සැකකරුවන් ගැන ආරංචි වී ජනතාව නගරය දෙවනත් කරති

කහවත්ත ද්විත්ව ඝාතනය

සැකකරුවන් ගැන ආරංචි වී ජනතාව නගරය දෙවනත් කරති

නිවාස හතරක් ගිනි තබලා

පොලිසිය සමඟත් ගැටෙති

තත්ත්වය පාලනයට STF යොදවයි

රට තුළ මහත් ආන්දොලනයට ලක්වූ කහවත්ත කොටකෙතල ගම්මානයේදී 52 හැවිරිදි මව සහ 18 හැවිරිදි පාසල් දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තේ යැයි කියන ආරංචියක් පැතිර යාමත් සමඟම ඊයේ (07) ප්‍රදේශයේ ජනතාව ඝාතකයන්ට විරෝධය පළකරමින් කහවත්ත නගරයේ උණුුසුම් තත්ත්වයක් ඇති කළහ.

කාවින්ද්‍යා චතුරංගි

ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවකුගේ නිවෙසක් සහ තවත් නිවාස තුනක් ගිනි තබා නගරයේ ටයර් පුළුස්සමින් ගිනි ජාලා සහිත මහත් කළබලයක් ඇති කළ අතර පොලිසිය සමඟද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන්නට විය.

පවතින තත්ත්වය පොලිසියට පාලනය කර ගැනීමට නොහැකි වූයෙන් සවස් වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය කහවත්ත ප්‍රදේශයේ රාජකාරියේ යොදවා තිබිණි. ඒ සමඟම සවස් වනවිට නගරය සන්සුන් විය.

මේ අතර කහවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ බව සැකකෙරෙන තවත් පුද්ගලයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රී ගිනි තබා තිබේ.

කහවත්ත ඕපාත ප්‍රදේශයේ නිවෙසක් මෙලෙස ගිනි තබා ඇත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ නිවෙස ඔහුගේ මහ ගෙදර සහ ඔහුගේ සොහොයුරකුගේ නිවෙස ගිනි තැබීමෙන් පසු මේ නිවෙසද ගිනිතබා තිබිණි.

කහවත්ත නගරයට කැඳවූ විශේෂ පොලිස් කාර්ය බළකාය විසින් ඊයේ රාත්‍රී නගරයේ සැරිසරමින් සිටි තරුණ කණ්ඩායම් පලවා හරින ලදී. ඊයේ රාත්‍රී 7 සිට ප්‍රදේශය සන්සුන්ව ඇත.

කහවත්ත කොටකෙතල සමඟි මාවතේ සුරම්‍ය නිවෙසේ පදිංචිව සිටි නයනා නිල්මිණි (52) හා රත්නපුර ෆර්ගියුසන් විද්‍යාලයේ විද්‍යා විෂයයෙන් උසස් පෙළ හදාරණ කාවින්දි සෙල්ලහේවා (18) නමැති ඇගේ දියණිය පසුගිය ජනවාරි 31 දා ඝාතනය කර තිබිණි.

මේ ඝාතනයෙන් දින තුනකට පසු මළ සිරුරු සොයා ගැනුණේ පසුගිය පෙබරවාරි 2 වැනිදාය. කිසිදු හෝඩුවාවක් නොතබා ඝාතකයන් මේ ඝාතන සිදුකර පළා ගොස් තිබිණි.

ජනවාරි31 වැනි දින නයනාගේ වැඩිමහල් පුත් කොළඹ සිට සිය මවට දුරකතනයෙන් කතා කළද එයට පිළිතුරක් නොමැති හෙයින් අසල්වාසීන්ගේ සහායෙන් නිවෙස පරීක්‍ෂා කිරීමේදී නයනාගේ මෘත ශරීරය ඇඳක් මත තිබී ඇති අතර ඇගේ දියණියගේ මළ සිරුර නිවෙසේ සිට කිලෝ මීටර් 3ක් දුරින් පිහිටි ඕපාතවත්ත නම් ප්‍රදේශයේ දර කැඩීමට ගිය තරුණයන්ට හමු විය.

පසුව මේ බව කහවත්ත පොලිසියට දැන්වීමෙන් පසු රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ සිරුරු තැන්පත් කර තිබිණි.

සැකකරුවන් සොයා එදිනම පොලිස් පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. දින 36ක් පුරා රහස් පොලිස් කණ්ඩායම් 7ක් පුද්ගලයන් 250කගෙන් ප්‍රශ්න කළ අතර සැකකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරු රහස් පොලිසිය දැනට අනාවරණය කරගෙන ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට පැතිර ගිය ආරංචියක් මත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සොහොයුරාගේ නිවෙසට ගම්වාසීන් විසින් ගිනි තබන ලදී.

දේශපාලනඥයන්, විවිධ සංවිධාන හා දේශපාලන පක්ෂ පසුගිය කාලවකවානුවේ පොලිසියට බොහෝ දෝෂාරෝපණයන් සහ අපවාද එල්ල කළ නමුත් නියම අපරාධකරු අත්අඩංගුවට ගැනීම දිනකින් දෙකකින් කළ නොහැක්කක් බවද පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා