දේවදත්ත ගේ සිට ෆොන්සේකා දක්වා

දේවදත්ත ගේ සිට ෆොන්සේකා දක්වා

දේවදත්ත සැලැසුම් කළේ බුදුන් මරා බුදුවීමට ය. අජාසත්ත සැලැසුම් කළේ පියා මරා රජවීමට ය. දුෂ්ඨ සැලැසුම් අසාර්ථක වූ අතර දෙදෙනාට ම ඉතිරිවූයේ ගෙවාගත නො හැකි පාපකර්ම පමණි. බලය හා නායකත්වය සදහා දැඩි සේ ලොල්වීම ප්‍රාථමික සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයෙකි. ගෝත්‍ර අතර සටන් පවතින්නේ ද බලය සම්පත් හා නායකත්වය මුල්කරගෙන ය. බලය හඹාගෙන යන පුද්ගලයා තුළ කපටිකම හා හොරකම මනාව පිහිටයි. මේ හැරෙන්නට තවත් පිරිසක් ද බලය හා නායකත්වය යන ප්‍රපංඤච පසුපස හඹා යයි. ඒ මානසික රෝගීහු ය.

පිස්සන් කොටුවකට ගිය කල රාජ්‍ය නායකයන්, තානාපතිවරුන්, අගමැතිවරුන්, ජනාධිපතිවරුන්, මහාචාර්යවරුන් දැක ගත හැකි ය. ඔව්හු නිහඬ ව හෝ කෑගසමින් හෝ තම - තම කාර්යයන්හි නිරත වෙති. මේවා දකින්නන් ගේ සිත් එක් අතකින් පී‍්‍රතියෙන් පිනා යන අතර තව අතෙකින් අනුකම්පාවෙන් පිරී යයි. පිස්සකුට කිසිකලෙක ජනාධිපති කෙනෙකු විය නො හැකිය. අගමැති කෙනකු හෝ වෙනත් තනතුරක් දරන්නටවත් බැරි ය. එහෙත් පිස්සා ඒ වගක් නො දනී. ඔහු ජීවත්වන්නේ මවාගත් හෙවත් සිහින ලෝකයක ය. එබැවින් ඔහු සිතන්නේ තමන් නායකයා කියා ය.

අමෙරිකන් හමුදා සදාම් හුසේන්ට එරෙහි ව දෙවරක් ම ඉරාකයට පහර දුන්හ. කනිෂ්ඨ බුෂ් මහත්තයා අණ දුන්නේ ය. දෙවන පහරදීම නිසා ඉරාකය ම විනාශ විය. රට අරාජික විය. ඉරාක ජනාධිපති සදාම් හුසේන් එල්ලා මරන ලදී. මේ මෙහෙයුම්වලට සම්බන්ධ සියලු බල ඇණි සඳහා වරින් වර මානසික චිකිත්සා කරන ලදී. එසේ නොවන්නට අමෙරිකන් භටයන්ගේ මානසික තුල්‍යතාව බිඳී යනු ඇත. දියුණු හමුදා සේවාවන්හි මානසික චිකිත්සා ක්‍රමය අනුගමනය කරනු ලැබේ. අමෙරිකන් හමුදා වියට්නාමය ආක්‍රමණය කරන කල ඒ ක්‍රමය අනුගමනය නො වූ බැවින් විවිධ ගැටුම් හා ආරවුල් ඇති විය.

ඉහත නිදසුන දක්වන ලද්දේ යුද මානසිකත්වය සහිත පුද්ගලයන් සිවිල් සමාජය තුළ හැසිරීමේ දී යම් අසාමාන්‍ය තත්ත්වයක් මතුවිය හැකි බව පෙන්වීමට ය. විශේෂයෙන් යුද මානසිකත්වය සහිත හමුදා නිලධාරියකු දේශපාලනයට පිවිසුණහොත් ප්‍රතිඵලය වඩාත් භයානක විය හැකි ය.

අපි දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙස ට හැරෙ මු. ජනාධිපතිවරණය අවසන් ව ඉතා පැහැදිලි ප්‍රතිඵලයක් නිකුත් ව තිබිය දී විහිළු කතා හා පිස්සු කතා අසන්නට ලැබේ. හැට ලක්ෂයකට අධික ඡන්ද ප්‍රමාණයක් ද වැඩි ඡන්ද දහනව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ද ලබාගත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට සුදුස්සා ලෙස තේරී පත් ව සිටී. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත දිව්රුම් දීම ලබන නොවැම්බරයට ගොස් තිබේ. සියල්ල මේ රටේ නීතියට එකඟ ය. මේ අතර විශ්‍රාමික ෆොන්සේකා මහතා මං ජනාධිපති! මං ජනාධිපති! යැයි පිස්සු නටන්නට පටන්ගෙන තිබේ.

ඒ මහතා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරවීම ඉතා වැදගත් බව අප ගේ පිළිගැනීම ය. එසේ නොවුණහොත් රෝගය උත්සන්න විය හැකි ය. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීම සඳහා මහත් බලාපොරොත්තු ඇති ව සිටි එක් ශිෂ්‍යයෙක් අ. පො. ස. උ. පෙ. විභාගය අසමත් විය. ඉනික්බිති ප්‍රතිඵලය ගැන සැක සිතූ® ඔහු පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කළේ ය. එම ප්‍රතිඵලය ම ලැබිණි. විභාග දෙපාර්තමේන්තුවට බැණ වදිමින් පාරවල් ගණනේ රස්තියාදු වූ මේ ශිෂ්‍යයාට පසුව මානසික රෝගයක් වැළැඳිණි. පසුව ඔහු අංගොඩ ට යවන ලදී. අන්ධ භක්තියෙන් යුතුව බොහෝ දෑ දැඩි ව අල්ලා ගැනීම මෙබඳු රෝගවලට හේතුකාරක වේ.

ෆොන්සේකා මහතා ගේ එක් තර්කයක් වන්නේ තමා ගේ රැස්වීම්වලට පැමිණි සෙනඟ ගැන ය. එම සෙනඟට අනුව ෆොන්සේකා මහතා ජයගත යුතු යැයි ඔහු සිතයි. ඉතා බොළඳ තර්කයෙකි. එක් අතකින් ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ගේ රැස්වීම් වලට පැමිණි සෙනඟ කන්දරාව දැක නැත. අප ගේ නිගමනයට අනුව මහින්ද මහතා ගේ රැස්වීම්වලට පැමිණි ජනකායෙන් දහයෙන් එකක් වත් ෆොන්සේකා මහතා ගේ රැස්වීම්වලට පැමිණියේ නැත. අනෙක් අතට රැස්වීම්වලට පැමිණි සෙනඟ අනුව ඡන්දය නිර්ණය කළ නො හැකි ය.

මේ සියල්ල පසෙක තිබිය දී ෆොන්සේකා මහතාට ඡන්දය තිබුණේ ද නැත. ඒ බව ඡන්දදායකයන් මුලින් ම දැනගත්තේ නම් ෆොන්සේකා මහතා ට ලැබෙන ඡන්ද ප්‍රමාණය තවත් අඩු වනු ඇත. රට බෙදන ගිවිසුම්වලට සිංහල ජනතාව කැමැති නැත. ඔහු එබඳු ගිවිසුමක් අස්සන් කළ බව ඉතා පැහැදිලිය. ඒ හැරෙන්නට ඔහු ළඟ ඇති යුද මානසිකත්වය හා පළිගැනීමේ අභිප්‍රාය ජනතාව හොඳින් වටහා ගෙන සිටියහ. දේශපාලන අත්දැකීම් අඩු අසංවේදී පුරුෂයකුට ජනතාවගෙන් බහුතරය අකැමැති බව ෆොන්සේකා මහතා දැන්වත් වටහාගත යුතු ය.

විපක්ෂයේ අශුද්ධ සන්ධානය දැන් සිදුකරන්නේ විකට නාට්‍යයක් හෙවත් ප්‍රහසනයක් රඟදැක්වීම ය. ජනතාවත් දැක හාස්‍ය රසය උපදවාගන්නවා ඇත. ඒ හැරෙන්නට වෙනත් දෙයක් නො සිදුවනු ඇත. ජනාධිපතිවරණය සාධාරණව පැවැත් වූ බවට ලෝකය පිළිගෙන තිබේ. මැතිවරණ කොමසාරිස් පමණක් නො ව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද එය පිළිගෙන තිබේ. ඒ අනුව ෆොන්සේකා මහතා දැන් කළ යුත්තේ විකාර වැඩ නැවැත්වීම ය. නැතහොත් හොඳ වෛද්‍යවරයකු හමුවීමය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා