සාග් පිහිනුම් තටාකය කළඹවමින් මිනේකා ලක්මව රනින් සරසයි

සාග් පිහිනුම් තටාකය කළඹවමින් මිනේකා ලක්මව රනින් සරසයි

ශ්‍රී ලංකාවේ ළය ආර පිහිනුම් විශේෂඥ ක්‍රීඩිකා මිනේකා කරුණාරත්න ශ්‍රී ලංකාව රනින් බැබලවීමට ඊයේ සමත් වූවාය. මීර්පුර් ජාතික පිහිනුම් තටාකයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගවලින් ප්‍රථම රන් පදක්කම මිනේකා දිනාගැනීම ද විශේෂත්වයකි.

එයට අමතරව මීටර් 50 සමනල ආර ඉසව්වෙන් මිනිරුවණී සමරකෝන් හා මී. 200 ඒකල මෙඩ්ලී ඉසව්වෙන් හේෂාන් උණම්බුව රිදී පදක්කම් දිනාගත්හ. මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් හේෂාන් උණම්බුව ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තේය.

ආසියානු ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන මිනේකා කරුණාරත්න දිනාගත්තේ තම ජීවිතයේ මුල්ම දකුණු ආසියානු රන් පදක්කමයි. ඇයගේ ඊයේ තරග කාලය වූයේ තත්පර 35.15 කි. මෙයට පෙර ඇය මේ ඉසව්ව තත්පර 33.09 කින් නිමකර තිබුණි.

“ලංකාවට රන් පදක්කමක් දිනා දීමට හැකිවීම ගැන සතුටුයි. ඒත් මගේ හොඳම කාලය වාර්තා කිරීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා.” මිනේකා “දිනමිණ” ට පැවැසුවාය. රිදී පදක්කම හා ලෝකඩ පදක්කම සත්කාරක බංග්ලාදේශයේ මහුෆුසා කාටූන් (තත්. 35.43) හා ඩෝලි අකුටර් (තත්. 36.59) දිනා ගත්හ.

මීටර් 50 සමනල ආර තරගය නිමකිරීමට මිනිරුවණී සමරකෝන් තත්පර 32.12 ක කාලයක් ගත කළාය. එහි රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ සුභා චිතරාංගන් තත්පර 29.49 ක් ද, ලෝකඩ පදක්කම දිනාගත් පාකිස්තානයේ ඒෂා ඛාන් තත්පර 32.17 ක කාලයක් ද ගත කළහ.

 රිදී පදක්කම දිනූ හේෂාන් උණම්බුව

මීටර් 200 මෙඩ්ලී ඉසව්ව නිමකිරීමට හේෂාන් උණම්බුවට වි. 2:13:68 ක කාලයක් ගතවූ අතර රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ ජෙහන්ගර් පොන්චා වි. 2:12:65 ක් ද, ලෝකඩ පදක්කම දිනූ බංග්ලාදේශයේ රුබෙල් රානා වි. 2:19:03 ක කාලයක් ද ගත කළහ.

මීටර් 100 නිදහස් ආර ඉසව්ව නිමකිරීමට හේෂාන් උණම්බුවට තත්පර 54.23 ක් ද, රන් පදක්කම දිනූ ඉන්දියාවේ ඇග්නල් ද සොයිසාට තත්පර 52.48 ක් ද, රිදී පදක්කම දිනූ බංග්ලාදේශයේ මහුනුසූර් රහ්මාන්ට තත්පර 53.85 ක කාලයක් ද ගත වූහ.

මේ තරගාවලියේ අටවැනි දිනය වූ ඊයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 1 ක්, රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් එක්විය. මෙතෙක් නිමා වූ තරග අතුරින් ශ්‍රී ලංකාව දිනා ඇති සමස්ත පදක්කම් ගණන 36 ක් වන අතර එයට රන් 4 ක්, රිදී 13 ක් හා ලෝකඩ 19 ක් ඇතුළත් වේ.

වෙඩි තැබීමෙන් ලෝකඩ පදක්කම් 3ක්

මීටර් 50 රයිෆල් බිම දිගාවී වෙඩි තැබීමේ කණ්ඩායම් තරගය නියෝජනය කළ එන්. ඩී. ධර්මසිරි, යූ. එම්. ප්‍රේමලාල් හා එස්. එම්. එම්. සමරකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගත්හ. එහි රන් පදක්කම ඉන්දියාව ද, රිදී පදක්කම බංග්ලාදේශය ද සතු විය.

මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම් තරගයට එක්වූ ඊ. එම්. සේනානායක, ටී. ඩී. එස්. ප්‍රනාන්දු හා එන්. පී. එන්. ගුණදාස ලෝකඩ පදක්කම දිනා ගත්හ. එහි රන් පදක්කම ඉන්දියාවට ද, රිදී පදක්කම පාකිස්තානයට ද හිමිවිය.

මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඒකල තරගයෙන් ටී. ඩී. එස්. ප්‍රනාන්දු ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එහි රන් පදක්කම හා රිදී පදක්කම ඉන්දියාව සතු විය.

දකුණු ආසියා පිහිනුම් වාර්තාවක් බිඳවැටෙයි

මීටර් 200 ළය ආර පිරිමි තරගයේ රන් පදක්කම විනාඩි 2:21:03 කින් නිමකළ ඉන්දියාවේ සන්දීප් සෙජ්වාල් නව දකුණු ආසියානු වාර්තාවක් බිහිකෙළේය. එහි පැරැණි වාර්තාව වූයේ විනාඩි 2:27:12 කි. මේ තරගයට එක්වූ ඩිල්ෂාන් තිබ්බොටුමුදාව විනාඩි 2:40:19 කින් තරගය නිමකර 6 වැනි ස්ථානයට පත් විය.

ශ්‍රී ලංකාව හොකී තරගයෙන් පරදී

පාකිස්තානය සමඟ පැවැති හොකී තරගයෙන් ශ්‍රී ලංකාව 2 – 0 කින් පරාජයට පත් විය. ශශ්‍රී ලංකාව නේපාලය සමඟ හැර සහභාගි වූ සියලු තරගවලින් පරාජයට පත් වූවේය.

 රිදී පදක්කම දිනූ මිනිරුවණී සමරකෝන්

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට එරෙහි විනය පරීක්‍ෂණයක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම පාකිස්තානය සමග පාපන්දු තරගයට සහභාගි නොවී කොළඹ බලා පිටත්වීම පිළිබඳ ආසියානු පාපන්දු සම්මේලනය විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කොට ඇත.

කිසිදු දැනුම්දීමකින් තොරව තරගයට සහභාගි නොවී පාකිස්තානයට නිතරග ජයක් පිරිනැමීම විනය විරෝධී ක්‍රියාවක් බවට ක්‍රීඩා තරගාවලියේ සංවිධායකයෝ පවසති.

එම නිතරග ජය දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූවක් ලෙසට සටහන් විය. ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල මේ තරගාවලියේදී ඉන්දියාවට ගෝල් 8 – 0 කින්, නේපාලයට ගෝල් 8 – 1 කින් හා බංග්ලාදේශයට ගෝල් 3 – 0 කින් දරුණු පරාජයකට ලක්විය.

ආසියානු පාපන්දු සම්මේලනය පැවැත්වීමට නියමිත විනය පරීක්‍ෂණයේදී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල වැරදි බවට ඔප්පු වුවහොත් ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ඉඩ ඇත.

ක්‍රිකට් රන් පදක්කමට ශ්‍රී ලංකාව සටන් බිමේ

දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ මුල්ම ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීමේ අදහසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හෙට (7) සටන් බිමට පිවිසෙති.

සත්කාරක බංග්ලාදේශය සමග බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දිවා රාත්‍රී තරගයක් වන මෙය උණුසුම් තරගයක් වනු ඇත. ඊයේ පැවැති බංග්ලාදේශය හා පාකිස්තානය අතර තරගයෙන් ලකුණු 52 ක ජයක් බංග්ලාදේශයට හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලකුණු 146ක ජයක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුතින්ම එක්වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන ශ්‍රී ලංකා 23න් පහළ ක්‍රිකට් පිල ඊයේ මාලදිවයින ලකුණු 146කින් පරදවා දැවැන්ත ජයක් වාර්තා කෙළේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහර දී ඕවර් 20කදී කඩුලු 3 කට ලකුණු 220ක් රැස්කළ අතර මාලදිවයින මන්දගාමී පිතිකරණයකින් පසුව කඩුලු 5කට ලකුණු 73ක් ලැබීය. ශ්‍රී ලංකා පිලේ නායක අෂාන් ප්‍රියංජන චමත්කාර ජනක ප්‍රහාර එල්ල කරමින් පන්දු 50කදී නොදැවී ලකුණු 92ක් ලබා ගත්තේය. එයට හයේ පහර 2 ක් හා හතරේ පහර 10ක් ඇතුලත් විය.

ඔහුට අනගි සහයක් ලබාදුන් තිසර පෙරේරා පන්දු 22කදී නොදැවී ලකුණු 44ක් ලැබීය. අෂාන් හා තිසර අතර නොබිදුනු සම්බන්ධතාව ලකුණු 100ක් විය. මාලදිවයින පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායක අහමඩ් හසාත්ය. ඔහු නොදැවී ලකුණු 17ක් ලැබීය. ඇන්ජලෝ පෙරේරා කඩුලු 2 ක්ද, තිසර හා නවීන් කවිකාර කඩුල්ල බැගින්ද බිඳහෙලූහ.

ශ්‍රී ලංකා පිල මේ තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 4න් 3ක්ම ජයගෙන ඉදිරියෙන් සිටී. පාකිස්තානය සමග අවසන් මහා තරගයට සහභාගීවීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පසුවෙති. ක්‍රිකට් අවසන් මහා තරගය හා තුන්වැනි ස්ථානය තේරීමේ තරගය හෙට සවස පැවැත්වීමට නියමිතය.

ස්කොෂ් ජයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති ස්කොෂ් කණ්ඩායම් තරගයෙන් 2 – 1 ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. ශ්‍රී ලංකා පිල එරංග අල්විස් බිනුර ජයසිංහ හා නවීන් සමරසිංහගෙන් යුක්ත විය. එරංග අල්විස්, හා රාජන් කුමාර අතර තරගයේදී ශ්‍රී ලංකාව 11 /8, 11/9 හා 12 – 10 ක් ලෙස පරාජය විය. බිනුර හා නවීන් සහභාගී වූ තරග වට ජයග්‍රහණය කළහ.

 රනින් බැබළුණු දිය කිඳුරිය මිනේකා කරුණාරත්න

ඡායාරූප – පි‍්‍රන්ස් ගුණසේකර

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා