ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ගැටුම අදයි

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ යයි

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ගැටුම අදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රියේ තරග වදින පළමු තරගය අද සිම්බාබ්වේ සමග පැවැත්වේ.

“පල්ලෙකැලේ තණතිලිවල අපි මීට පෙර ටෙස්ට් හා අන්තර් පළාත් තරග ක්‍රීඩා කර තියෙනවා.එය නවීකරණය කිරීමෙන් එහි වැඩි වෙනසක් සිදුවේවි යැයි අපි සිතන්නේ නැහැ.

සමහර විට පන්දුවේ බවුන්ස් වීමක් තියේවි.පසුගිය අවුරුදු දෙක තුළ මේ කිී‍්‍රඩාංගණයේ වෙනසක් ඇති වුනේ නැහැ.ලකුණු 300ක් හෝ ඊට වැඩියෙන් වුනත් මෙහි හඹා යන්න පුළුවනි” යැයි ශ්‍රී ලංකා උප නායක මහේල ජයවර්ධන ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ක්‍රීඩාංගණයට රාත්‍රි අටට පමණ පින්න පතිත වන බව කී ජයවර්ධන කාසියේ වාසිය යනු අපට පාලනය කළ හැකි දෙයක් නොවන බවත් ලෝක කුසලානය වැනි මෙවැනි ප්‍රධාන තරගාවලියකදී ඕනෑම අභියෝගයකට මුහුණ දීමට කණ්ඩායමට හැකියාව තිබිය යුතු බවත් පැවසීය.

සිම්බාබ්වේ කණ්ඩායම විස්මිත කණ්ඩායමක් බවට පෙරළීමට ඉඩ ඇති නිසා මේ තරගය සුළුකොට නොතකන බවත් මේ තරගාවලියේදී සෑම තරගයක්ම වැදගත් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව අද තරගය ජයග්‍රහණය කළොත් නවසිලන්තය සමග ඉතිරි මූලික වට තරගයේ ප්‍රතිඵලය කුමක් වූවත් ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකාව දැන් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ.ඔවුන් මෙතෙක් සහභාගි වූ තරග හතරෙන් ලකුණු පහක් ලබාගෙන සිටින අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජය ගත යුතු ම වේ.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ මීට පෙර මුණගැසුනු ලෝක කුසලාන තරග හතරේදී ම ජයග්‍රාහකයන් වූයේ ශ්‍රී ලංකාව ය.

සමස්තයක් වශයෙන් මේ කණ්ඩායම් දෙක මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 46කට සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග 38ක් ජයගෙන තිබේ.

සිම්බාබ්වේ තරග 7ක් ජයගෙන සිටින අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

දස්කම් ඒකාකාරීව තබාගෙන දියුණු වීමට කණ්ඩායමට තවමත් අවස්ථාව තිබෙන බව කී මහේල ජයවර්ධන ඉදිරියේ එළැඹෙන්නේ අසීරු තරග බැවින් තරගාවලියේ දිනෙන් දින තව තවත් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතු බව කීවේය.

කණ්ඩායමේ සියළුම කිී‍්‍රඩකයන් මනා ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව කී ශ්‍රී ලංකා උප නායකයා කිසිම ක්‍රීඩකයකු ආබාධවලට ලක් නොවනු ඇතැයි යන්න කාගේත් බලාපොරොත්තුව බව ප්‍රකාශ කළේය.

ලසිත් මාලිංග යළි කණ්ඩායමට එක් වීමෙන් කණ්ඩායමේ පන්දු ප්‍රහාරයට ෂෂධත්වයක් ලැබී ඇතැයිද තරගාවලිය ඉදිරියට යද්දී මුහුණ දීමට සිදුවන කණ්ඩායම්වල තත්ත්වයන් අනුව පන්දු යවන්නන් මාරු කරනු ඇතැයිද ජයවර්ධන කීවේය.

එහෙත් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු නොවන බව ජයවර්ධන අවධාරණයෙන් කියා සිටියේය.

“ශක්තිමත් කඩුලු සබඳතා අප විසින් ගොඩනගා ගත යුතුයි.පන්දු රැකීම යන කාර්යයේදී අපි හැමදාමත් ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන කණ්ඩායමක්” ජයවර්ධන පෙන්නා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනත් කණ්ඩායම් මත යැපෙන පිරිසක් නොවන බව කී ජයවර්ධන ඊළඟ වටයේ කවුරු මුණගැසේවිදැයි සිතමින් අපට ක්‍රීඩා කළ නොහැකි බවද කියා සිටිියේය

මෙවර තරගාවලියේදී සෑම කණ්ඩායමක් ම පාහේ ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙන බව ප්‍රකාශ කළ මහේල ජයවර්ධන අවසානයේ මෙසේ පැවසීය.

“මේ ලෝක කුසලානය දැන් කාටත් විවෘතයි.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා