දුප්පත් ජනතාව වෙනුවෙන් කළ සේවය ජනපතිගේ ජයග්‍රහණයට හේතු වුණා

දුප්පත් ජනතාව වෙනුවෙන් කළ සේවය ජනපතිගේ ජයග්‍රහණයට හේතු වුණා

- ඈන් දීපිකා මාකස් (එ.ජ.නි.ස )

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට පක්ෂයේ තිබූ ප්‍රශ්න නිසා කාගේ හෝ කරේ එල්ලී ජනපතිවරණයට ඉදිරිපත් වුණා මිස ජයග්‍රහණයක් ලබා ගැනීමට අදහසක් තිබුණේ නැතැයි ජා ඇළ නගර සභාවේ සභාපති උපාලි අරඹවත්ත මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳ ජා ඇළ නගර සභභාවේ ප්‍රසාදය පලකිරීමේ යෝජනාවේ දී ඒ මහතා මෙසේ පැවැසීය. ජා ඇළ නගර සභා ශ්‍රවණාගාරයේ සභා රැස්වීම් පැවැත්විණි.

යෝජනාව ඉදිරිපත්කරමින් ඈන් දීපිකා මාකස් මහත්මිය (එ.ජ.නි.ස ) මෙසේ කීවාය.

ජනාධිපතිවරණය හොඳින් අවසන් කළා. ජනපතිගේ 2010 ජයග්‍රහණයත් සමඟ ඇරැඹෙන මේ රැස්වීමේදී එතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයට ජා ඇළ නගරසභාවේ ස්තුතිය හා ප්‍රණාමය පළකර සිටිනවා. කවුරුන් මොනවා කීවත් මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් ජනපති කළ සේවය මේ ජයග්‍රහණයට හේතුවුණා.

ජනාධිපතිගේ පවුල සම්බන්ධයෙන් කොතෙක් මඩ ගැහැව්වත් එතුමාගේ ගමන කිසිවකුටත් නතර කිරීමට නොහැකි වුණා. මෙහි දෙමළ ජනතාවගේ සහය ගෙන කළ කුමන්ත්‍රණය ද පරාජයකළ යුක්ති ගරුක මැතිවරණයක් වුණා. රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් පඩි වැඩි කරන බව විපක්ෂ අපේක්ෂකයා කියා සිටියත් ජනපතිගේ 2500ගැන රජයේ සේවකයන් විශ්වාසය තැබුවා. අපේ සුබ පැතුම් පිරිනමන අතරම රට දියුණුකර ජනතාවට සෙත සලසා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

මෙරිල් ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස)

මෙවර මැතිවරණය හිතට වධ දුන් එකක්. ජ.වි.පෙ මෙවර මැතිවරණයේදී කතාකළේ අපව මරාගෙන කන ආකාරයටයි. රජයේ ජන මාධ්‍යයට වඩා නරක පැත්තක් පෞද්ගලික මාධ්‍යයේ තිබුණා. එජාපය ජවිපෙ වැඩ ආරම්භකළේ අයි.ටී.එන්. එකට ගහලයි. ජනාධිපතිතුමා කිව්වෙ චන්දෙ දුන් නොදුන් අයගෙත් ජනාධිපති තමා බවයි. එජාපෙ ජවිපෙ වැරදි ගණන් හදල ජෙනරාල් රැවැට්ටුවා. මැතිවරණය ඉවරයි. අපි හැමෝම එකතු වී රටේ යහපතට වැඩකරමු.

බී.විමලරත්න මහතා (ජ.වි.පෙ)

ගම්මට්ටමේ සමිතිවලත් නීතියක් නැතිවයි මැතිවරණ කටයුතු කළේ. අපට රැස්වීමක් තියන්න ඉඩ දුන්නෙ නැහැ. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කළ ා.කවුරුත් මැරුවෙ නැහැ.

ඇල්.ජේ.ඊ.රණවීර ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස)

ජනාධිපතිතුමා අද ඉල්ලා සිටින්නේ යුද්ධය ඉවරයි රට නැගීමට එක් වෙන්න කියායි. නාගදීප මඩු පල්ලි යන්න ඉඩ ලැබිල තියෙනවා. එදා ජවිපෙ අපත් සමඟ ජයග්‍රහණ ලැබුවා. ජවිපෙ කළ වරදක් තමයි ජා ඇළ නගර සභභාවේ උපසභාපති මෙරිල් පෙරේරා හා තවත් මන්ත්‍රීවරයකු වූ මයිකල් ප්‍රනාන්දු මහත්වරුන් ඝාතනය කිරීම. ජනතාව රවටන්න අද බැහැ. දේශපාලනය කරනකොට අපි ගමේ හොඳට ජීවත් වෙන්න ඕනෑ. රට ගොඩනැගීමට පක්ෂ බේදයෙන් තොරව ජනාධිපතිතුමාට සහය දිය යුතුයි.

ලෙස්ලි නෝනිස් මහතා (එ.ජා.ප)

අපේ රැස්වීමට මුදල් ගෙවා තිබියදීත් එයට ඉඩ දුන්නේ නැහැ. පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කර ඉතිරි මැතිවරණ පවත්වමු. එවිට කාටවත් අඩු පාඩු සිදු වෙන්නේ නෑ.

සභාපති උපාලි අරඹවත්ත මහතා

මේ රටේ හොර ඡන්ද දාපු කාලයක් තිබුණා. ජනපති තමයි හැදුනුම්පත් ක්‍රමය ආරම්භ කළේ. ඡන්ද සාධාරණව කළා. රැස්වීම පැවැත්වීමට රාගම නගරයේ ඉඩ ලබා දුන්නා. රාජ්‍යමාධය නොතිබුණානම් අපට කරුණු කියන්න මඟක් තිබුණේ නැහැ. කෝටි ගණන් මුදල් ගෙවා පෞද්ගලික මාධ්‍යවල බොරු කියන්න තිබුණා. රවුෆ් හකීම් මන්ත්‍රීවරයා එදා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය තිබේනම් සුළු ජාතීන්ට සේවයක් වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට පක්ෂයේ තිබූ ප්‍රශ්න නිසා ඔහු කාගෙවත් කරේ එල්ලුණා. උනුත් එකයි මුනුත් එකයි කී ජවිපෙ අද ඉන්නෙ එජාපයත් එක්කයි. යුද්ධයේදී හොඳ සේවයක් කළ රණවිරුවාට රවුෆ් හකීම්ලා ගනේෂන්ල සහාය දුන්නෙ නැහැ. අවුරුදු 3න් යුද්දෙ ඉවර කළ ජනාධිපතිතුමාගෙ ජනපතිවරණ ජයග්‍රහණයට ජාඇළ නගර සභාවේ සුබ පැතුම් පිරිනමනවා.

නාගරික මන්ත්‍රිනී ඈන් දීපිකා මහත්මිය හා නාගරික මන්ත්‍රී විමලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කීපයක්ද මෙහිදී සභා සම්මත විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා