අලින්ගේ පැෂන් එක !

අලින්ගේ පැෂන් එක !

අටුකොසු ඇට පැළයක් ඉල්ලා සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ ම දඹුල්ලට කඩා පාත් විය. කුමකට ද? එළවළු ගැන සොයා බලන්නට ය. දඹුල්ලේ එළවළුවලට නරක කල දසාවක් ලබා තිබේ. ඇතැම් එළවළු විකුණා ගැනීම අමාරු ය. එළවළුවලට ද, දෙහිවලට ද කන්න තිබේ. එක කන්නයක දී එළවළුත්, දෙහිත් විකුණා ගැනීම අමාරු ය. වික්‍රමසිංහ මහතා එය දන්නේ නැත. අටුකොස් ඇට පැළයක් ඉල්ලා සිටි මිනිසා එළවළු ගැන දැනගන්නේ කෙසේ ද? ගොවියාට බෙල්බොටම් දෙන්නට කතා කළ මිනිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ගැන දැනගන්නේ කෙසේ ද?

රනිල් මහතා දඹුල්ලට ගියේ එළවළු ප්‍රශ්නයක් ගැන කතා කරන්නට නො වේ. පුංචි නාට්‍යයක් රඟදැක්වීමට ය. එය පටිගත කිරීම සඳහා අවශ්‍ය කැමරා උපකරණ ආදිය ද රැගෙන ගොස් තිබිණි. ඔහු ගොවියන් මැදට පැන විහිළු - තහළු කළේ ය. වෙළෙන්දන් අතරට පැන කතා කීවේ ය. සිනා සුණේ ය. එළවළු ප්‍රශ්නය එතැනම ය. රනිල් වික්‍රමසිංහ මහතා ගේ නාට්‍යය නම් රට පුරා ප්‍රේක්ෂකයනට දැක ගන්නට ලැබිණි.

අද අපට අවශ්‍ය වන්නේ බයිලා කියන ගායකයෝ නොවේ. කෝලම් නටන නළුවෝ ද නො වේ. දේශපාලනය තේරුම් ගත් රටට හා ජාතියට ආදරය කරන දේශපාලකයන් හා සමාජ නායකයන් අපට අවශ්‍ය කෙරේ. රනිල් වික්‍රමසිංහ නම් වූ විපක්ෂ නායකයා එබඳු පෞරුෂයක් සහිත නායකයෙක් නො වේ. ඔහු ප්‍රශ්න විසඳන කෙනකු නො ව ප්‍රශ්න ඇතිකරන කෙනකු ලෙස හඳුනාගත යුතු ය. ඔහුට තෙල් ප්‍රශ්නය විසඳන්න වුවමනාවක් නැත. එළවළු ප්‍රශ්නය විසඳන්නට වුවමනාවක් ද නැත. ඔහුගේ අභිලාසය මේ ප්‍රශ්න තවදුරටත් වර්ධනය කොට රටේ ප්‍රශ්නයක් මතු කිරීම ය. ජනතාව එය වටහා ගත යුතු ය.

රටේ ප්‍රශ්න ගැන යථාවාදී හැඟීමකින් කටයුතු කරන විපක්ෂ නායකයකු නම්; මේ ප්‍රශ්න ගැන ආණ්ඩුව සමඟ සංවාදයක් ඇති කළ යුතු ය. වැදගත් යෝජනා ඉදිරිපත් කළ යුතු ය. රනිල් මහතා වචනයෙන් විසංවාදය ගැන කතා කළ ද ක්‍රියාවෙන් එය ඉටු කරන්නේ නැත. හොඳ ම නිදසුන මානුෂික මෙහෙයුමේ දී ඔහු ක්‍රියා කළ ආකාරය යි. තොප්පිගල ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් 2007 ජූලි මාසයේ දී රනිල් මහතා එම ජයග්‍රහණය විහිළුවට ලක් කළේ ය. අද එහි ජනතාව කියා සිටින්නේ එබඳු මෝඩකමක් තවත් නැති බව ය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ගැන ගැඹුරු හැඟීමක් වත්මන් ආණ්ඩුවට තිබේ. ගොවියාට පොහොර සහනාධාර ලබා දෙන්නේ ද, ගොවි ණය හා විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කරන්නේ ද ඒ නිසා ය. ආණ්ඩුවට කෘෂිකර්මය සම්බන්ධයෙන් සාර්ථක වැඩපිළිවෙළක් තිබේ. එය ක්‍රමානුකූලව ක්‍රියාත්මක වේ. වෙනදාට වඩා කෘෂිකර්මයෙහි දියුණුවක් පවතින අතර අනාගතයේ දී ඊට අදාළ සියලු ප්‍රශ්න විසඳෙනු ඇත. කෘෂිකර්මය දියුණු කොට රට ස්වයංපෝෂිත කිරීමත්; ගොවියාට සාර්ථක ආර්ථික පසුබිමක් සකස් කිරීමත් ආණ්ඩුවේ ඉලක්කය වේ. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර වරින්- වර ගැටලු මතුවීම ස්වභාවික ය.

නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ, දඹුල්ල හා වන්නි ප්‍රදේශ එළවළු වගාවට ප්‍රකට ය. අද මේ පළාත්වල වෙන දාට වඩා සාර්ථක ව එළවළු වගා කෙරේ. කාලගුණයේ පවත්නා හිතකර බව, පොහොර හා බීජ ලබා ගැනීමේ පහසුව මෙන් ම කෘෂිකර්මය කෙරෙහි පවත්නා උනන්දුව නිසා අස්වැන්න වැඩි වී ඇත. කිළිනොච්චිය, මුලතිව්, වවුනියා වැනි ප්‍රදේශවල නැවත පදිංචි වූ පිරිස් සිය වගාවන් ආරම්භ කර සිටිති. එළවළු අස්වැන්න වැඩිවීමට එය ද හේතුවක් වී තිබේ. ගැටලුවක් වී ඇත්තේ සෑම පළාතක ම පාහේ එක ම දේ වගා කිරීම ය.

කුඹුරුවල එළවූළු වගාව නැවැත්විය යුතුය. භෝග විවිධාංගිකරණයට ද ගොවියා හුරුකළ යුතුය, බටු, බණ්ඩක්කා, මෑකරල්, තක්කාලි වැනි පහසුවෙන් වගා කළ හැකි භෝග කෙරෙහි ගොවියාගේ අවධානය වැඩි වී ඇත. මේ නිසා එකවර වෙළෙඳ පොළ වෙත විශාල එළවළු තොගයක් ලැබේ. ඒ අනුව විවෘත වෙළෙඳ පොළෙහි සැපයුම අධික වී මිල පහළට යයි. සාධක දෙකක් මත මේ ගැටලුව විසඳා ගත හැකි ය. පළමුවන්න එළවළු අපනයනය පුළුල් කිරීම ය. දෙවන්න වියළා පැකට් කොට අලෙවි කිරීම ය. මේ සාධක දෙක ම හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත.

එළවළු පිළිබඳ සමස්ත ඉල්ලුම යම් පමණකින් පහළට ගමන් කරන බවක් ද පෙනෙන්නට තිබේ. ඊට හේතුව ගෙවතු වගා සංග්‍රාමය යි. ඉඩම් අක්කර කාලක් ඇති තැනැත්තකුට පවුලකට අවශ්‍ය එළවළු හා පලාවර්ග එහි ම නිෂ්පාදනය කර ගත හැකි ය. ගෙවතු වගාව කෙරෙහි රජය දක්වන උනන්දුවට අනුව පොහොර බෑග්වල එළවළු වවන්නෝද සිටති. ඒ සඳහා සාර්ථක තාක්ෂණයක් ප්‍රචලිත ය. උපදේශනය ද දියුණු ය. මෙය නරක තත්ත්වයක් නො වේ. ගෘහ ඒකකවල ආර්ථිකය ශක්තිමත් වන්නට පටන් ගෙන තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුව එළවළු ගොවියන්ගේ ගැටලුවලට ද විසැඳුම් ලබා දිය යුතුය. දඹුල්ලේ දී බටු කිලෝව රුපියල් තුනට ලබා ගත්ත ද කොළඹට එන විට බටු පන්සියය රුපියල් විස්සකි. කිලෝව රුපියල් ඛ්තළිහකි’ එළවළු නිෂ්පාදනය, බෙදා හැරීම, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍රවල දී අතරමැදියන්ගේ ගසාකෑම දිගින් – දිගට ම සිදු වේ. පළමුව එය නැති කළ යුතු ය. මේ අතින් බලන විට හමුදාව යොදාගෙන එළවළු අලෙවි කිරීම සාර්ථක ක්‍රමයකි. කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙළක් වෙත යෑම එළවළු ගැටලුව විසැඳීමේ හොඳ ම උපාය මාර්ගය ලෙස අපට පෙනී යයි.

කෙසේ වුව වික්‍රමසිංහ මහතාගේ විකට නාට්‍යවලින් නම්; එළවළු ප්‍රශ්නය තබා මොන ප්‍රශ්නයක් වත් විසඳාගත නො හැකි ය. එතුමා වරෙක පතෝල දෙසීය යි කියා වේදිකා මත සිට කෑ ගසයි. තව වරෙක එක බෑවක් තිස්පහයි කියා පොල් බෑයක් පෙන්වයි. දැන් පතෝල මිල ඉතා අඩු ය. බටු හා මෑකරල් මිල ඊටත් අඩු ය. වික්‍රමසිංහ මහතා මිල අඩු වූ විට ඒවා ගැන කතා කරන්නේ නැත. උඩ පනින්නේ මිල වැඩි වූ විට පමණි. මෙබඳු නායකයන් ඕනෑ ම කසළ ගොඩකින් සොයා ගත හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා