ඉතිහාසයේ ආකර්ශනීයම නායකයා ජනාධිපතිතුමායි

ඉතිහාසයේ ආකර්ශනීයම නායකයා ජනාධිපතිතුමායි

මහාචාර්ය විශ්වා වර්ණපාල
උසස් අධ්‍යාපන අමාත්‍ය

මෙවර ජනාධිපතිවරණය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විසින් සිදුකරන ලද විශ්ලේෂණයකි.

මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක් යළිත් ලබාගෙන තිබේ. විශේෂයෙන් ම ස්වකීය දෙවැනි වාරයේදී හැම ජනාධිපතිවරයෙක් ම ජනාධිපතිවරණයක දී ඡන්ද අඩුවෙන් ලබාගන්නා ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවැනි වාරයේ දී අති විශාල බහුතරයක්, එනම් සියයට 59 කට වඩා ප්‍රමාණයක් ලබා ගැනීම මෙරට මැතිවරණ ඉතිහාසයේ නව ප්‍රවණතාවක් සනිටුහන් කර තිබේ.

මේ පිළිබඳව විද්වතුන්ගේ අවධානයට යොමු විය යුතු අතර එය විශ්ලේෂණය කළ යුතුව තිබේ. එසේ ම මා පුන පුනා කී පරිදි ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන රටක දෙවැනිවර ජනාධිපතිධූරය අහිමිවන්නේ ඉතා කලාතුරකිනි. මෙම ඓතිහාසික සිද්ධාන්තය අවබෝධ කර ගන්නට අපහසු එක ම විරුද්ධ පක්ෂය ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂය යි.

ශ්‍රී ලංකාවේ ම එවැනි සාධක තිබිය දී ශ්‍රී ලංකාවේ බෙදී කැඩී තිබිණු විරුද්ධ පක්ෂය පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරගෙන එවැනි අපේක්ෂාවකට යොමුවීම මේ රටේ දේශපාලන සංස්කෘතිය හරි හැටි අවබෝධ නොකරගත් පිරිසක් ය යන මගේ හැඟීම සඵූට කරන්නකි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය ඓතිහාසික ය.

එසේම මෙම ජයග්‍රහණය තුළින් නව ප්‍රවණතාවක් ද මේ රටේ දේශපාලනය තුළ නිර්මාණය විය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956, 1960, 1970 දී මතු වූ ආකාරයට මේ රටේ ප්‍රබල ම පක්ෂය ලෙස ඉස්මතුව ඇත. ශ්‍රීලනිපය මේ රටේ දේශපාලන පක්ෂයකට වඩා දේශපාලන සමාජ ව්‍යාපාරයක් ලෙසට පරිවර්තය වී තිබීම සුවිශේෂ ජයග්‍රහණයකි. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය මා දකින්නේ ශ්‍රීලනිපයේ ග්‍රාමීය පදනමේ ජයග්‍රහණයක් හැටියට ය. එසේ ම එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික පදනම නැවතත් ක්‍රියාකාරීවීමේ ප්‍රවණතාවක් හැටියට ය මා දකින්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජනතාවගේ, විශේෂයෙන් ම ග්‍රාමීය ජනතාවගේ හදවත් තුළ වැජඹෙන පක්ෂයකි. ශ්‍රීලනිපය 1951 දී නිර්මාණය වූවේ ත් ප්‍රභූ® විරෝධී, එසේ ම මෙරට සාමාන්‍ය ජනතාවගේ පක්ෂයක් හැටියට ය. ඉංගී‍්‍රසි උගත් ප්‍රභූ පන්තිය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය වෙනුවට ග්‍රාමීය ප්‍රජාව නියෝජනය කරන පක්ෂය හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය විය.

එය නිර්මාණය වීමට පෙර එස්. ඩබලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, මහතා නායකත්වය දුන් සිංහල මහා සභාව තුළ ද දක්නට ලැබුණේ එවැනි පසුබිමකි. එම ඓතිහාසික පසුබිම, මුල්කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 නිර්මාණය වී 1956 ජයග්‍රහණය ලබා ඉදිරියට ගියේ ද ග්‍රාමීය ජනතාවගේ හදවත දිනාගත් දේශපාලන පක්ෂයක් ලෙසට ය. එම ඓතිහාසික පදනම ඉතාමත් ශක්තිමත්ව අද දක්වා පැමිණ තිබෙන බව මෙම ජයග්‍රහණය මඟින් සනාථ කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන සභාගයන්ට සම්බන්ධ වී කටයුතු කළද, කුඩා පක්ෂ කිහිපයක් ශ්‍රීලනිපයට සහයෝගය දුන්න ද මෙම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානතම බලවේගය බවට පත්වූයේ ශ්‍රීලනිපය යි. අතිගරු ජනාධිපතිතුමා ග්‍රාමීය ජනතාවගේ ඡන්ද විශාල ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කර තිබෙනවා. මේ තත්ත්වය පසුගිය පළාත් සභා මැතිවරණ තුළින් ද මොනවට පැහැදිලි විය.

එම ප්‍රතිඵල සමඟ සන්සන්දනය කර බැලීමේ දී ඇතැම් ආසන එකී ප්‍රතිඵලයන් ද අබිභවා ගොසින් තිබෙනු දැකිය හැක. එම ග්‍රාමීය ඓතිහාසික පදනම ක්‍රියාකාරීවීමේ ප්‍රතිඵල නිසා මෙම ජයග්‍රහණය පැහැදිලිව ලබා තිබෙනවා. සමහර අවස්ථාවලදී ඇතැම් පෙදෙසේවල එක්තරා පසුබෑමක් දැකිය හැකි වුවත් එම පසුබෑම මඟහරවා ගන්නට හැකි වූයේ ග්‍රාමීය පෙදෙස්වල තිබූ පක්ෂ සංවිධාන පද්ධතිය ක්‍රියාත්මක වීමත් ඒවා කාර්යක්ෂමව කටයුතු කිරීමත් නිසා ය.

ශ්‍රීලනිපයට කිසිම දේශපාලන පක්ෂයකට නොමැති ආකාරයේ ශක්තිමත් පක්ෂ ශාඛා පද්ධතියක් තිබේ. එම පක්ෂ ශාඛා පද්ධතිය හැම ආසනයක ම ඒ ආසනය පුරාවට විසිරී පැතිරී ක්‍රියාත්මක වේ. ආසන සංවිධායක කාර්යක්ෂමව කටයුතු කරන බැවින් එම ආසනයේ ජනතාව උද්යෝගීමත්ව සිය සහයෝගය ලබා දෙති. එම ශාඛා පද්ධතියට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ක්‍රියාත්මක වන අනුබද්ධ සංවිධාන පද්ධතියක් ද තිබේ. එම අනුබද්ධ සංවිධාන පද්ධතිය 1956 සිට ග්‍රාමීය විකල්ප දේශපාලන නායකත්වය හරහා වර්ධනය වූ, ජනතාවට සමීප, ග්‍රාමීය දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන, මැතිවරණ සමයේ දී දැවැන්ත මැතිවරණ ක්‍රියාවලියකට නායකත්වය දෙන අනුබද්ධ සංවිධාන පද්ධතියකි.

එම අනුබද්ධ සංවිධාන පද්ධතිය ඉතිහාසයේ පංච මහා බලවේගය හා අනිවාර්යයෙන්ම සම්බන්ධ වූවකි. එම පංචමහා බලවේගයට අයත් ගරුතර මහා සංඝරත්නයට සම්බන්ධ පන්සල් පද්ධතිය හරහා දැඩි ලෙස ජනතාවට සමීප බලවේගයක් නිර්මාණය කළ හෙයින් ද එහි බලපෑමට ශක්තිමත් ග්‍රාමීය ශ්‍රීලනිප පදනම තව තවත් ශක්තිමත් කිරීමට එය උපයෝගී වූ බව මෙහිලා සඳහන් කළ යුතුය. එනිසා ශ්‍රීලනිපය නැවතත් ග්‍රාමීය ජනතාව අතර ජනපි‍්‍රය ප්‍රධානතම දේශපාලන බලවේගය බවට පත් වී ඇත.

එම බලවේගය දීප ව්‍යාප්තව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කරවීමට සහය වූ තවත් වැදගත් සාධකයක් ඇත. එනම් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරන අනුහස්ජනක නායකත්ව සංකල්පයයි. ජර්මන් ජාතික ශ්‍රේෂ්ඨ සමාජ විද්‍යාඥ මැක්ස් වේබර් මෙම අනුහස්ජනක නායකත්ව සංකල්පය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කර ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්ව භූමිකාව හා නායකත්ව විලාසය, මැක්ස්වේබර් විසින් ඉදිරිපත් කරන ලද මෙම අනුහස්ජනක නායකත්ව සංකල්පයට ම ගැලපෙන ශ්‍රීලනිපයේ පැරණි නායකයින් කීප දෙනෙකුටම එවැනි අනුහස්ජනක නායකත්ව විලාශයක් තිබිණි.

ඒවා එකී යුගයත් සමඟ ඒ යුගයේ දේශපාලනය සමඟ නිර්මාණය වුණු ප්‍රවණතා ලෙස හඳුනාගත හැකිය. මහින්ද රාජපක්ෂ නිරූපණය කරනු ලබන අනුහස්ජනක නායකත්වය Charisma /Charismatic Leadership අතීතයේ සිටි සියලු ම නායකයින්ගේ නායකත්ව භූමිකාවන් අබිභවා යන්නකි. ඊට හේතුව එතුමා ස්වභාවයෙන් ම හා තම භූමිකාවේ අනුහස්ජනක නායකත්වය ලබාගෙන ඇති හෙයිනි. යුද්ධය පරාජය කිරීමට දුන් නායකත්වයත් ඒ සඳහා දැක් වූ විශිෂ්ටගණයේ කැපවීම හා ජනතාව වෙත ආදරයෙන් අවතීර්ණවීමත් නිසා මෙම අනුහස්ජනක ප්‍රවණතාව ඔහුගේ නායකත්වය තුළ නිර්මාණය වී තිබෙන අතර එය මෙරට තුළ ඉස්මතු වී ඇති නායකත්වයේ ප්‍රබලතම ලක්ෂණයයි.

එසේම ශ්‍රී ලංකාව මැතිවරණ ක්‍රියාවලිය අතින් තුන්වැනි ලෝකයේ තිබෙන අතිවිශිෂ්ට ගණයේ මැතිවරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන රටකි. 1931 සිට සර්වජන ඡන්දබලය මත පිහිටා ක්‍රියාත්මක වන සක්‍රීය හා ගතික මැතිවරණ ක්‍රියාවලියක් මෙරට ක්‍රියාත්මකව පවතී. එය සමීප සාධකයක් වී තිබෙනුයේ මෙරට ක්‍රියාත්මක වන්නේ තරඟකාරී බහු පක්ෂ ක්‍රමයයි. එසේ වුවද එම බහු පක්ෂ ක්‍රමය බොහෝවිට සකස් වනුයේ දිවි සභාග ක්‍රමයක් හැටියටය. එනම් ප්‍රධාන පක්ෂ දෙක ඇසුරින් දේශපාලන පක්ෂ සභාගයන් දෙකක් නිර්මාණය වීම යි. බලය එම සභාග දෙක අතර හුවමාරුවීමේ ප්‍රවණතාව අපි දැක ඇත්තෙමු.

එම ලක්ෂණය නිසා ම වරක් බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයෙකු වන ඩෙනිස් ඔස්ටින් ලංකාව හා ලංකාවේ දේශපාලනය ගැන සංසන්දනාත්මක විග්‍රහයක් කරමින් ප්‍රකාශ කර සිටියේ ලංකාව ඡන්ද පෙට්ටිය මුල්කරගත් Ballot Box Oriented Democracy  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බවයි. එයින් පැහැදිලි වනුයේ මෙරට මැතිවරණ ක්‍රියාවලිය කෙතරම් ගතික ද යන්න යි. එම ගතිකත්වය පැහැදිලි වූ ඉතාමත් ම විශිෂ්ට අවස්ථාව 2010 ජනාධිපතිවරණ යයි.

ජනාධිපති මැතිවරණ ක්‍රියාවලියේ දී ජනාධිපතිතුමාට ඡන්ද දායකයා දැක් වූ ආදරය හා ගෞරවය ඉතිහාසයේ කිසිදු නායකයෙකු ලබා නැත. මැතිවරණයෙන් පසු මෙරට ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනතාව මේ ප්‍රමාණයට මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාරයට වීදිවලට බැස කැවුම් කිරිබත් කා සැමරූ අවස්ථාවක් නොතිබිණි. 1956 මැතිවරණයෙන් නිර්මාණය වූ පොදුජන යුග සංකල්පය තුළවත් මෙවැන්නක් දක්නට නොතිබිණි.

එදා ජයග්‍රහණය පිළිබඳ ජනතාව පී‍්‍රති ඝෝෂා පැවැත්වුවද මෙම පරිමාව තරම් පී‍්‍රතිඝෝෂා තිබුණු බවක් මට නම් සිහිවන්නේ නැත. ඊට විශේෂතම හේතුවක් වූයේ එක්සත් ලංකාවක් තුළ බෙදුම් ව්‍යාපාරයක් නැති රටක් තුළ සිදු වූ ප්‍රථම ජාතික මැතිවරණය තුළින් නිර්මාණය වූ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වීම ය.

එම ප්‍රවණතාවන් තුළින්ද පැහැදිලිව දිස්වන්නේ ශ්‍රී ලාංකේය මැතිවරණ ක්‍රියාවලිය තුළ දක්නට ඇති ගතිකත්වය යි. එම ගතිකත්වය එනම් මැතිවරණ ක්‍රියාවලිය කාලයක් තිස්සේ නිර්මාණය වූවකි. මෙය මෙරට ප්‍රජාතන්ත‍්‍රවාදයේ විශිෂ්ටතම ලක්ෂණයකි. මෙරට ජනතාව ඡන්ද බලයෙන් ආණ්ඩු හදන ආණ්ඩු කඩන ජනතාවක් බව එයින් ගම්‍ය වේ.   වසර 50 කට අධික කාලයක් මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙය ක්‍රියාත්මක විය. එවැනි ක්ෂේත්‍රයක් තුළ දීප ව්‍යාප්ත ජාතික මැතිවරණයක් ක්‍රියාත්මක කොට මේ ආකාර ප්‍රවණතාවක් ක්‍රියාත්මකව, මේ ආකාර බලයක් බලයේ සිටින ජනපතිවරයාට ලැබීම පුදුමයක් ද නොවේ.

අද විපක්ෂය අසාර්ථක මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියක නිරතව සිට එම ජයග්‍රහණය පිළිබඳව වැරදි අර්ථකථනයක් දීමට ඉදිරිපත් වී සිටීම හාස්‍යයට කරුණක්. තමන්ගේ අපේක්ෂකයාට ප්‍රබල පක්ෂ පසුපසින් සිටිය ද ජාතික දේශපාලනයේ භූමිකාවක් නොතිබුණු පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ස්වකීය තරුණ වියේ සිට දේශපාලනයට සමාජගත වූ ඒ හරහා ජාතික දේශපාලනයට අවතීර්ණ වූ විශිෂ්ට ගණයේ දේශපාලනඥයෙක්.

ඔහු ස්වකීය දේශපා ලන භූමිකාව සකස් කරගෙන තිබෙනුයේ ග්‍රාමීය පෙදෙසෙකින් ඉපදුණු එම පෙදෙසින් දේශපාලනයට පිවිසි සහ ග්‍ර‍්‍රාමීය ජනතාවගේ හදවතට සමීප වූ පුද්ගලයෙකු හැටියටයි. මේ ලක්ෂණය මෙරට ජාතික දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක්. මෙරට ජාතික දේශපාලන ක්ෂේත්‍රය එහි ආර්ථිකය ගැමි සංස්කෘතිය හා ගැමි සමාජය සමඟ බද්ධ වී ඇත. ඊට හේතුව මෙරට දේශපාලන ක්‍රි‍්‍රයාවලිය කෙරෙහි ප්‍රබලව බලපෑමක් කෙරෙනුයේ ග්‍රාමීය පෙදෙස් වීම යි. එහෙයින් මැතිවරණ විශ්ලේෂණයක දී පැහැදිලි වන එක් සාධකයක් ඇත.

ඒ අනුව ග්‍රාමීය දේශපාලන ක්ෂේත්‍රයේ ගතිකත්වය මෙම මැතිවරණයෙන් නිරූපණය වී ඇත. එම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූ සියලු දෙනාම මෙම නිගමනය අනුමත කරනවාට කිසිදු සැකයක් නැත. ග්‍රාමීය ඡන්දදායකයන් දැක් වූ උද්යෝගය තුළින් පැහැදිලි වූයේ අතිගරු ජනාධිපතිතුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි. ඒ නිසා මෙම ජයග්‍රහණය වෙනකක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එම පක්ෂයේ ඓතිහාසික පදනමේ හා ග්‍රාමීය පදනම ඔස්සේ නිර්මාණය කරගනු ලැබූ විශිෂ්ට ගණයේ ජයග්‍රහණයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා