙරිකාව වහාම තේරුම්ගත යුතුය. ජනපති මහින්ද රාජපක්ෂ හෝ යුද්ධය ජයගත් රණවිරුවෝ ජාත්‍යන්තරයේ කිහිප දෙනකුට අවැසි අයුරු දංගෙඩියට ගෙන යෑම එතරම් ලෙහෙසි පහසු වන්නේ නැත. මහින්ද රාජපක්ෂයන් ජාත්‍යන්තර දංගෙඩියට ගෙන ගොස් අමෙරිකාවට අවැසි රූකඩ පාලකයන් මෙරටට පත්කරගැනීම අමෙරිකාවේ තවත් ඉටුනොවන සිහිනයක් පමණක් වනු ඇත. ජනපතිඳුනි මෙරට මහ සංඝරත්නය ඇතුළු සියලු රටවැසියන් ඔබ සමඟය. රණවිරුවන් සමඟය. ඔබට චිරං ජයතු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා