2012-09-14

 

භාවනාවට ආරම්භයක් 2

භාවනාවට ආරම්භයක් 2

හැම ශාවනාවක්ම පුරුදු වෙන්න ඕනෑය කියන අදහසින් පටන් ගන්න ඕන. පුරුදු වෙන කෙනාගේ ස්වභාවය තමයි එකපාරට බහුලව කරන්නේ නෑ. යමක් බහුලව කරන්න නම් එයා තුල පුහුණුවක් තිබිය යුතුයි නේද? යමක් බහුලව කරන්න නම් එයා තුල පුහුණුවක් තිබිය යුතුයි. ඒකයි භාවිතා බහුලීකතා කියන්නෙ. ඉස්සරවෙලා භාවිතා කරන්න ඕන. පුරුදු කරන්න ඕන. ඊට පස්සෙ බහුල වශයෙන් පුරුදු කරන්න ඕන. එකපාරට බහුල කරන්න බෑ. එකපාරට බහුල වශයෙන් පුරුදු කරන්න ගියොත් මොකද වෙන්නෙ. කරගන්න බෑ. මොනව කරන්නද දන්න දෙයක් නැත්නම්. කරන්න බෑනෙ. තෝරබේරගන්න බැරුව අපි කොහොමද බහුල වශයෙන් කරන්නෙ. ඒක වැටහෙනව නේද? යමක් බහුල වශයෙන් කරන්න නම් ඒ ගැන පුහුණුවක් තිබිය යුතුය. පුහුණුවක් නැතිව කිසි දෙයක් බහුල වශයෙන් කරන්න බෑ. ඒ නිසා හොඳට ඒ කාරණාව මතක තියාගන්න.

එතකොට අපි පුහුණු වෙද්දි අපි තුල කැමැත්තක් තියෙන්න ඕන. අපි තුල කැමැත්තක් නැත්නම් අපි පුරුදු වෙන්නෙ නෑ. අපිට කළබලේ එනවා ඉක්මනින්. ඒ නිසා කැමැත්ත උපදවා ගන්න මේ පරම ගම්භීර වූ ධර්මයන් තමන් පුරුදු කරගන්න ඕන කියල. හොඳින් පුරුදු කරගන්න ඕනෑය කියන කැමැත්ත ඇතිකරගන්න.

එතකොට ඒ කැමැත්ත අපි තුල ඇතිකරගැනීම පිණිස ඒ කරන භාවනාවෙ ආනිසංස කල්පනා කරන්න. අපි මෛත්‍රී භාවනාව කරනවනම් ඒ මෛත්‍රී භාවනාවෙන් අපිට ලැබෙන ආනිසංස කල්පනා කරන්න ඕන. අන්න එතකොට අපේ හිත කැමති වෙනවා ඒ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම පිණිස.

අසුභ භාවනාව පුරුදු කරන්න කැමතියි නම්, ඒ අසුභ භාවනාවෙන් අපට ලැබෙන ආනිසංස කල්පනා කරන්න. අන්න එතකොට අපේ හිත කැමති වෙනවා ඒ අසුභ භාවනාව පුරුදු කරන්න. එපමණකින්ම හිත සන්සුන් කරගන්න අපට පුළුවන්කම තියෙනවා.

ඒ භාවනාවට කැමති වීමත්, ඒ භාවනාව පුරුදු වීමට කැමති වීමත් කියන කාරණා මුල් කරගෙන හිතේ සන්සුන්කම ඇතිවෙනවා. කළබල ගතිය ඇරිල යනවා.

ඊළඟ දේ තමයි කය සැහැල්ලුවෙන් තියාගන්නත් ඕන. කයේ ඈලිමෑලි ගතිය අලසකම බැහැර කරල කය හොඳින් ප්‍රාණවත්ව තියාගන්නත් ඕන. ඒ සඳහා අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් භාවනා කරන්න කළින් අපිට පුළුවන් ශරීරය හොඳින් පිරිමදින්න. මුහුණ කට හෝදගෙන එන්න පුළුවන්. සක්මන් කරන්න පුළුවන්. ඒ වගේ ශරීරයේ මැලි ගතියට ඉඩ නොදී භාවනාව පටන් ගන්න ඕන. ආන්න ඒ විධියට භාවනාව පටන් ගන්න පුරුදු උනොත් එයාට යම් විධියකින් සාර්ථක ආරම්භයක් ලබාගන්න අවස්ථාවක් තියෙනවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!