එල්ටීටීඊ යට නැව් මගින් ආයුධ ගෙනාවැයි සැක අයකු

එල්ටීටීඊ යට නැව් මගින් ආයුධ ගෙනාවැයි සැක අයකු
රඳවා ගෙන ප්‍රශ්න කරයි

එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් සිට නැව් මගින් අවිආයුධ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ බව කියන අයකු තවදුරටත් රහස් පොලීසිය භාරයේ රඳවා තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්ත මහත්මිය රහස් පොලිසියට අවසර දුන්නාය.

පුල්ලෙයාර් කෝවිල්අඩි පදිංචි රාජේන්ද්‍රන් කරුණාකරන් නමැති මේ සැකකරු වව්නියාව දෙමළ මහ විදුහලේ රැඳවුම් කඳවුරේ සිටියදී වවුනියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට භාරදෙන ලදුව එමගින් ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වෙනිදා මොහු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් ඔහු ගැන කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එල්. ටී. ටී. ඊ සංවිධානය මගින් මෙරටට ගෙන එනු ලැබූ අවිආයුධ, පුපුරණ ද්‍රව්‍ය, පතුරොම් චීනයෙන් රහසිගතව ලබාගත් ඒවා බවයි.

එම අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය හා පතුරොම් උතුරු කොරියාව හරහා පැමිණෙන කීප දෙනෙකුගේ සහයෝගය මත මෙරටට ප්‍රවාහනය කර ඇති බවද අනාවරණයවී තිබේ.

මේ අවිආයුද ලබා ගැනීමේදී සම්බන්ධීකරණය කරනු ලබන්නේ උතුරු කොරියාවේ පදිංචිව සිටින එල්. ටී. ටී. ඊ සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ ක්‍රියාකාරීන්වන “බරින්දන්” හා “නාදන්” යන දෙදෙනා විසින් බවද අනාවරණය කරගෙන තිබේ.

එල්. ටී. ටී. ඊ සංවිධානයට අයත් “සෝවාමාරු” “කී යෝයි” “මන්ජුයි” “ඩයසන්” ඔට්ටුසිමා” යන නැව් මගින් ඉන්දුනීසියාව හා ඉන්දියානු මුහුදු සීමා හරහා මෙම අවි ලංකාවට ගෙනවිත් ඇති බවත්, මෙම නෞකාවල සේවය කළ අනිකුත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින් හඳුනා ගැනීමට තව පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය වැඩිදුරටත් අධිකණයට දන්වා සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා