පස් වසරකදී වෙනස් වූ ගම

පස් වසරකදී වෙනස් වූ ගම

අපේ රටේ දේශපාලඥයන් හා අවශේෂ නායකයන් ගම ගැන කතා කරන්න පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. අපට මතක ඇති කාලයේ සිට හැමෝම ගම ගැන කතා කරනවා. ඊට හේතුවක් තිබෙනවා. 70% පමණ තවමත් අපේ රටේ ජනතාව ජීවත් වෙන්නේ ගම්වල. අද නගරයේ ජීවත් වන අය වුව ද ග්‍රාමීය මූල්‍යයන් සහිත පිරිසක්. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ගම සමඟ අපේ ජනතාවට ඇත්තේ ශත වර්ෂ ගණනාවකට ඈතට ගිය දීර්ඝ සබඳතාවයක්. එය වෙනත් සමහර රටවල දක්නට නොලැබෙන බැඳීමක්.

වැඩ වසම් යුගයේ අපේ ‘ ගම ‘ ස්වයං පෝෂිත ආර්ථික ඒකකයක්. එදා ගැමියා බඩ ගින්නේ නොසිට ජීවත් විය හැකි පාරිභෝගික ද්‍රව්‍ය සියල්ල ගමෙන් සොයා ගත්තා. ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ යටත් විජිතයක් වීමත් සමඟම මේ ස්වයං පෝෂිත ආර්ථික වටාපිටාව වෙනස් වුණා. ඒ වෙනුවට ඔවුන් රටේ එක් කොටසක වැවිලි ආර්ථිකය ආරෝපණ කළා. අනෙක් පළාත්වල වැව, වී ගොවිතැන ආශි‍්‍රතව පැවැති කෘෂි ආර්ථිකය විනාශ කළා. අවසානයේ අප නිදහස ලබන්නේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයකට හෝ ආනයනය කරන ආර්ථික වටාපිටාවක් තුළ.

නැවත වැව් අමුණු ඇළ වේලි ප්‍රතිසංස්කරණය කර අපේ පැරණි කෘෂි ආර්ථිකය නඟා සිටුවීමට යම් යම් උත්සාහයන් ගනු ලැබූ නමුත්, පැරණි ස්වයංපෝෂිත ඉලක්කයට පැමිණීමට අපට නොහැකි වුණ. දිගින් දිගටම සිදු වූයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අප ගෙවනු ලබන බිලට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීමයි.

කුමක් හෝ ආර්ථික මාර්ගයකින් මුදල් සොයා ගත්තොත් ලෝකයේ ඕනෑම තැනකින් අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කළ හැකිය යන ආකල්පය ද මීට හේතු වුණා. මේ නිසා වගාව අතහැර වෙනත් පහසු මාර්ගවලින් මුදල් සෙවීමට පටන් ගත්තා. ඒ මුදල් යොදවා අඩු මිලට පාරිභෝගික භාණ්ඩ පිටරටින් මිලට ගත්තා. පසුගිය ලෝක ආර්ථික අර්බුදය අභියස ආහාර ද්‍රව්‍යවල ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල ගණන් ඉහළ ගියා. මේ නිසා මුදලට භාණ්ඩ මිල දී ගැනීමද අපහසු වුණා. නැවතත් අපට ගම මතක් වීමට පටන් ගත්තා. අපේ ආහාර අපිම වගා කරගත යුතුයි යන මතයට වටිනාකමක් ලැබුණා.

මේ නිසා නිදහස ලබා අඩසියවසක් තිස්සේම අප ඡන්ද කරන්නේ ගම ගැන කතා කරමින් ගම වර්ණනා කරමින් ගම නොසලකා හරින ක්‍රමයක්. පසුගිය සමයේ අපේ දේශපාලඥයන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රධානීන් ගම ගැන කතා කරමින් කාලය ගෙවා දැමුවා මිසක ගම සැබෑ වෙනසකට ලක් කිරීමේ නිවැරදි ක්‍රම වේදයක් ගැන කල්පනා කර තිබුණේ නැහැ.

මේ අතර විවිධ ආණ්ඩු මඟින් ගම්වල විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. මේ නිසා නිදහසින් පසු ගමේ කිසිදු සංවර්ධන ක්‍රියාදමයක් සිදු වූයේ නැතැයි කිව නොහැකියි. විවිධ දේවල් සිදු වුණා. එහෙත් දකුණේ කැරලි දෙකක් හා උතුරේ බෙදුම්වාදී කැරැල්ලක් නිර්මාණය වීම තුළින් ගමට දැනෙන සංවර්ධන ක්‍රියාදාමයක් සිදු වී නොමැති බවයි හැඟෙන්නේ. ඊට හේතුව දකුණේ හා උතුරේ කැරලිකාරිත්වයට බෙහෙවින් ම දායක වූයේ ගමේ කොන් වී සිටි පහසුකම් අඩු තරුණ තරුණියන්. මේ නිසා ගම සැබෑ වෙනසකට ලක් කළ යුතු සංවර්ධන ක්‍රියාදාමයකට කලක සිටම ඉල්ලුමක් තිබුණා. “ කොළඹට කිරි ගමට කැකිරි” යන සංකල්පය නිර්මාණය වූයේ ද මේ ඉල්ලුම හරහායි.

2005 පසු ‘ මහින්ද චින්තනය ‘ ඊට පිළිතුරු සපයා දී තිබෙනවා. 2005න් පසු ගම ඉලක්ක කර ගනිමින් දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් ක්‍රියාත්මක වුණා. ගැමි ජනයා ඉල්ලා සිටියේ පිනට යමක් නොවෙයි. ඔවුන්ට දියුණු වීමට පහසුකමක් නැතිනම් රැකියාවක්. රැකියා තාවකාලික විසඳුමක්. රැකියා සැපයීමේ කෙළවරක් කිසි දිනක දක්නට ලැබෙන්නේ නැහැ. ගැමි තරුණයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස රැකියා කීපයක් ඇති කිරීමෙන් ප්‍රශ්නය යටපත් කළ හැකියි. එය කැකෑරෙමින් පසුවන ඔවුන්ගේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් පමණයි.

ගම පහසුකම් සහිත තැනක් බවට පත් කළොත් ගමේ අය තමන්ට ගැලපෙන රැිකියාව සොයා ගනී. විශේෂයෙන් ම ගොවිතැන හෝ රැකියාවක් විදියට තෝරා ගනියි. ඒ සඳහා ගමේ යටිතල පහසුකම් සංවර්ධනය වැදගත් වෙනවා. 2005 පසු සිදු වූයේ එයයි. ගම ඉලක්ක කරගනිමින් දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියා දාමයක් මාර්ග, විදුලිබලය, ජල සම්පාදනය , හා සනීපාරක්ෂක කටයුතු, කුඩා වාරිමාර්ග, පොදු පහසුකම්, පොදු ගොඩනැගිලි, ජීවනෝපාය, සමාජ සංවර්ධන යන ක්‍ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් පසුගිය 5 වසර තුළ ක්‍රියාත්මක වුණා. එය ගම නැඟුම, මඟ නැගුම, රජරට නවෝදය, කඳුරට නවෝදය , පුබුදමු වෙල්ලස්ස, සබරගමුව අරුණාලෝකය, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, වයඹ පුබුදුව, රුහුණු උදානය, රන් අරුණ යන ව්‍යාපෘති යටතේ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක වුණා. මේ යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සංඛ්‍යාව 79618ක් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 13480,082ක් වෙනවා.

’කොන්ක්‍රීට් පාර’ යන යන වචනය පවා අපට ආසන්න ලැබෙන්නේ 2005 පසුව. ග්‍රාමීය මංමාවත් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට කොන්ක්‍රීට් ඇතිරූ මාර්ග සෑම ග්‍රාම සේවා වසමකටම ලබා දීමට රජය කඩිනමින් ක්‍රියාත්මක වුණා. මේ නිසා පසුගිය 5 වසර තුළ ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රාමීය මංමාවත් වල දිග කි. මීටර් 35000ක් පමණ වෙනවා. මෙසේ ප්‍රතිසංස්කරණය වූ සෑම මාවතකටම අඩුම ගානේ ත්‍රීවිලර දෙක තුනක් හෝ අලුතින් ප්‍රවාහනයට එක් වී තිබෙනවා.

ග්‍රාමීය විදුලිය සැපයුමත් එසේ මයි. 2005 72% ක් ම පැවැති ග්‍රාමීය විදුලිය සැපයුම 2010 අවසානයෙන් 2.88%ක් දක්වා වැඩි වී තිබෙනවා. සමහර මැතිවරණ කොට්ඨාශවල මේ වන විටත් 100% ක් විදුලිය සැපයුමක් දක්නට ලැබෙනවා. විදුලිය නොමැති ගමක් නැති ගානයි. මාර්ග විදුලිය මෙන් ම පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම ද වේගවත් වුණා. මේ වන විට පවුල් 39%කට පමණ නල ජලය ලැබිලා. මින් 32% ක් පමණ ජාතික ජල හා ජලා පවාහන මණ්ඩලය මගින් ලබා දීලා. රටේ 81%ක් පමණ පිරිසක් පිරිසිදු පානීය ජලය පරිහරනය කරනවා. මේ වන විට රටේ පවුල් 13 ලක්ෂයකට අධික ප්‍රමාණයක නල ජලය ලැබිලා. 513000කට එම අවශ්‍යතාවය සම්පූර්ණ වී තිබෙන්නේ 2005 පසුව , පසුගිය පස් වසර තුළ ජානීය ජල අවශ්‍යතාවයන් සැපිරීමට රජයේ මැදිහත් වීම ඉහළ ප්‍රතිශතයකින් සිදු වී තිබෙන බව මේ සියලු දත්තයන්ගෙන් පැහැදිලි වෙනවා.

සමස්තයක් ලෙස ගත් කළ ගමේ යටිතල පහසුකම් සංවර්ධනය ගමට දැනෙන ලෙස වෙනසකට භාජනය වී තිබෙන්නේ පසුගිය පස් වසර තුළයි. මෙය නිවැරදිව පැහැදිලි කිරීමට රජයේ සමහර දේශපාලඥයින් පවා කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට ඔවුන් ජාතික තලයේ දේශපාලන සංකල්පවල එල්ලී විපක්ෂය සමඟ සංවාද කරමින් සිටින බවයි පෙනෙන්නේ. මෙසේ ගමේ සිදු වූ වෙනස නිවැරැදිව හඳුනා නොගැනීම අවාසනාවක්. අද ගමේ නව පිබිදීමක් ඇති වීමට දුප්පත්කම හා විරැකියාව අඩු වීමට මේ වෙනස හේතු වී තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා