ප්‍රතිපත්ති පූජාව අර්ථවත් දිවියකට මඟ පෙන්වනවා

ප්‍රතිපත්ති පූජාව අර්ථවත් දිවියකට මඟ පෙන්වනවා

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූයේ වෙසක් පොහෝ දිනයේදීය. එබැවින් ලෝවාසී හා ලංකාවාසී සියලු බෞද්ධ ජනතාව එය සමරන්නේ මහත් උද්ේ‍යීගයෙනි. වෙසක් පොහොය නිමිතිකරගනිමින්, ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමේ වැදගත්කම පිළිබඳ මේ සංවාදය, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් සමඟිනි

* වෙසක් පොහෝදිනයේ වැදගත්කම පිළිබඳ ප්‍රථමයෙන් කතාකළොත්?

වෙසක් පොහෝදිනය බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් වූ දිනයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා ත්‍රිත්වයක් ඒ දිනය හා බැඳී පවතිනවා. ඒ නිසාවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව එය සමරනු ලබන්නේ ආගමික අදහස් පෙරදැරි කරගෙනයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ දිනය නිවාඩු දිනයක් බවට පත්කළේ ඒ වැදග්තකම මතයි. ශ්‍රී ලංකාව තුළත් වෙසක් පොහෝදිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින්, රජය ඒ කෙරෙහි වාර්ෂිකව විශේෂ අවධානයක් යොමුකරනවා. වෙසක් දිනයේ උපරිම ඵල ප්‍රයෝජන, ප්‍රතිඵල බෞද්ධ ජනතාවට අත්විඳින්නට සියලු අවකාශ සැලසී තිබෙනවා. අපි වෙසක් පොහෝ දිනය උත්සවාකාරයෙන් සමරනු ලබන්නේ අද ඊයේ සිට නොවේ. බුදු දහම මෙරටට හඳුන්වා දුන් දෙවන පෑතිස් යුගයේ පටන් ම ඉතාමත් ගෞරව පූර්වකව ඒ දිනය සමරනවා.

රාජ රාජ මහාමාත්‍යාදීන් එදා තම පූර්ණ අනුග්‍රහය ඊට ලබාදුන්නා. ඒ වගේම උත්සව පැවැත්වීමේ කටයුතු සංවිධානය කරමින් ජනයාගේ ආධ්‍යාත්මය දියුණු කිරීමට ඔවුන් කටයුතු කළා. අතීතයේ පටන් රාජ්‍ය බලය රඳා පැවතීමේ ප්‍රධානතම සාධකය බවට පත්වූයේ බුදුදහමයි. ඒ නිසාවෙන් තමාගේ යටත් වැසියාගේ අභිප්‍රායන් මනාව හඳුනාගනිමින්, ඔවුන් ධාර්මික කරවාගන්නට රාජ්‍ය කටයුතු කලා. ඒ අතරම ධාර්මික රාජ්‍ය පාලනය තුළින්, මේ රටේ සදාචාරය, ගුණධර්ම දියුණු කරවාගැනීමට එදා රජවරුන්ට අවශ්‍ය වුණා.

එවක පටන් අද දක්වාම වෙසක් පොහොය සමරනු ලබන්නේ එවැනි අභිප්‍රායන් මුල්කරගෙනයි. ප්‍රතිපත්තිමය පූජාවන්ට මුල්තැනක් ලබාදෙමින්, ශීල, භාවනා හා දාන යනාදියේ ඔවුන් යෙදෙනවා. මේ ලක්ෂණය එදා අනුරාධපුර යුගයේදීත් දක්නට ලැබුණා. එකල, මෙරටේ බෞද්ධ ප්‍රබෝධය කෙතරම් තිබුණාද කිවහොත්, ආරාම, පන්සල් ආශ්‍රිතව ජන ගංගා දක්නට ලැබුණා. එවන් තැන්වල සිට ප්‍රතිපත්තිමය පූජාවන් පුරන අතරතුරදී ධර්මය ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා, ශීල සමාදාන කටයුතු සිදුකළා.

අද වෙනකොට සමාජය නවීනයි, දියුණුයි, සංකීර්ණයි.එදා අපි හිතපු විදිහට අද ලෝකය දිහා අපට බලන්න බැහැ. අර්ථභාවයන් වෙනස්වෙලා. එදා ඒ ආකාරයෙන් ප්‍රතිපත්ති ගරුක ජීවිත ගතකරපු අය අද බොහෝවිට මුල්තැනක් ලබාදෙන්නේ ආමිස පූජාවලට, වෙසක් දාට අවට සැරසිලිකිරීම හෝ උත්සව කිරීම, විචිත්‍ර කිරීම සිදුකරන්නේ බොදු බැතියෙන්. ඒ නිසා ඒක ඇත්තටම බැහැර කරන්න බැහැ.

* වෙසක් දිනය නිමිති කරගනිමින් බොහෝ පිරිස් උත්සව කටයුතුවල නිරත වුණා. මේ තත්ත්වය බුද්ධ දේශනාවට උචිතද? අනුචිතද?

මම දකින විදිහට උත්සව පැවත්වීම කියන දේ ආරම්භ වෙන්නේ නූතන යුගයේදී නෙවෙයි. මිහිඳු හිමියන් බුදුදහම රැගෙන මෙරටට පැමිණි දා පටන් උත්සව පැවැතියා. බුදු දහම හඳුනාගත් මිනිසුන් අත්හදාබැලීම් උපයෝගීකරගනිමින්, ආමිස පුද පූජාහී නිරත වුණා. එහි ආරම්භය විදිහට මා දකින්නේ ක්‍රි. පූ. 3 සියවසේ අශෝක අධිරාජ්‍ය යුගය. ප්‍රතිපත්ති පූජාවන්ට සීමා වී තිබුණු බුදු දහම , ආමිස පුද පූජාවලටත් යොමුකරනු ලබන්නේ එදවසේදීයි. විශේෂයෙන්ම බුදුදහම යන්න ජනතාවගේ සිත් තුළට කාවැද්දීම සඳහා නොයෙක් ආකාරයේ ආධ්‍යාත්මික සංකල්ප ක්‍රියාත්මක කළා. ඉන් එක් අංගයක් වන්නේ උත්සවයි.

අශෝක අධිරාජ්‍යයා බුදුදහම ව්‍යාප්ත කරලීමේ ක්‍රියාවලියේදී වඩා මුල් තැනක් ලබාදුන්නේ ආමිස පූජාවලටයි. බුදු දහම පොදු ජන හදට ලංකරවීම පිණිස මහජනතාව ඊට සම්බන්ධ කර ගත්තා. ඊට පෙරාතුව දක්නට ලැබුණේ භික්ෂූන්ට පමණක් සීමාවී තිබූ,, භික්ෂූන්ට පමණක් වෙන් වූ ප්‍රතිපත්තිය මත ගොනුවූ ක්‍රමවේදයක්. එහිදී ජනතාවට ධර්මය සමීපවීමක් දක්නට ලැබෙන්නේ නෑ. ඒනිසා දහම ජනතාවට අවබෝධ වන්නට නම්, එය සමීප විය යුත්තක්.

අතීතයේදී, පෙරහර තුළ විවිධ විචිත්‍රාංග දක්නට ලැබුණා. ඒ විචිත්‍රාංග එදා සිට නූතනය දක්වාත් දක්නට ලැබෙනවා. ජනතා ඒකරාශිවීම තුළ සියල්ලන්ගේ සිත් ඒ කෙරෙහි නම්‍ය වෙනවා. එතනදී, බුදුදහම තමන්ගේ සිත තුළ සුවිශේෂ අන්දමකට විප්ලවයක් කරනු ලබනවා. ඒ ක්‍රමවේදය, මහින්දාගමනයත් සමගින් මෙරටට ලැබුණා.

ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට ගෙන ඒමත් සමඟ ඒ උදෙසා වන්දනාමාන කිරීම සිදුකළා. පුද පූජා පවත්වනු ලැබුවා. බෝධිපූජා පවත්වමින් ආගමික ජීවන පිළිවෙතකට ඔවුන් හුරු වුණා. ඒ වගේම පෙරහර පවත්වමින් බෝධියට උපහාර පුදකරනු ලැබුවා.

දළදා වහන්සේ මෙරටට වැඩමවීමත් සමගම පුද පූජා ක්‍රමවේදයන් තවදුරටත් සංකීර්ණ වුණා. ජනතාව තමන්ගේ ආගමික හැඟීම ඉස්මතුකරනු ලැබුණෙ එයින්. ආගමික ජීවිතයට පැවැති සීමා බිඳ වැටුණා. රාජ්‍ය අනුග්‍රහය මත ආගමානුකූලව ජීවත්වීම හදවතට අතිශය සමීප වුණා. වර්තමානයේදී, බෞද්ධ ජනතාව ආමිස පූජා කෙරෙහි යොමුවීමට ප්‍රධාන හේතුව ඇරැඹෙන්නේ එතැන් සිටයි.

* නමුත්, අද වෙනකොට බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ ආමිස පූජාවල යෙදෙන්නයි.ඒ ඇයි ?

වර්තමානය වන විට දක්නට ලැබෙන්නේ ආමිස පූජා විතරක් කියලා කෙනෙකුට කියන්න බැහැ. බාහිර ලක්ෂණ ඉස්මතුවීම දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. ප්‍රතිපත්ති පූජා ක්‍රමවේදයන්ට අනුගතවන අතරතුරේදී, ආමිස පූජා වැඩීමේ වරදක් නැහැ. ප්‍රතිපත්ති පූජාවන් මගින් බෞද්ධ අර්ථවත් ජීවිතයකට අවශ්‍ය මග පෙන්වීම ලබාදෙනවා. දාන, ශීල, භාවනා පිරීම තුළින් පමණක් පුද්ගලයෙක්ගේ සිත ආගමානුකූල මගකට ගෙන ඒම කළ නොහැකියි.

දන්සැල් දීම, වෙසක් කූඩු සැකසීම යනාදී කටයුතු තුළින් පුද්ගලයෙකුගේ ජීවිතයේ මහා වෙනසක් සිදු වෙනවා.මම දකින විදිහට ලෝකයේ කිසිම රටක මේරටේ තරම් පරිත්‍යාගශීලී වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. අද වෙනකොට දන්සලක් දෙන්න බොහෝ දෙනෙක් එකතු වෙනවා.ඒ සියල්ල ඔවුන් සිදුකරන්නේ අසීමිත ශ්‍රද්ධාවෙන්. මාස ගාණක් ඉඳන් ඔවුන් ඊට සූදානම් වෙනවා. අඩුම තරමේ, වෙනදා පිනට යමක් නොදෙන කෙනා, වෙසක් දන්සලට බලහත්කාරයෙන් හෝ මොනවාහරි දන් දෙනවා. ඊට කුමන ආකාරයකින් හෝ දායක වෙනවා. මම හිතන්නේ නෑ මෙවන් තත්ත්වයක් ලෝකේ අන් රටක තියෙනවා කියලා.

ඒ වගේම පන්සල්, ආරාම, වන්දනා කරන්න පිරිස යොමුවෙනවා. එතැනදී, ස්වාමීන් වහන්සේලා ඔවුන්ට ධර්මයෙන් අනුශාසනා කරනවා. එතුළින් යළිත් ජීවිත තුළ ලොකු වෙනසක් සිදුවෙනවා. ඒ නිසා ආමිස පූජාවන්හි යෙදීම නිරර්ථක නැහැ. විවිධ දේ ඉගෙන ගන්න එය හොඳ තෝතැන්නක්. එතුළින් බුදු සමය පිළිබඳ ප්‍රබෝධයක් නිර්මාණය වෙනවා.

* වෙසක් පොහෝ දිනය සැමරුමකට වඩා තව කෙනෙකුට කෙලිදෙළෙන් ගතකරන කාලයක්. අද බොහෝ තරුණ පිරිස ඊට නැඹුරුවෙලා නේද?

ඔවුන් අතර යම් යම් බැහැර කළ යුතු තත්ත්වයන් මා දකිනවා. සමහර කෙනෙක් මෙවැනි ආමිස පූජාවන්හී යෙදෙන්නේ වෙනත් අර්ථයකින්. තරුණ පිරිස විකාරරූපීව, කෙළිදෙළෙන් මේ දිනය ගත කරන්න උත්සාහ දරනවා. ඔලුබක්කන් ආදී විවිධ ක්‍රියාවල යෙදෙනවා. ඒවා බුදුදහමට හෝ සමාජයට අනුගත නැහැ.

ඒ වගේම වෙසක් පෝය දවස සමහරු දන්සල් වඳින්න යන දවසක් කරගෙන. ඔවුන් කියන්නේ අපි මේ යන්නේ වන්දනා ගමන් නෙවෙයි, දන්සල් වඳින්න කියලයි.ඒ ගමන් වලදී ආගම දහමට නොගැළපෙන විකාර ඇඳුම් අඳිනවා.මහ මඟ ගමන් කරන අයට උසුළු විසුළු කරන අවස්ථාත් දක්නට ලැබෙනවා. මෙවැනි විනෝද ක්‍රියා බුදුදහමෙන් උගන්වලා නැහැ.

සමහර කෙනෙක් උද්යෝගයෙන් බුදු තෙමගුල සමරද්දී, තවත් සමහරෙක් ඒ ලස්සන අවලස්සන කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම, යම් යම් සංවිධානය වූ කොටස මේ දිනය කිළිටි කරගන්න උත්සාහ දරනවා. නමුත්, බෞද්ධ දරුවන් මීට යොමුවිය යුතු නැහැ.

වෙසක් දවස කියන්නේ බෞද්ධයින්ට අතිශය වැදගත් දිනයක්. ඒ දිනය නාස්තිකරගන්න එපා. ප්‍රතිපත්ති ගරුකව, බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් හී යෙදෙන්න. එතකොට මොලොව ජීවිතය වගේම පරලොව ජීවිතයත් සාක්ෂාත් කරගන්න පුළුවන්.

* 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියත් සමඟ බෞද්ධ ජනතාව අතර ලොකු ප්‍රබෝධයක් ඒ කෙරෙහි ඇති වුණා. නමුත් ඒ ප්‍රබෝධය අද වනවිට තරමක් අඩාලවෙලා කියලා මතයක් පවතිනවා. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේ කටයුත්ත බොහොම ඉහළින් ආරම්භ වුණා. නමුත්, ඒ ආරම්භක ප්‍රතිඵල අද වෙනකොට ඒ විදිහටම ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්. 2600වන සම්බුද්ධත්ව ජයන්ති සැමරීමේ කර්තව්‍යය අද වෙනකොට එතරම්ම ජනතාවට දැනිලා නැහැ. ඒ වගේම ආරම්භක අරමුණු සාක්ෂාත් වෙලා තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.

“පිළිවෙතින් පෙළගැසෙමු” තේමාව යටතේ බොහෝ කටයුතු සිදුවුණා. ඒ ක්‍රියාවලිිය නිවැරැදිව ජනතාව අතරට ගියා නම්, රටේ අපරාධ සංඛ්‍යාව අවම විය යුතුයි. ඒ වුණාට අද වෙනකොට මේ රටේ දිනෙන් දින අපරාධ වර්ධනය වෙලා. මතට ඇබ්බැහි වූ පිරිස වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. මම දකින විදිහට බෞද්ධ රටකට මේක හොඳ තත්ත්වයක් නෙවෙයි.

ඒ වගේම එතැනදී, වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය නිවැරැදි ලෙස ඒ කෙරෙහි යොමුවෙලා නැති ආකාරයක් පෙනෙනවා. නීති රීති මීට වඩා සංකීර්ණ විය යුතුයි. අනෙක් අතට, ඉරිදා දිනයේදීත්, පෝය දිනයේදීත් බාහිර පංති තහනම් කරන්න කියලා නීතියක් පැනවුණා. නමුත් ඒ නීතියවත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේ උදාවෙන්නේ අතිශය වැදගත් වූ පොහෝ දිනයක්. ඒ නිසා ඒ දිනයේදී, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හී යෙදෙමින් කටයුතු කළ යුතුයි. සැරසිලිවල විතරක් යෙදිලා වැඩක් නැහැ. බෞද්ධකම හදවතෙහි රඳවාගෙන, වෙසක් දිනය සැමරීම අතිශය කාලෝචිතයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා