ඔලිව් අත්තක්, කැටපෝලයක් සමඟ සටන්කාමියෙක්

ඔලිව් අත්තක්, කැටපෝලයක් සමඟ සටන්කාමියෙක්

ලෝක ගෝලය තුළ පවතින පැරැණිම නිදහස් සටන ඇත්තේ එහිය. එක් පසෙක කැටපෝල, ගල් කැබැලිති, පිහි කෑලි අතින් ගෙන සිය මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ලේ හලන මිනිස්සු පිරිසක් වෙති. තව පසෙක නූතන මිසයිල් ගෙන භූමියක් ආක්‍රමණය කරන මිනිස්සු පිරිසක් වෙති. මේ ගැටුම කවදා කෙලෙස කුමන ආකාරයකින් නිමාවට පත්වේදැයි අපි නො දනිමු. එහෙත් සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.

මැද පෙරදිග තුවාලය ලෙස ද පලස්තීන ගැටුම ලෙස ද ලෝකයා විසින් මෙය හඳුන්වනු ලැබේ. එහෙත් මේ ගැටුම යටින් දුවන්නේ ලේ කකියවන නිදහස් අරගලයකි. “අපේ සටන්කාමියාගේ රුධිරයෙහි ප්‍රතිඥාව වන්නේ නිදහස් හා සාමකාමී පලස්තීනයකි. අවසානයේ සැබෑ ලෙසම එය ගොඩනැෙඟනු ඇත” යැයි අබුසල්මා නම් කවියා කියා තිබේ. ඔහු වනාහි පලස්තීන නිදහස් සටනට ජවසම්පන්න ශක්තියක් ලබා දුන් සම්භාවනීය කවියෙකි.

පලස්තීන නිදහස් සටනේ වීරයකු ලෙස සලකන අබුසල්මා නිදහස වෙනුවෙන් හැඟුම්බර කාව්‍ය රචනා සිය ගණනක් ලියා තිබේ. පන් සැත්තෑ වසරක් ආයු වළඳා 1980 දී ඔහු ජීවිතයෙන් සමුගත්තේය. මේ කවියා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මිතුරෙකි. 1967 සිට නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ඔවුන් සටන් කරන විට මහින්ද රාජපක්‍ෂ මහතා ද ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේය. ශශ්‍රී ලංකාව තුළ පලස්තීන මිත්‍ර සංවිධානයක් ඇතිකළේය. අදටත් එය ක්‍රියාත්මකය.

පලස්තීන විමුක්ති සංවිධානය පිහිටුවනු ලබන්නේ 1950 ගණන්වලය. එහෙත් එය ක්‍රියාකාරී සංවිධානයක් ලෙස ලෝකය හඳුනාගන්නේ 1964 පසුවය. පලස්තීන විමුක්ති සංවිධානය හෙවත් ෆාටා සංවිධානය නොයෙක් අභියෝගවලට මුහුණ දෙමින් අද දක්වා පවතී. එහි සමාරම්භක ප්‍රධානියා වූ යසර් අර්පත් මහතා 2004 දී ජීවිතයෙන් සමු ගත්තේය. නූතන පලස්තීනයේ නායකයා මහමුද් අබ්බාස් මහතාය. ඔහු අභියෝග රැසකට මුහුණ දෙන අභීත නායකයෙකි. පලස්තීනය ද දේශපාලන වශයෙන් ප්‍රධාන බෙදීම් දෙකකට යටත්ව සිටී. එහි එක් පාර්ශ්වයක් හමාස් සංවිධානය නියෝජනය කරයි. අනෙක් පාර්ශ්වය ෆාටා සංවිධානය නියෝජනය කරයි. එක අතකින් ඊශ්‍රායලයේ ආක්‍රමණවලට මුහුණ දෙන පලස්තීනය තව අතකින් අභ්‍යන්තර සිවිල් යුද්ධයකට මුහුණ දෙයි.

නූතන පලස්තීනය තුළ ඇත්තේ ඉතා සංකීර්ණ දේශපාලන තත්ත්වයකි. ගාසා තීරය, බටහිර ඉවුර නිරන්තරයෙන් ගැටුම්වලට තෝතැන්නක් වී තිබේ. ඒ හැරෙන්නට ලෝකයේ වෙනත් ප්‍රදේශ කරා ද මේ ගැටුම ගමන් කරයි. කෙසේ වුව අපගේ සාධාරණ හා යුක්ති සහගත අපේක්‍ෂාව වන්නේ නිදහස් හා සාමකාමී පලස්තීනයකි. ශශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් බොහෝ කැපවීම් කර තිබේ. පලස්තීන ජනතාව වැඩියෙන් ම ආදරය දක්වන පිටස්තර රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා විය හැකිය. එතුමා වසර 25 කට වැඩි කාලයක් පලස්තීනය වෙනුවෙන් හඬ අවදි කර තිබේ. ඊට කෘතගුණ සැලකීමක් ලෙස පලස්තීනයේ ප්‍රධාන වීදියක් මහින්ද රාජපක්‍ෂ වීදිය ලෙස නම් කර තිබේ.

පලස්තීන නායක මහමුද් අබ්බාස් මහතා දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. එතුමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ද, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අප දෙරටේ මිත්‍රත්වය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද අතීතයේ පටන් ඉතා සාරවත් ලෙස පැවත එයි. මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වීමත් සමඟ පළමු කී සබඳතා හා මිත්‍රත්වය මනා ශක්තිමත්ව ඉදිරියට ගමන් කරයි.

ලෝකයේ කොයි කොදෙව්වක ජීවත්වන ජාතියකට වුව නිදහස්ව හා සාමකාමීව ජීවිත ගෙවීමේ ද, දියුණු වීමේ ද අවකාශය පැවතිය යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වුව වෙනත් ලෝක සංවිධානයක් වුව එම සත්‍යය පිළිගත යුතු ය. මැද පෙරදිග සදාකාලික ගැටුම නිවාරණය කිරීම සඳහා වරින් වර විවිධ යෝජනා හා සැලසුම් ක්‍රියාත්මක විය. ඒ එකක්වත් සම්පූර්ණ වූයේ නැත. දෙපාර්ශ්වයේ ම වැරැදි තිබෙන්නට පුළුවන. මැදිහත්කරුවන්ගේ වැරැදි තිබෙන්නටත් පුළුවන. එහෙත් වැඩි ශක්තියක් හා වැඩි බලයක් සහිත ඊශ්‍රායලය පලස්තීන භූ®මි ප්‍රදේශ ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරන බව ඇස් පනාපිට දකින්නට ලැබෙන යථාර්ථයයි.

පලස්තීනය මෙන්ම ඊශ්‍රායලය ද ශ්‍රී ලංකාවේ හිත මිතුරු රාජ්‍යයකි. ශශ්‍රී ලංකාවේ අපේක්‍ෂාව වනුයේ සාධාරණ හා යුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ඔස්සේ ගැටුම් නිරාකරණය කිරීමය. ශශ්‍රී ලංකාව ද දීර්ඝ කාලීන ගැටුමකට මුහුණ දුන් රාජ්‍යයකි. වසර 30 කට පසු එම ගැටුමෙන් නිදහස් වීමට හැකි වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දූරදර්ශී - අභීත නායකත්වය නිසාය. එය ලෝකය දනී. ගැටුම් නිරාකරණයෙහි ලා ශ්‍රී ලංකාවේ අත්දැකීම් උගෙනීමට රටවල් හතළිස් ගණනක ආරක්‍ෂක ප්‍රධානීහු වරක් ශශ්‍රී ලංකාවට පැමිණියහ.

පලස්තීන නායකයාට ද ශ්‍රී ලංකාවෙන් බොහෝ දේ උගත හැකිය. ශ්‍රී ලංකාවට නිදහස හා සාමය උදා වූයේ අපේ ම මාර්ග සිතියමක් ඔස්සේ ගමන් කිරී‍ෙමන් ය. ත්‍රස්තවාදය පරාජය කිරීමේ දර්ශනය මේ රටේ රාජ්‍ය නායකයාගේ මිස විදේශීය යුද විශේෂඥයෙකුගේ නොවේ. මාතෘ භූමිය පිළිබඳ කැපවීමක් හා මහත් ආඩම්බරයක් සියලු දෙනා තුළ තිබිය යුතුය. මවුබිමක් නැති මිනිසා කල්ලතෝනියෙකි. ඔහුට උරුමයක් නැත. තම මවුබිම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම සාමයට බාධාවක් නොවේ. එය පාපයක් නොවේ. අසත්ක්‍රියාවක් නොවේ. මහමුද් අබ්බාස් නායකතුමාට ඒ පාඩම උගත හැකි හොඳම තැන ශ්‍රී ලංකාවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා