සුසෙයිට ලැජ්ජ ඇති!

සුසෙයිට ලැජ්ජ ඇති!

මුහුදු කොටි බළකාය සතු වූ සියලු නාවුක කඳවුරු ඊයේ වනවිට ආරක්ෂක හමුදා අතට පත් ව තිබිණි. මේ වනා හී කොටි සංවිධානය අතු ගෑ වී යන බව ට කදිම නිදසුනෙකි.

අවි - ආයුධ ප‍්‍රවාහනය, මත්ද්‍රව්‍ය ජාවාරම හා අන්තර්ජාතික සබඳතා ගොඩනැඟීම සඳහාත් , ප‍්‍රහාරයන් සඳහාත් කොටි නාවුක යාත‍්‍රා යොදාගෙන තිබිණි. බටහිර හා නැඟෙනහිර වෙරළ ආශි‍්‍රත භූ - කලාපය මුහුද කොටින්ගේ බලපෑමට යටත් ව තිබිණි.

කොටි සංවිධානය හා තමිල්නාඩුව අතර සබඳතා පවත්වා ගැනීමටත් කොටි යාත‍්‍රා යොදාගෙන තිබේ. කොටි නායකයා රටින් පැන යා යුත්තේ ද ඔවුන්ගේ යාත‍්‍රාවකින් යැයි විශ්වාසයක් පවතී.

කොටි සංවිධානයට විශාල ප‍්‍රමාණයේ නෞකා ඇතැයි මුලින් ම හෙළිදරව් වන විට ආණ්ඩුව එය පිළිගත්තේ නැත. රොහාන් ගුණරත්න මහතා 1995 දී පමණ මේ ගැන වැඩිදුරටත් කරුණු හෙළිදරව් කරමින් පිරිබාහරන්ට නැව් පහක් ඇතැ'යි ප‍්‍රකාශ කෙළේ ය.

සමහරු එය විහිළුවකට ගණන් ගත් හ. තවත් අය ඊට විස්මය පළ කළහ. එහෙත් යථාර්ථය වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒ වනවිටත් අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට අදාළ අන්තර්ජාතික හොර කොන්ත‍්‍රාත්කරුවන් බවට පත් ව සිටීම ය. ඔව්හු මේ නෞකාවලින් සෑහෙන ආදායමක් ලැබූහ.

ශී‍්‍ර ලංකාව මුහුදින් වට වූ දූපතක් බැවින් නාවුක බලය තරකර ගැනීම ජාතික ආරක්ෂාවේ පළමු අංගය විය යුතුය. එහෙත් 1990 ගණන්වල පැවැති ආණ්ඩු ශී‍්‍ර ලංකාවේ නාවුක හමුදාව ශක්තිමත් කිරීමට හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටින් ගැන නිරීක්ෂණයක යෙදෙන්නට හෝ උනන්දු වූයේ නැත.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මුහුදු කොටි බළකාය ශක්තිමත් බල ඇණියක් බවට පත්විය. පසු කලෙක අපගේ ඩෝරා යාත‍්‍රා විනාශ කරමින් ද මගී නෞකාවලට පහර දෙමින් ද මුහුදු කොටි සිය යුද ශක්තිය ප‍්‍රදර්ශනය කළ හ. මුලතිව් ගැඹුරු මුහුදේ බලය කලක් තිස්සේ ම පැවැතියේ කොටින් අතේ ය.

මේ තත්ත්වය වෙනස් වන්නට වූයේ මෑතක සිට ය. කොටින්ගේ ආයුධ නැව් ගණනාවකට පහර දී ඒවා මුහුදේ ගිල්වා දැමීමට නාවුක හමුදාව සමත් විය. මෙලෙස විනාශ කළ නැව් ගණන දහයකට වැඩි ය.

කොටි සංවිධානයේ ප‍්‍රධාන නාවුක උපාය මාර්ගය වන්නේ මරාගෙන මැරෙන කොටි බෝට්ටු ය. ඒ බෝට්ටු ප‍්‍රහාරක යාත‍්‍රාවල ගැටීමට සැලැස්වීමෙන් සියල්ල විනාශයට පත් කිරීම කොටින් ගේ ඉලක්කය වේ.

මරාගෙන - මැරෙන කොටි බෝට්ටුවලට දුර සිට වෙඩි තබා විනාශ කළ යුතුය. දැන් අපගේ නාවුක හමුදාව ඒ සූත‍්‍රය යොදා ගනිමින් මුහුදු කොටින් පරාජය කර තිබේ. මේ යුද්ධයේ දී ශී‍්‍ර ලංකා නාවුක හමුදාව තීරණාත්මක වැඩ කොටසක් ඉටු කර තිබේ.

2009 මහවිරු දිනය සැමරීමට හෝ අදාළ දේශනය පැවැත්වීමට හෝ කොටි නායක පිරිබාහරන් ජීවත් ව සිටිතැ'යි විශ්වාසයක් අප ළඟ නැත. එහෙත් 2007 මහවිරු දින දේශනයේ වචන කිහිපයක් අපට මතක ය.

'මම දෙමළ ජනතාවගේ නිදහස උදෙසා බොහෝ විනාශයන් සිදු කර ඇත්තෙමි. එහෙත් දකුණේ සිංහලයන් තව ම ඉන් පාඩමක් උගෙන නැත' වචන 2700කින් යුතු ලිපියක් ලෙස මේ දේශනය ලොව පුරා ප‍්‍රචාරයට පත් විය.

ඉන් පැහැදිලි වූයේ පිරිබාහරන් තවත් බරපතළ විනාශයන් ගණනාවකට අර අඳිමින් සිටින බව ය. උක්ත දේශනය ඇසූ 'හින්දු' පුවත්පතේ කර්තෘ එන්.රාම් මහතා පිරිබාහරන් ජීවත් ව සිටින තුරු ශී‍්‍ර ලංකාවට සාමයක් නැතැ'යි ලියා තැබී ය.

අපගේ ශක්තිය සිංහල ආණ්ඩු තේරුම් ගත යුතුය. ඉන්දියාව මෙන් ම ලෝකය ද එය තේරුම් ගත යුතු ය. යනුවෙන් පිරිබාහරන් වරින්වර පණිවිඩ නිකුත් කෙළේ ය.

අයෝමය මිනිසකු ලෙස ලොව හමුවේ පෙනී සිටින්නට කොටි නායකයාට ප‍්‍රතිජීවක ලබාදුන් එක් බලවේගයක් වූයේ මුහුදු කොටි බළකාය යි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලවත් ම හා සාර්ථකම ප‍්‍රහාරක බල ඇණිය වන්නේ ද මුහුදු කොටි ය.

සුසෙයි නම් කොටි නායකයා යටතේ අංග සම්පූර්ණ නාවුක බල ඇණියක් ලෙස මුහුදු කොටින් පැවැතිණි. අධිවේගී බෝට්ටු, මරාගෙන මැරෙන බෝට්ටු පමණක් නො ව සබ්මැරීන නිපදවන තරමට ම ඔවුන් ගේ නාවුක තාක්ෂණය දියුණු බව දැන් පෙනී ගොස් තිබේ.

මුහුදු කොටි බළකාය සේ ම ගුවන් කොටි බළකාය ද නිර්මාණය වී ඇත්තේ බටහිර රටවල ආධාරය හා උපකාරය ඇතිව ය. මීට කදිම නිදසුන වන්නේ කොටි සංවිධානයේ සබ්මැරීන් අංගනය යි.

ස්විස්ටර්ලන්තයට අයත් අධි - තාක්ෂණික මෙවලම් ගණනාවක් ම එහි තිබී අත්අඩංගුවට පත්විය. කොටි සංවිධානයේ ගුවන් පථ නිර්මාණය වී ඇත්තේ ද බටහිර රටක උපදේශකත්වය මත යැයි විශ්වාස කළ හැකි ය.

නෝර්වේජියානු සමාගම් මේ පසුපස ඇතැ'යි සමහරු කියති. මානුෂික ආධාර ලබාදීමේ මුවාවෙන් උතුරට හා නැඟෙනහිරට පැමිණි බොහෝ රාජ්‍ය නොවන සංවිධාන කොටි සංවිධානයේ යුද ශක්තිය හා සන්නිවේදන ජාලය ප‍්‍රසාරණය කිරීමට කටයුතු කර තිබේ.

ඒ තත්ත්වය අවබෝධ කරගෙන ඉදිරි සැලැසුම් කි‍්‍රයාත්මක කිරීම ආණ්ඩුවට හැම අතකින් ම යහපත් වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා