මං බස් කොන්දොස්තර කෙනෙක් ද

මං බස් කොන්දොස්තර කෙනෙක් ද

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති

ඉංජිනේරු විජිත පණ්ඩිතසේකර

“සහෝදරවරුනි, අපි අපේ පාසල රැක ගන්න ඕනෑ. අපේ පාසලේ සම්පත්, අපේ ගුරුවරු අපි රැක ගන්න ඕනෑ. මේ විදිහට ගියොත් අපෙන් පසුව මේ පාසලට එන නංගිලා, මල්ලිලාට ඉගෙන ගන්න පාසලක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එකට එකතුව පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවට විරෝධය දක්වන්න ඕනෑ.”

ජයවේවා ! රැස්ව සිටි සියලුම සිසුහු අත්පොළසන් හඬ නඟා එය අනුමත කළහ.

දේශපාලන වේදිකා තුළදී අපට අසන්නට ලැබෙන කතාවකට සමාන වුව ද මේ එවැනි කතාවක් නොවේ. 1985 – 86 කාල වකවානුවේදී වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරු රැසක් එකවර මාරු කර යැවීමේ සිද්ධියකට සිසුන් විරෝධය දැක්වීමට පෙළ ගැසුණේ මේ ආකාරයෙන්ය. මේ විරෝධතාවේ ඉදිරියෙන්ම සිටි සිසුන් අතර විජිත පණ්ඩිතසේකර සිසුවාද එක් අයෙකි. එදා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ කැපී පෙනෙන සිසුවකු වූ ඔහු අද ඉංජිනේරුවරයකි. එසේම රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති ධුරය හොබවන්නේ ද ඉංජිනේරු විජිත පණ්ඩිතසේකර මහතාය. මේ දිගහැරෙන්නේ ඔහුගේ කතාවයි.

ස්වභාව සෞන්දර්යයෙන් සහ සශ්‍රීකත්වයෙන් හෙබි දකුණු ලකේ වීරකැටියේ සිටි ඒ. වී. අමරසේන සහ අනුලා පණ්ඩිතසේකර යුවළට දරුවන් දසදෙනෙක් වූහ. පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැනු දරුවන් පස්දෙනෙකුගෙන් යුත් මේ පවුලේ අටවෙනියා වූයේ විජිත පණ්ඩිතසේකරයි. දරුවන් වැඩි පිරිසක් සිටි නිසා මේ පවුලේ සියලු දෙනාම එකට එකතු වූයේ කලාතුරකිනි. බාල සහෝදර සහෝදරියන් පාසල් යද්දී වැඩිමහල් සහෝදරියන් රැකියාවල නිරත විය. එම නිසා අම්මා තාත්තා සමඟ නිවසේ රැඳුණේ දරුවන් තුන්හතර දෙනෙකු වුවද ඔවුන්ගේ එකමුතුකමෙහි නම් කිසිදු අඩුවක් නොතිබුණි.

ඒ. වී. අමරසේන එසේත් නැතහොත් විජිතගේ පියා විදුහල්පතිවරයකු වූ අතර එදා ඔහු ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටියේය. යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ සද්භාවයෙන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුවද දේශපාලන ලෝකයේ ක්‍රියාකාරිකයකු වීමේ ප්‍රතිඵලයක් හේතුවෙන් ඔහුට පාසල් කිහිපයකට මාරුවීම් ලැබුණේය. දේශපාලන ª හා සමාජ සේවා කටයුතුවලට සම්බන්ධව ක්‍රියා කළ ඔහුට මාරුවීම් ලැබුණ ද සේවය කළ සෑම පාසලක්ම අංග සම්පූර්ණ පාසලක් බවට පත් කිරීමට ඔහු කටයුතු කළේය.

පියා විදුහල්පතිවරයකු වීම නිසා විජිත ඇතුළු සහෝදර සහෝදරියන්ට ජීවත්වීමට සිදු වූයේ දැඩි නීති රීති මධ්‍යයේය. නමුත් ඔහු දරුවන්ට පියකු ලෙස තමන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කළේය. විශේෂයෙන් දරුවන් සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඔහු කටයුතු කළ අතර ඒ අනුව විජිතව වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කෙරුණි.

‘මගේ පාසල් කාලය හරිම සුන්දරයි. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය මිශ්‍ර පාසලක් නිසා ගැහැනු, පිරිමි ළමුන් අතර හොඳ සමීපතාවක් තිබුණා. අපේ ගෙදරයි, පාසලයි අතර තිබුණේ කිලෝමීටර් එකක පමණ දුරක්. එදා අද වගේ බස් තිබුණේ නැහැ. යාළුවොත් එක්ක රංචු ගැහිලා විවිධ දඟ වැඩ කරමින් පයින්ම පාසලට යනවා. එදා අපේ ගම් පළාත හරිම සුන්දරයි. වෙල් දෙනිවල දුව පැන නටපු කාලයක් අපිටත් තිබුණා. ඒ සුන්දර ළමා කාලය අද ළමයින්ට අත්විඳින්න ලැබෙන්නේ නැහැ.’

පුංචි කාලේ දඟකාර චරිතයක් වුවද ඔහු සෑම දෙනාගේම ආදරය, සෙනෙහස දිනා ගත්තේය. පාසලේදී අධ්‍යාපන කටයුතු හැරුණු විට බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි ද ඔහු විශේෂ උනන්දුවක් දැක්වූ අතර එදා ජනපි‍්‍රය ක්‍රීඩාවක් ලෙස තිබූ එල්ලේ සහ ක්‍රිකට් ක්‍රීඩා තුළින්ද ඔහු දක්ෂතා දැක්වීය.

කුඩා කල පටන් ඔහුගේ පි‍්‍රයතම විෂයත් දක්ෂතම විෂයත් වූයේ ගණිතය යි. ඒක් අවස්ථාවක දී ඔහුත් සමඟ තවත් සිසුවියක් පන්තියේ පළමු ස්ථානය ලබා තිබුණේය. එදා තිබූ සමාජ ක්‍රමයත් සමඟ ගැහැනු ළමුන්ට වඩා ඉදිරියෙන් පිරිමි ළමුන් සිටිය යුතු යැයි අදහසක් ද තිබූ බැවින් විජිත ගුරුවරිය අසලට ගොස් නැවත ලකුණු එකතු කර බැලුවේය.

‘පුංචි කාලේ මම ටිකක් දඟයි. දැන් නම් එහෙම නැහැ. මට මතකයි දවසක් ගුරුවරයෙක් නොමැති වෙලාවක මමයි, තවත් යාළුවකුයි අපේ පන්ති කාමරයේ දොරට තබා තිබුණු ගල අරගෙන ඒක අතින් අතට දමමින් සිටියා. ඒ වෙලාවෙදි පි‍්‍රන්සිපල් එනවා දැකපු මගේ යාළුවා එකපාරට ගල මගේ දෙසට විසි කළා. ගල ඇවිත් මගේ අතේ වැදිලා අතේ ඇඟිලි දෙකක් තුවාල වුණා. එදා අද වගේ රෝහල් තිබුණේ නැති නිසා අම්මා මාව වලස්මුල්ලේ තිබුණු රෝහලකට එක්ක ගෙන ගියා. එතන දී මගේ ඇඟිල්ලක් කපන්න වෙයි කියලා වෛද්‍යවරු කිව්වා. ඒ වෙලාවේ අම්මාට ගොඩාක් දුක හිතුනා. කොහොම හරි ඇඟිල්ල කපන්නේ නැතුව තුවාලය සනීප කර දෙන්න කියලා ඇය වෛද්‍යවරයාගෙන් ඉල්ලුවා. වාසනාවකට එදා ඇඟිල්ල කපන්නේ නැතුව බේරුණේ අනූනවයෙන්.’

දඟකාරකම් කොතරම් තිබුණ ද අධ්‍යාපනයට උපන් හැකියාවක් ඔහු තුළ තිබූ නිසාමදෝ ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුණි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට මවුපියන්ගෙන් බලපෑම් ආවේ නැහැ. නමුත් තාත්තා නම් ටිකක් සැරයි. ඔහුගේ තද නීතිරීති තිබුණා. මට මතකයි මම ටික දවසක් තාත්තා සේවය කරමින් සිටි මිද්දෙණිය පාසලේ අධ්‍යාපනය ලැබුවා. ඒ කාලේ අපේ පන්තියේ හිටපු දඩබ්බර ළමයි වැරැදි වැඩ කළහම තාත්තා මුලින්ම දඬුවම් කළේ මට. මම ඒ වැරැද්දට සම්බන්ධ නොවුණත් මට දඬුවම් විඳින්න සිදු වුණා. ඒ පිළිබඳව නම් මට එදා ලොකු කණගාටුවක් තිබුණා. ගණිතය විෂයයට නම් මම පොඩි කාලේ ඉඳන් ගොඩක් ආසයි. ගණිතය සහ විද්‍යාව විෂයයන් උගන්නන්න එදා වීරසූරිය සහ ජයසූරිය කියලා ගුරුවරුන් දෙදෙනෙක් සිටියා. ඒ ගුªරුවරු හරිම සැරයි. ඔවුන්ට තිබූ බය නිසාම අපි අනෙක් විෂයන් අතපසු කරගෙන හරි ඒ විෂයන් දෙකේ වැඩ කළා. ඒ නිසා විද්‍යාව සහ ගණිතය විෂයන් අපේ ඇඟට වැදුණා.’

ගණිතයට තිබූ දක්ෂතාව සහ ඇල්ම නිසාම ඔහු උසස් පෙළ විභාගය සඳහා තෝරා ගත්තේ ද ගණිතය විෂයන්ය. ඉංජිනේරුවෙක් දක්වා ඔහු ගෙන ආවේ එම නිවැරැදි තෝරා ගැනීම නිසාය.

තුරුණු වියේ පසුවූ ඔවුන් තුළ උසස් පෙළ පන්තියේ දී තිබුණේ වඩාත් රැඩිකල්වාදී මතවාදයන්ය. එම අවධියේ දී පාසලේ සේවය කළ ගුරුවරුන් කිහිපදෙනෙක් එකවර මාරු කර යැවීමට එරෙහිව ඔවුන් පෙළ ගැසුණේ ඒ නිසාමය.

‘අපේ පාසලේ ගුරුවරුන් මාරු කිරීම සම්බන්ධව අපි පාසල ඇතුළත පොඩි විරෝධතාවයන් පවත්වාගෙන යද්දී එම ගුරුවරුන් වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ සාමාජිකයන් දෙන්නෙක් ඇවිත් පෝස්ටරයක් ඇලෙව්වා. ඒ තුළින් අපේ සටනට ලොකු ශක්තියක් ආවා. අපි එම සාමාජිකයන් සමඟ එක්ව කටයුතු කරද්දි පාසලේ උප විදුහල්පතිතුමා ඒ බව පොලිසියට දැනුම් දී තිබුණා. ඒ නිසා පොලිසියෙන් අපිව අරගෙන ගිහින් හොඳටම ගහලා රිමාන්ඩ් කළා. පසුව අපිට රජය පෙරළීමට කුමන්ත්‍රණ කළා කියන චෝදනාව නඟලා මාස 1 1/2 බන්ධනාගාර ගත කළා. නමුත් අපි නිර්දෝෂි නිසා නැවත නිදහස ලැබුණා.’

මෙවන් දුෂ්කර මාවතක පැමිණි විජිත තුළ තිබූ කැපවීම සහ අධිෂ්ඨානය හේතුවෙන් ඔහු උසස් පෙළ විභාගය සමත් වී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණි.

‘විශ්වවිද්‍යාල ජීවිතේ ඒ කාලේ ටිකක් දුෂ්කරයි. මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙද්දී ධවල පත්‍රිකාව ඇවිත් තිබූ නිසා විශ්වවිද්‍යාල තුළ පොඩි කැළඹිලි ස්වභාවයක් තිබුණා. මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙද්දීම දැක්කේ ළමුන් පිරිසක් වටකරගෙන එක් සිසුවකු දේශනයක් පවත්වන ආකාරය. බොහෝ කාලයක් මේ ප්‍රශ්න නිසා විශ්වවිද්‍යාල අරින, වහන ස්වභාවයක් තිබුණා. ඒ නිසා අපිට විශ්වවිද්‍යාලයේ වැඩිපුර වසර දෙකක් ඉන්න සිදු වුණා. ඒ කාලේ 89 කලබල කාලය නිසා මම ගෙදර ගියේ හරිම අඩුවෙන්. විශ්වවිද්‍යාලයට එද්දී මං ආසාවට රැවුල පොඩ්ඩක් වවලා තිබුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ සිසුන් මාව රැග් කරන්න පවා සූදානම් වුණා. නමුත් ජ්‍යෙෂ්ඨ සිසුන් අතර සිටි අපේ පාසලේ මගේ මිතුරන් මාව නවක වදයෙන් බේරා ගත්තා. ඒ කාලේ නේවාසික පහසුකම් ලබා දෙන්නේ අවසාන වසරේ සිසුන්ට පමණයි. නමුත් මගේ මිතුරන් නිසා මට පළමු වසරේ සිටම නේවාසිකාගාරයේ නැවතීමේ පහසුකම් ලැබුණා.’

89 භීෂණ සමයේ විශ්වවිද්‍යාල වසා තැබූ අතර ඒ කාලය තුළ සිසුන්ට පුහුණු වැඩසටහන් පැවැත්වුණි. ඒ අවධිය විජිතගේ ජීවිතයේ සුන්දරම අවධියක් යැයි කිවහොත් එය නිවැරැදිය. ඒ වන විට ඔහු නතරව සිටියේ විශ්වවිද්‍යාලයට ආසන්න හිතවතකුගේ නිවසේය. දිනපතා උදෑසන විශ්වවිද්‍යාලයට පැමිණෙද්දී සොඳුරු රුවැත්තියක් ඔහුට මුණගැසෙයි. උදෑසන ව්‍යායාම් කටයුතුවල නිරත වන ඇය දිනක් ඔහුට “good morning” යැයි පැවසුවේ ඔහු නොසිතූ මොහොතකය.

එදා good morning යැයි පවසා ඇරඹුණු ඔවුන්ගේ හිතවත්කම පසු කාලීනව ප්‍රේමයකට පෙරළුණේය. එම ප්‍රේමය දළුලා වැඩී වසර 6ක් පමණ ගතවෙද්දී ඔවුන් විවාහ දිවියට එළඹිණි. අද ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ මවුපියන්ය.

මගේ වැඩ කටයුතුවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළයි. ‘දරුවන් කුඩා අවධියේ ඇය රැකියාවකට ගියේ නැහැ. ඇය ඖෂධවේදිනියක්. දැනට ජයවර්ධනපුර රෝහලේ සේවය කරනවා. දරුවන් දෙදෙනා සමඟ අපි ඉතාමත් සන්තෝෂයෙන් ජීවත් වෙනවා. නිදහසක් ලැබුණොත් චිත්‍රපටියක්, නාට්‍යයක් නරඹන්න යනවා.’

විශ්වවිද්‍යාලයෙන් පිටවෙද්දීම විජිතට විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙක් ලෙස සම්බන්ධවීමේ අවකාශය ලැබුණේය. පසුව සහකාර කථිකාචාර්යවරයෙක් බවට ද පත්වුණු ඔහු පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා ජර්මනියට ශිෂ්‍යත්වයක් ද ලැබුණි.

‘පුංචි කාලේ මට ලොකු ඉළක්ක තිබුණේ නැහැ. ඒ කාලේ මම හරි ආසාවෙන් සිටියේ කොන්දොස්තර කෙනෙක් වෙන්න. ඒකට හේතුව තමයි අපේ ගමේ හිටියා නෙල්සන් අයියා කියලා කෙනෙක්. ඔහු කොන්දොස්තර කෙනෙක් නිසා ඔහුට ගමේ මිනිස්සු ගොඩක් සලකනවා. හැමෝම කතාබහ කරනවා. බුලත්විට ගෙනත් දෙනවා. ඔහුත් සමඟ ගොඩාක් අය කුළුපඟව කටයුතු කරන නිසා මටත් පුංචි කාලේ හිතුණා කොන්දොස්තර කෙනෙක් වුණා නම් හොඳයි කියලා. ඒත් ලොකු වෙනකොට ඒ අදහස වෙනස් වුණා.’

පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේ ඔහුගේ විෂය ක්ෂේත්‍රය වූයේ කැණීම් කටයුතු සහ ඛනිජ සම්පත් පිළිබඳවයි. ඒ නිසා ඔහුට ජර්මනියේ දී ගැඹුරු මුහුදේ ඇති ඛනිජ සම්පත් පිළිබඳ පර්යේෂණ කිරීමේ අවස්ථාව ද උදා වුණි. එය ජීවිතයේ ඔහු ලැබූ හරි අපූරු අත්දැකීමකි. වසර දෙකක පමණ කාලයක් ජර්මනියේ අධ්‍යයන කටයුතුවල නිරත වූ විජිත නැවත ලංකාවට පැමිණ විශ්වවිද්‍යාලයේ සේවයට බැඳුණේය. නමුත් සිය අධ්‍යයන කටයුතු එතැනින් හමාර කෙරුණේ නැත.

ඔහුට නැවත වරක් ඔහුගේ ර්ඉඛ් විභාගය සඳහා නෝර්වේහි ශිෂ්‍යත්වයක් ලැබුණේය. ඒ සුදුසුකම ලබා නැවත ලංකාවට පැමිණ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරද්දී ඔහු නැවත ඕස්ට්‍රේලියාවට ගොස් සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය. එම අධ්‍යාපන සුදුසුකම ලබා ඔහු ලංකාවට පැමිණියේ 2010 වසරේ දීය. විශ්වවිද්‍යාලයෙන් පිට වූ 1992 වසරේ සිට පිටරට සිටි අවුරුදු 6 හැරෙන්නට ඔහු සේවය කළේ මොරටුව විශ්වවිද්‍යාලයේය.

නමුත් 2010 වසරේ දී ජාතික සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට පත්වීමෙන් පසු ඔහු විශ්වවිද්‍යාලයට සමු දුන්නේ රාජකාරී දෙකම ඉතාමත් වගකීම් සහගත නිසාය. අද ඔහු සිය සම්පූර්ණ කාලය යොදවන්නේ ජාතික සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සක්‍රීය ආයතනයක් බවට පත්කිරීම සඳහාය.

‘මෙතෙක් පැමිණි ගමන දෙස ආපසු හැරී බැලීමේ දී ලොකු සතුටක් හිතට නැඟෙනවා. ඇතැම් අවස්ථාවල දී දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු වුණත් මේ ගමන මම සරලව ආවා. මම හිතන්නේ ආත්ම විශ්වාසය සහ කැපවීම තිබෙනවා නම් අපිට ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියලා මම ආගම දහම විශ්වාස කරනවා. ඒ අනුව සිතද්දී මට ලැබුණු දේවල් පිළිබඳ මම තෘප්තිමත්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා