පාකිස්තානයේ ඉන්ධන හලක කාර් බෝම්බයක් පුපුරා යයි

පාකිස්තානයේ ඉන්ධන හලක කාර් බෝම්බයක් පුපුරා යයි

25ක් මරුට 154කට තුවාල

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ඉන්ධන පිරවුම් හලක පෙරේදා උදේ රිය බෝම්බයක් පුපුරා යාමෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 154 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. ඉස්ලාමීය සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇතැයි සැලකේ.

බෝම්බය පිපිරීමෙන් ඉන්ධන පිරවුම්හල බිමට සමතලා වී ඇත.

තුවාල ලත් බොහෝ දෙනකු එහි සුන්බුන් අතර පැය ගණනක් තිස්සේ හිරවී සිටි බවද සඳහන් ය. ඔවුන් මෙම සුන්බුන් හා බෝම්බයේ තියුණු කොටස් වැදීමෙන් තුවාල ලබා තිබේ. තුවාල ලත් සමහරුන්ගේ තත්ත්වය බරපතළ බවද පැවසේ.

පිරවුම් හල අසල පිහිටි පාකිස්තාන අන්තර්ජාතික ගුවන්සේවයට අයත් කාර්යාලයද බෝම්බයෙන් හානියට පත්ව තිබේ. මේ ගොඩනැගිලි සුන්බුන් වලින් තුවාල ලත් අය බේරාගැනීම පෙරේදා සවස් වන විට අවසන් වී තිබිණ.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නොව අටවන ලද්දක් බව පැහැදිලිවම දක්නට ලැබී ඇත. ඉන්ධන පිරවුම්හල අසල නවතා තිබුණු ටොයොටා කොරොල්ලා රියක කිලෝ ග්‍රෑම් 40 ක තරම් වන පුපුරන ද්‍රව්‍ය අටවා තිබී ඇත. බෝම්බ රිය ගෑස් සිලින්ඩර ගොඩගසා තිබුණු තැනකට ආසන්නයෙන් නවතා තිබුණෙන් ඇතිවූ පිපිරුම දෙගුණ තෙගුණ වී ඇත. මෙය ආසන්නයේ පිහිටි රජයේ ගොඩනැගිලි ඉලක්ක කරගන්නට ඇතැයි ද සැලකේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා