සුළඟේ පාවෙන විපක්ෂයේ අපේක්‍ෂා

සුළඟේ පාවෙන විපක්ෂයේ අපේක්‍ෂා

විපක්ෂයේ ඔළුව කොළොප්පම් වී ඇත. ඒ බව හොඳටම පැහැදිලි වන්නේ නායකතුමාගේ දේශනවලින් ය. එතුමාට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මැයි 17 දා ය. අන්තර් ජාතික සමුළුවකට සහභාගී වීම සඳහා බ්‍රසීලයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා පැමිණ සහභාගී වූ පළමු රැස්වීමේදී කියා සිටියේ මැයි 17 දා උදේ ම ගොස් එජාපයට ඡන්දය දෙන ලෙස ය. රැස්ව සිටි පිරිස හූ කියන්නට වූ හ.

පළාත් පාලන මැතිවරණයේ අරමුණ කුමක් ද? ගම හා නගරය සංවර්ධනය කිරීම ය. ඊට අදාළ හා සුදුසු නියෝජිතයන් පත්කර ගැනීම සඳහා ඉහත මැතිවරණය පැවැත් වේ. ගම හදන වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් හෝ එජාපයට නැත. එවැන්නක් හඳුන්වා දෙන්නේ ද නැත. විපක්ෂ නායකතුමා ඒ වෙනුවට සූර සරදියෙල් ගැන කතා කරයි. ලිබියාවේ මුවම්මර් ගඩාෆි ගැන කියයි. යන්නේ කොහේද? මල්ලේ පොල් කතාව අප සිහියට නැෙ¼ඟ්.

එක්සත් ජාතික පක්ෂයේ නන්නත්තාර වීම ගැන බලවත් සේ කලකිරීමට පත් අපේක්ෂකයෝ විසි තුන් දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වී සිටිති. ඔවුන් කියා සිටිනුයේ රටට වැඩක් කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩු පක්ෂයට එකතු විය යුතු බවත් ජනාධිපතිවරයාගේ දර්ශනය නිවැරැදි බවත් වැඩපිළිවෙළ ශක්තිමත් බවත් එම අපේක්ෂකයෝ කියා සිටිති. මෙය දේශපාලන වශයෙන් ඓතිහාසික අවස්ථාවෙකි.

තැපැල් ඡන්දය දීම පෙරේදා ආරම්භ විය. මුල් දිනයේ ඡන්ද භාවිතය 60% ක් බව ප්‍රකාශ වී තිබේ. රාජ්‍ය සේවකයා කලකිරීමට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද විවිධ උපාය මාර්ග යෙදූ බව නොරහසකි. ඔවුන්ගේ ආරක්ෂාව වූයේ තැපැල් ඡන්ද භාවිතය අඩු කිරීමය. එම උපායමාර්ග අසාර්ථක වී ඇති බව ඉතා පැහැදිලි ය. රාජ්‍ය සේවය ස්ථාපිත වූයේ ද රාජ්‍ය සේවකයාගේ ගැටලු විසඳුවේ ද වත්මන් ආණ්ඩුව ය. එය රාජ්‍ය සේවකයාගේ හෘද සාක්ෂිය දන්නවා ඇත.

වත්මන් ආණ්ඩුවට ඇති ප්‍රධාන ශක්තිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය. ඔහු කෙරෙහි පවතින ජනතා විශ්වාසය තවම අඩුවී නැත. මේ වනවිට ද ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රය ම දේශපාලකයා මහින්ද රාජපක්‍ෂ ය. ඔහු කියන දේ ජනතාව විශ්වාස කරයි. එලෙස ම කියන දේ කරන හා කරන දේ කියන නායකයකු ;ලස ඔහු ප්‍රකට ය. නායකයකු සතු මනා පෞරුෂය හා අභිමානය ඔහු ළඟ තිබේ. එමෙන්ම ජනතාව කෙරෙහි දක්වන කරුණාව හා සැලැකිල්ල ද තිබේ. ජනතාවගේ පරම විශ්වාසයට හේතුව එය වේ.

මන්නාරමේ මහජන ක්‍රීඩාංගනයේ දී පෙරේදා පැවැත් වූ මහා ජන හමුවේ දී ජනාධිපතිවරයා තවත් වැදගත් ප්‍රකාශයක් කළේ ය. එනම්; ආණ්ඩුවට බණින තමන් විවේචනය කරන හා තමනට ඡන්දය දුන් නොදුන් කාටත් සේවය කිරීම තමාගේ අරමුණ බව ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කාගේත් නායකයා ය. කාගේත් පාලකයා ය. පාට - පක්ෂ භේද ජාති භේද , කුල භේද, ප්‍රාදේශීය භේද, ඊට බලපාන්නේ නැත. ජනාධිපතිවරයාගේ අදහස සාධාරණ ය. යුක්ති සහගත ය.

1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා පොලීසියට සති දෙකක් නිවාඩු දී දේශපාලන පළිගැනීම් වලට ඉඩ ලබා දුන්නේය. තම දේශපාලන ප්‍රතිවාදීනට එළව – එළවා පහර දුන්නේ ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ ය. විජය කුමාරතුංග මහතා සිරගත කළේ ය. ආණ්ඩුව විවේචනය කළ උගත් මහාචාර්යවරුනට කාණු පල්ලේ බිම දමාගෙන පහර දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනස ඉහත කී සිදුවීම් ස්මරණය කරන විට හොදහැටි පැහැදිලි වේ.

ප්‍රතිවිරුද්ධ දේශපාලනකයන්ගේ අඩුපාඩු සොයන්න එපා! ඒ අය විවේචනය කරන්න එපා! ගමට හා නගරයට ඉටු කළ හා ඉටු කරන සේවාවන් කියන්න! ජනාධිපතිවරයා සිය පක්ෂයේ අපේක්ෂකයනට දී ඇති උපදේශය එය වේ. එජාපයට හා ජවිපෙට වැඩපිළිවෙළක් නැතත් ආණ්ඩු පක්ෂයට ගම හා රට හදන වැඩපිළිවෙළක් තිබේ. දිගුකාලීන ආර්ථික දර්ශනයක් තිබේ. පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයේ සටන් පාඨය නැතහොත් තේමාව බවට පත්ව ඇත්තේ “සපිරි ගමක් - සුපිරි රටක්” යන්න ය. එය කාලයට ගැළපෙන තානයකින් යුතු සටන් පාඨයෙකි.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමට නම්; මූලික වශයෙන් ගම සංවර්ධනය කළ යුතුය. කෘෂිකර්මය, කාර්මික අංශය හා සේවා අංශය වැඩි දියුණුවට පත් කළ යුතු ය. ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුන එය යි. කෘෂිකර්මය නැංවීම සඳහා මේ වනවිටත් ආණ්ඩුව ගෙන ඇති පියවර සාර්ථක ය. එහි ප්‍රතිඵල ලෙස වී අස්වැන්න වැඩි වී ඇත. අනෙකුත් වාණිජ භෝගවල ප්‍රවර්ධනයක් ද දකින්නට ලැබේ. කාර්මික හා සේවා අංශයන් ද වේගවත් සංවර්ධනයක් ලබමින් පවතී. අන්තර් ජාතික මූල්‍ය අරමුදල එය පිළිගෙන තිබේ.

ලෝක දේශපාලනය තුළ ද ගෝලීය ආර්ථිකය තුළ ද ශ්‍රී ලංකාව කැපී පෙනෙන ස්ථානයක පවතී. සංවර්ධනය, සාමය, නිදහස, යහපැවැත්ම යන ක්ෂේත්‍රවල දී අප ගේ මවුබිම ඉදිරියෙන් සිටින බව ලෝක මතය වේ. මේ වනාහී ඉතිහාසයේ වැදගත් අවස්ථාවෙකි. අපට දේශපාලන විහිළුවලට කන්දීමට වේලාවක් නැත. රට ආපස්සට ගෙන යන කතාවලට සවන්දීමට වේලාවක් ද නැත. ලැබූ නිදහසින් උපරිම ඵල නෙළාගැනීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු ය. ඒ සඳහා සිය ප්‍රඥාව මෙහෙයවිය යුතු කාලය යි මේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා