පුරවැසියාගේ රටක් වටිනා ඡන්දය

පුරවැසියාගේ රටක් වටිනා ඡන්දය

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත්වන පුරවැසියාට හිමිවන වරප්‍රසාද අතර ප්‍රමුඛස්ථානය ජනතා පරමාධිපත්‍ය බලයට හිමිවෙයි. නිදහස හා සමාන අයිතිවාසිකමද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත්වන ජනතාවට හිමිවිය යුතුව ගුණාංග වේ.

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපේ රටේ අවුරුදු 18කට වැඩි හැම දෙනාටම තමන්ගේ රුචිකත්වය අනුව තමන් කැමති පරිදි තමන් වෙනුවන් පාලකයකු තෝරා පත් කරගත හැකිය. මේ ජනතාව සතු බලය පෙන්වීමට පාවිච්චිකරන ආයුධය නම් ඡන්ද බලයයි. එය පුද්ගලිකව රහසිගතව තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කිරීමට බලය හිමිකර දී තිබේ.

එහෙත් වර්තමාන දේශපාලනයේ ජනතාවගේ අදහස් අපේක්ෂා අරමුණු හා බලාපොරොත්තු අනුව පොදු ජනතාව දේශපාලන පක්ෂයක් කණ්ඩායමක් එම පක්ෂ හා කණ්ඩායම්වල පුද්ගලයින් තෝරයි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබා ගන්නා මේ පුද්ගලයා ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමන්ගේ පෞද්ගලික බලයක් ලෙස පාවිච්චි කරමින් ජනතා අපේක්ෂා බලාපොරොත්තු බොද කර දමයි.

බහුවාර්ගික බහු ආගමික අපේ රටේ සියලුම වරප්‍රසාද බලපුළුවන්කාරකම් එක සමානව සියලු ජනයාට ලැබිය යුතු ය. මේ රටේ ජීවත්වන්නේ ශ්‍රී ලාංකිකයන් එක් වර්ගයක්. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ඉන්දියානු දෙමළ ආදී වශයෙන් විශේෂ වරප්‍රසාද ලබන කණ්ඩායම් ඉස්මතු විය නොහැකිය. ආගමික වශයෙන්ද කිව යුත්තේ ඒ ටිකමය. ඒක තේරුම් අරගෙන මේ රටේ ජන නායකයින්, ආගමික නායකයින්, ප්‍රජාමූලිකයන් ජීවත්විය යුතුය.

එසේම පාලන බලය රැකගැනීමට හෝ වර්ධනය කර ගැනීමට පාලකයින් සුළු කණ්ඩායම්වලට අවනත වීමට ජනතා පරමාධිපත්‍ය බලයට තීන්දු කරයි. බලය ලබා දිය හැක්කේත් බලය නැතිකළ හැක්කේත් පොදු ජනතාවටය. රටක දේශපාලන බලය ශක්තිමත් කරන්නේත් හීන කරන්නේත් ජනතාවමය. ඒ සඳහා බලය ඇත්තේද ජනතාවට පමණි.

අපේ රටේ ඡන්ද බලය හිමි ජනතාවද සිය පරමාධිපති බලය පාවිච්චි කිරීමට පෙර දෙතුන් වරක් බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

මෙවර ඡන්ද අපේක්ෂකයින් අතර අතීතයේ දී බොරු පොරොන්දු දී ඔබ රවටා ඡන්දය ගෙන තම පුද්ගලික සුඛ විහරණය සදහාම ඔබගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කළ ජනතා නියෝජිතයින් සිටිය හැකියි. මේ පිළිබඳ පසුගිය වසර හතරේ අත්දැකීම් ඔබට තිබේ.

ඔබ ලබාදුන් බලය අයුතු ලෙස භාවිත කරමින් අසරණ ජනතාව ඔබගේ දරු පවුල තලා පෙලා දැමූ ජනතා නියෝජිතයින්ද සිටිය හැකියි.

නිරන්තරයෙන්ම ඔබගේ පරමාධිපති ඡන්ද බලය එවැනි පුද්ගලයින් දේශපාලනයේ කුමන පක්ෂයකින් ඡන්ද ඉල්ලුවත් ඔවුන්ට බලය ලබා නොදීම ඔබගේ පරම යුතුකමයි. දේශපාලන පිවිතුරු බව ඇති කළ හැක්කේ ඔබමය. ආදර්ශමත් චරිතයක් ඇති ජනතා මිත්‍රයින්ට ඔබගේ පරමාධිපත්‍ය ඡන්ද බලය තුළින් බලය ලබාදීමට ඔබ තරයේ හිතටගත යුතුය. මේ කර්තව්‍ය ඉටු කිරීමේදී කිසියම් පුද්ගලයකු අවශ්‍ය කර ගන්නේ නැතිව රහසේ ඡන්දය දීමේදී කාටත් නොදැනෙන්න සුදුස්සා පත් කර ගැනීමට ඡන්ද පාවිච්චි කිරීම ඔබගේ යුතුකම වේ.

මේ පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩු වෙනස් කරන ඡන්දයක්ද නොවන බව අමතක නොකළ යුතුයි. ඔබේ ගම් පළාතේ සංවර්ධනය කළ හැක්කේ මධ්‍යම ආණ්ඩුවෙන් ලබාගත ආධාර මුදල්වලින් පමණක් බව අමතක නොකළ යුතුය. මධ්‍ය ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මන්ත්‍රීවරුන් ඔබ ඔබේ ගම්පළාතෙන් පත්කිරීම තුළින් ඔබට ජයග්‍රහණය කළ හැකිය.

එසේම අද අපේ රටේ කීර්තිනාමය පළදු කිරීමට විදෙස් මෙන්ම දේශීය බලවේගද ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ජනතා කැමැත්ත ආණ්ඩු සමග ඇතිබව පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. මුහුණත් එක්ක තරහ වී නහය කපා නොගැනීමට මෙම ඡන්දයේදී වඟ බලා ගත යුතුය.

තිස්වසරක කුරිරු යුද්ධය ජයගෙන රට සාමකාමී පරිසරයක් ශීඝ්‍ර සංවර්ධනය ලබන බව අපට පැහැදිලිය. මෙම සංවර්ධන ක්‍රියාවලිය සඳහා විදෙස් රටවලින් ආධාර ලැබේ. එසේම අපේ රට පවතින සාමකාමිත්වය නිසා විදෙස් ප්‍රජාවගේ අවධානය අපේ රට දිනා ගනිමින් සිටී. යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශ වර්තමාන ලෝකයට ඔබින ලෙසින් සංවර්ධනය වෙමින් පවතී. එසේනම් ඒවා තව තවත් දිරිගැන්වීමට නම් රජයට පක්ෂපාතීත්වය දැක්විය යුතුය. එවිට ලෝක ප්‍රජාවගේ සහයෝගය රජයට ලැබේ.

උතුරු පළාත් වේවා ,වයඹ පළාත වේවා මධ්‍යම පළාත වේවා රජයට සම්බන්ධ දේශපාලනයේ අඩපණ මහජන හිතකාමීන් මධ්‍යස්ථ මතධාරීන් තෝරා ගැන්ම වැදගත් ය. පාලන බලය බලයේ සිටින රජයට ලබා දුන්නත් ඒ නියෝජිතයින් ආත්මාර්ථකාමීන් නොවන පරාර්ථකාමී මහජන සුබ සිද්ධිය පලමු කොට සළකන පුද්ගලයින් විය යුතුය.

අද මහජන ප්‍රතිපත්තිවලට පයින් ගසා පුද්ගලික යහපත සඳහා පක්ෂ මාරුකරන ප්‍රවණතාවයක් දේශපාලනයේ පවතී. ඡන්දදායකයා පුද්ගලයාට වඩා දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිවලට ගරු කරන්නන් බව ඔබ මෙම මැතිවරණයේ දේශපාලනඥයින්ට පාඩම් ඉගැන්විය යුතුය. මීට ඉහත ඉතිහාසයේ දේශපාලනඥයින්ගේ දෙබිඩි පිළිවෙත්වලට අවනත නොවන පිළිතුරු ලබාදී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වන විට පක්ෂ විපක්ෂ හැමදෙනාටම පිළිගැනීමක් තිබිය යුතුය. දේශපාලනයේ සතුරන් ඇතිවිය නොහැකිය. පක්ෂ විපක්ෂ හැම දෙනාගේම මත ඉවසා දරාගත යුතුය. පාක්ෂිකයා මෙන් විරුද්ධ වාදියාටද සාමකාමීව ජීවත්වීමට ඉඩ සළසා දීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජයේ ලක්ෂණයකි.

මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන්නේ බලය ලබාදීමට පමණි. බලයට පැමිණෙන හැම පුද්ගලයකුට පක්ෂ භේදයෙන් තොරව ජනතාවට සේවය කළ යුතුය. ඔහු තම පාක්ෂිකයා මෙන්ම විරුද්ධ පාක්ෂිකයාටද ගෞරව කළ යුතුය.

මැතිවරණ සමයේදී මැතිවරණයෙන් පසු සමයේ දීත් තාඩන පීඩනවලින් තොර සාමකාමී ජන ජීවිතයක් පවත්වා ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක විය යුතුය. බලයට පත්වන්නාගේ තාඩන පීඩනලින් විරුද්ධවාදීන් ආරක්ෂා කරගෙන ජන ජීවිතය සාමකාමීව පවත්වා ගැනීමට ආරක්ෂක අංශ වග බලාගත යුතුය. මේ මැතිවරණ නිසා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය මොනයම් ආකාරයකින් හෝ පසු බෑමකට ලක් නොවිය යුතුය.

අපේ මේ කුඩා රට ඒකීය රාජ්‍යයක් මිස එක්සත් රාජ්‍යක් නොවිය යුතුය. උතුරේ ඇතැම් දේශපාන පක්ෂ, ජාත්‍යන්තර බලවේග සමඟ එක්වී මේ රටට එක්සත් රාජ්‍යයක් බවට පත්කිරීමට ඡන්දය ඉල්ලයි. මේ රටේ ජනවාර්ගික හෝ ආගමික ප්‍රශ්න නැත. වසර 30ට පැවති ත්‍රස්වාදය පරාජය කර සාමය ඇතිකර හැම පළාතක්ම සංවර්ධන කර තිබේ. . මෙවර මැතිවරණය සඳහා උතුරේ ද්‍රවිඩ සංධාන ජාතිවාදය අවුස්සා බලය ලබාගැනීමට සැරසෙන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් හෙළිවෙයි.

ජාතීන් අතර සංහිදියාවෙන් නිදහස් ජීවිතයක් ගතකරන අපේ රටේ ප්‍රජාවට සිදුවන ජීවිත ආරලු ගැන ඔබලාට වැටහෙනු ඇතැයි සිතමි. එසේනම් මේ ඡන්දයේ ඔබ ප්‍රතිවාදීන්ට බලය ලබාදී ඔබේ නිදහස නැතිකරගෙන පසුගිය වසර 30දීත් මෙන් බියෙන් සැකෙන් යුත් කටුක ජීවිත ගත කරනවාදැයි සිතා බලා ඔබේ වටිනා ඡන්දය භාවිතා කළ යුතුය. වර්තමාන ආණ්ඩුව ඔබලාට ලබාදී ඇති සංවර්ධනයේ මාවතේ ගමන් කරනවාද සැකය වෛරය පිරි නිදහසෙන් තොර වහල් ජීවිතයකට නැවත යනවාද සිතා බලා ඔබේ ඡන්දය භාවිත කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා