මැතිවරණයකට ඉදිරිපත් නොවී පොඩ්ඩා පාර්ලිමේන්තු යයි!

මැතිවරණයකට ඉදිරිපත් නොවී පොඩ්ඩා පාර්ලිමේන්තු යයි!

පොඩ්ඩාට ඩී. බී. ධනපාල මහතා විශේෂ ආදරයක් දැක්වූයේ ඔහු පත්‍ර කලාවට අති දක්ෂයකු වූ නිසා නොවේ. පත්‍ර කලාවට නවකයකු වූ පොඩ්ඩා ඉතා ඉක්මණින් පත්‍ර කලාව ඉගෙන ගත්තා පමණක් නොව වෘත්තිය කෙරෙහි කැපවීමෙන් කටයුතු කළේය.

පත්තරකාරයකු, ලිපිකරුවකු මෙන් පැය අටේ ජොබ් එක නොකළ යුතුය. ලිපිකරුවා හරියටම වැඩට එන්නේ උදේ 8.30ට ය. පොත අත්සන් කරන ඔහු කැන්ටිමට ගොස් උදේ ආහාරය ගනී. ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගතවේ. ඔහු කාර්යාලයේ පුටුවේ නැවත හිඳගන්නේ උදේ 9 හෝ 9.15ට පමණය. ඉන්පසු යහළුවන් සමඟ ආගිය තොරතුරු කතා කිරීම අරඹන ඔහු රාජකාරි කටයුතු ඇත්තටම ආරම්භ කරන්නේ උදේ 10ට පමණය.

එක දිගට දවල් 12 වනතුරු රාජකාරිය කරන ලිපිකරුවා වෙලාව බලන්නේ දවල් කෑමට යාමටය. දොළහට කෑමට ගියහොත් 1.30ට එන්නේය. දොළහයි තිහට ගියොත් 2ට එන්නේය. දිවා විවේකයෙන් පසු කාර්යාලයට එන ලිපිකරුවා පස්වරු 4 වනවිට ගෙදර යාමට සූදානම්ය.

පත්තරකාරයා එසේ නොවේ. දවල් දොළහ එක වනතුරු පත්තර කන්තෝරුවට යායුතුම නැත. උදේ වරුවේ කර්තෘතුමා පැවැරූ රාජකාරියක් නැතිනම් ඔහු කරන්නේ තමන්ට නියමිත අමාත්‍යාංශවල ගොස් ප්‍රධානීන් හමුවී තොරතුරු එකතුකර ගැනීමය. ඇමැතිවරුන් හමුවී හොඳ කතාවක් පත්තරේ මුල් පිටුවට සොයාගැනීමය. මොනවා හෝ සොයා ගෙන එන වාර්තාකරුවා හිස් අතින් කන්තෝරුවට යන්නේ නැත. කන්තෝරුවට ගොඩවූ විගස ප්‍රවෘත්ති කර්තෘ කතාකරයි.

“හා ඉලන්දාරියා මොනවද අද හොඳ කතාවක් නැද්ද”

“තියෙනවා - ටොප් බඩුවක්” එසේ කියන පොඩ්ඩා සොයා ගත් කතාව විස්තර කරයි. කතාවේ ලොකු - පුංචි කම අනුව ප්‍රවෘත්ති කර්තෘ මෙසේ ප්‍රතිචාර දක්වයි.

“හරි හරි ලියල ගන්නවකො බලන්න.” “ටොප් කතාවක් නේ. ලීඩ් එකකට හදාගනිමු” අයිසේ ඒකෙන් වැඩක් නෑ” ආදී වශයෙනි.

උදේ එළියට යන වාර්තාකරුවා පෝයදා මාළු ගේන්නට මාර්කට් ගියා සේ හිස් අතින් කන්තෝරුවට ආවොත් කරන්නේ ප්‍රවෘත්ති කර්තෘට නොපෙනෙන සේ එහාට මෙහාට වෙමින් කාලය ගත කිරීමය. හැබැයි මොකක් හෝ කතාවක් දිය යුතුමය. අඩුම තරමින් අතේ රෝලක්වත් ගැසිය යුතුය.

දවල් 12 වනතුරු අමාත්‍යාංශ හා කාර්යාලවල රස්තියාදු ගසා දවල් 12 - 1 වනවිට කන්තෝරුවට වාර්තාකරුවන් එන්නේ හතර මහ නිධානය පහළ කරගත් වාසනාවන්තයකු ලෙසය. සමහරු කාර්යාල, අමාත්‍යාංශ කෙසේ වෙතත් කවුරුන් හෝ අල්ලාගෙන බාර් එකට වැදී අඩියක් ගසති. කොහොම වෙතත් කිසිම වාර්තාකරුවකු උදෙන්ම කාර්යාලයට යන්නේ නැත.

එක දවසක් රාත්‍රී සේවයේ නිරත වාර්තාකරුවකු ලොග් පොතේ මෙලෙස සටහනක් තැබුවේය.

“මේ පුටුවල ඉන්න බැරිය. ඒ තරමට මකුණෝය.”

මෙම සටහන කියැවූ සහකාර කර්තෘ පියල් වික්‍රමසිංහ මහතා ඊට යටින් මෙසේ ලීවේය.

“වාර්තාකරුවන් සිටිය යුත්තේ පුටුවල නොවේ”

ලංකාදීප පත්‍රයේ වාර්තා කරුවන් සිටියේය. ඔහුගේ නම ගිල්බට් ඩයස්ය. ඒ නමින් බොහෝ දෙනා ඔහු හඳුනන්නේ නැත. “කපුටා” යයි කීවිට බොහෝ දෙනා ඔහු හඳුනති.

කපුටා අතේ හැම විටම ෆයිල් කවර දෙක තුනක් තිබේ. ඒවා ඇතුළේ ඒ හැටි වටිනා ලිපි ලේඛන නැත. ඇමතිවරයකු ස්ථීර ලේකම්වරයකු මුණගැසෙන්නට යන ඔහු සිය ෆයිල් කවර දෙක තුන ඇමතිගේ හෝ ස්ථීර ලේකම්ගේ මේසය මත ඇති ලිපි ගොනු මත තබා කයිවාරුවක් ගසන්නේය. විනාඩි දහයක් පහළොවක් හෝ කතාබහ කරන කපුටා නැගිට යන්නේ තමන්ගේ ෆයිල් කවර සමඟ මේසය මත ඇති ලිපිගොනු දෙක තුනක්ද අරගෙනය. අනුන්ගේ ලිපිගොනු උස්සාගෙන යන කපුටා ඒවා පෙරළා හොඳ ප්‍රවෘත්ති තියනවානම් ඒවා සටහන් කරගෙන පසුවදා ලිපි ගොනු එක ආපසු රැගෙන යයි.

අනුන්ගේ ලිපි ගොනු රැගෙන යන නිසා ගිල්බට් ඩයස්ගේ නම කපුටා විය. කෙසේ වෙතත් එවැනි බරපතළ කපටි වැඩ පොඩ්ඩාට පුරුදු නැත. තොරතුරු ගන්නට ඇමතිවරුන් ස්ථිර ලේකම්වරුන් සමඟ ඔහුගේ සම්බන්ධකම් නැත. පොඩ්ඩාට පැවරී ඇත්තේ කොමිෂන් සභා නඩු හා වෙනත් වැදගත් රැස්වීම් වාර්තා කිරීමය. සුද්දන් සහ විදේශ රාජ්‍ය නායකයන් සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවට අනිවාර්යයෙන්ම එක්කෝ ජැක්සන් යායුතුය. නැතිනම් පොඩ්ඩා යායුතුය.

පොඩ්ඩාට පත්තර කන්තෝරුවට බැඳුන හැටියේම වාගේ අලුත් අත්දැකීමක් ලැබුණි. ඒ පාර්ලිමේන්තුව වාර්තා කිරීමයි. ඡන්දයකට නාමයෝජනා ඉදිරිපත් නොකොට වැය නොකොට එක දිගට වසර තිහ හතළිහක් පාර්ලිමේන්තුවට පොඩ්ඩා ගියේය. ඒ සඳහා ඔහුට තිබුණේ අවසර පත්‍රයක් පමණි. පාර්ලිමේන්තු සභා ගැබේ සිට ඩඩ්ලි - ජේ. ආර් - මෛත්‍රී - ඇන්. ඇම් - කොල්වින් - ලෙස්ලි වැනි ප්‍රබල දේශපාලනඥයන් ද පමණක් නොව පි‍්‍රන්ස් ලක්ෂ්මන්, විමලසිරි - එස්. බී - හේරත් වැනි දෙවෙනි නායකයන්ද, වාසු - සරත් මුත්තෙට්ටුවේගම, දි. මු. ජයරත්න වැනි පෙරළිකාරයෝද කරන කතා වසර තිහ හතළිහක්ම පොඩ්ඩා වාර්තා කළේය. දවස පත්‍රය නියෝජනය කළ පොඩ්ඩා පසුව ඇත්ත - ජනදින - දිනකර පමණක් නොව විද්‍යුත් මාධ්‍යයක් වන අයි. ටී. එන් සඳහා ද පාර්ලිමේන්තුවේ තොරතුරු ලීවේය.

සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හා දෙමළ බසින් පවත්වන කතා ඉයර්ෆෝන් එක හරහා අසාගෙන පත්‍රයේ පලවන ආකාරයටම වේගයෙන් ලියන්නට පොඩ්ඩා වේගයෙන් ඉගෙන ගත්තේය. එපමණක් නොවේ. ඒ අතර ඇතිවන සණ්ඩු සරුවල් ද නොඅඩුව වාර්තාවේ සටහන් කළයුතුය. පොඩ්ඩා සමඟ තවත් තිදෙනෙක් වාර්තා කරන්නට ගියහ. පොඩ්ඩා සැමදාමත් ගරු කළ දේශපාලනඥයා වූයේ ඇන්. ඇම්. ය. අනෙකුත් වාමාංශික දේශපාලනඥයන්ටත් විශේෂයෙන්ම ගරු කළේය.

එහෙත් පත්තර කලාවේදී විශේෂයෙන් පාර්ලිමේන්තු වාර්තාකරණය මධ්‍යස්ථ විය යුතුය. දේශපාලන පක්ෂ නායකයන්ට, අගමැතිට ඇමැතිවරුන්ට කතා වාර්තා කිරීමේදී වැඩි ඉඩක් ලබාදිය යුතුය.

වාර්තාකරුවන්ට පාර්ලිමේන්තුවේදී (පරණ පාර්ලිමේන්තුව) විශේෂ වරප්‍රසාද ලැබේ. දවල් කෑම එකක් රුපියල් 1.50කි. පත්තර වාර්තාකරුවන්ට කෑම දෙන්නට සිටියේ අප්පුහාමිය. කෑම පිඟන්වලට බෙදා තවත් පිඟානකින් වසාගෙන දෙවන තට්ටුවේ කෙළවරේ පුංචි ආලින්දයට ගෙන එයි. කෑම කන්නට පෙර කෑම රුචිය ඇතිකර ගැනීමට ෂොට් එකක් දෙකක් ගන්නා අයද සිටිති. ඒ අය මහ බැංකුව අසළ ඇති තැබෑරුමට හෝ පාර්ලිමේන්තුව පිටුපස මහජන බැංකුවේ රෙස්ටුරන්ට් එකට හෝ යා යුතුය. ඒ දෙකම දැන් නැත.

පාර්ලිමේන්තුව එදා රැස්වූයේ පස්වරු දෙකටය. අවසන් වන්නේ රාත්‍රී 8ටය. සිකුරාදාට පමණක් උදේ 10ට රැස්වී සවස 5ට අවසන් වෙයි. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට පෙර වාර්තාකරුවන් පහළ ඇති කාර්යාලයට යති. අණපනත් න්‍යාය පත්‍රය වාර්ෂික වාර්තා ආදිය එතැනින් ලබාගත යුතුය. එක දවසක් උස්සාගෙන යාමට තරම් වාර්තා තොගයක් ලැබුණි. ඒවා ළඟතබාගෙන රාජකාරි කළහ. පොඩ්ඩා සමඟ එක තැන වාර්තා කළේ දිනමිණ විමල් වීරසේකර, උදය මානවසිංහ වෙති. පොඩ්ඩා දවස වෙනුවෙනි. රාත්‍රී අටට රැස්වීම අවසන් විය. කොපි ගෙනයෑමට ආ සේවකයාට සියලු වාර්තා පිටපත් දුන් මේ තිදෙනා කාර්යාලයට නොගොස්ම ගෙදර යාමට තීරණය කළහ. ඒත් ඊට කලින් වෙනත් ව්‍යාපෘතියකට සාකච්ඡා ඇරඹුණ බව පොඩ්ඩාට තේරුණි.

“මේ පොත් ටික මොකට උස්සන් යන්නටද? මේවා හොඳයි කඩදාසි බෑග් හදන්න” උදය කීවේය. “මටත් බෑ මේවා උස්සන් යන්න.” විමල් කීවේය.

“මං කියන්නම් වැඩේ. මේ පොත් ටික පරණ පත්තර කඩේට දෙමු. දීල ඒ සල්ලිවලින් අඩියක් ගහමු.” උදය ගෙන ආ යෝජනා විමල් ස්ථිර කළේය. පොඩ්ඩාද වැඩේට හවුල් විය. එහෙත් ඔහුගේ පොත් ටික වික්කේ නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා