ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිසංවිධාන කටයුතු හා සාම ප්‍රයත්නයට පාකිස්තානයේ සහාය

ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිසංවිධාන කටයුතු හා සාම ප්‍රයත්නයට පාකිස්තානයේ සහාය

ඇෆ්ගන් ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය දිරිගැන්වීමේ දී පාකිස්තානය වැදගත් භූමිකාවක නියැළෙන අතර අට අවුරුදු තලේබාන් කැරලිකාරිත්වයකින් පසු ඇෆ්ගනිස්තානයේ මූලිකත්වයෙන් ඇරැඹි ඇති සාම ප්‍රයත්නයට ද පූර්ණ සහාය ලබාදෙන බව පාකිස්ථාන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශ වී තිබේ.

යුද්ධයකට ගොදුරුව තිබෙන ඇෆ්ගනිස්තානය සඳහා විසැඳුමක් ලබාදීමේ අටියෙන් ඉකුත් මස ලන්ඩනයේ පැවැති සමුළුවක දී තලේබානුවන් සමග ප්‍රතිසංවිධානයකට එළැඹීමේ හා සාම ප්‍රයත්නයක යෙදීමේ ජනාධිපති හමිඩ් කර්සායිගේ යෝජනාවන්ට පාකිස්තානය ඇතුළු සෙසු රටවල සහාය පලව තිබේ.

පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඇෆ්ගනිස්තානයේ සාමය හා ස්ථාවරත්වය උදාකැර ගැන්ම සඳහා එරට ප්‍රතිසංධානය හා ඒකීකරණය බෙහෙවින් වැදගත් වන බවය.

මෙහිදී පාකිස්තානයට අව්‍යාජවම ඊට සහාය දිය හැකි බවත් සෙසු රටවලින් ලබාදිය යුතු සහාය කවරේදැයි ඇෆ්ගනිස්ථානයම තීරණය කළ යුතුව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් කියා තිබේ. කෙසේ වෙතත් පාකිස්තානයට ඕනෑම ආකාරයක සහායක් ලබාදිය හැකි බවද පැවසී තිබේ.

මේ අතර ඇෆ්ගන් ජාතිකයන් බහුතරයකගේ විශ්වාසය වී ඇත්තේ එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්තානයෙන් බැහැර වන තෙක් බලා සිටින පාකිස්තානය ඉන් පසු ඇෆ්ගන් පාලනයට බලපානු ඇති බවය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා