අරුල්ස්වාමි දිවුරුම් දෙයි

අරුල්ස්වාමි දිවුරුම් දෙයි

චන්දනම් අරුල්ස්වාමි මහතා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ ඊයේ (05) දිවුරුම් දුන්නේය. සමාජ විසමතා දුරලීමේ ඇමැති පී. චන්ද්‍රශේකරන් මහතාගේ අභාවය නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු වශයෙන් අරුල්ස්වාමි මහතා දිවුරුම් දුන්නේය.

වයස අවුරුදු 16 දී සෞම්‍යමුර්ති තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එක්වූ අරුල්ස්වාමි මහතා ජිනීවාහි වාර්ෂිකව පැවැති ජාත්‍යන්තර කම්කරු සම්මේලනය (I. L. O.)  නියෝජනය කළ ලාබාලම කම්කරු සමිති නියෝජිතයා විය. පසුව දේශපාලනයට පිවිසි ඒ මහතා 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉදිරිපත්ව ඡන්ද 20,000 ක් පමණ ලබා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වශයෙන් පත් විය.

එම වසරේම ඇතිවූ දේශපාලන මත ගැටුමක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉවත් කළ මන්ත්‍රී පිරිසට අරුල්ස්වාමි මහතාද අයත් වූ අතර මේ මන්ත්‍රීන් පිරිස අඛණ්ඩව පළාත් සභාවේ නියෝජිතයෝ ලෙස පෙනී සිටියහ. 1994 මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පො. එ. පෙ. අපේක්‍ෂකයකු ලෙස තරග කළ මුත් ඒ මහතාට තේරී පත්වීමට නොහැකි විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා