එජාපය අතු ගා දමා මුස්ලිම්වරු රවුෆ් හකීම් ගෙදර යවනවා

එජාපය අතු ගා දමා මුස්ලිම්වරු රවුෆ් හකීම් ගෙදර යවනවා

- ඒ. එච්. එම්. අස්වර්

මුස්ලිම් ජනතාව කවදත් යූ. එන්. පිය සමගයි යනුවෙන් මතුකර ඇති මිත්‍ය මතය සම්පූර්ණයෙන් වැරැදි නිගමනයක් බව එළැඹෙන වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයේ දී ඔප්පු වනු ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ඒ. එච්. එම්. අස්වර් මහතා පවසයි.

අද වන විට මෙරට ගම් නියම් ගම් වල මුස්ලිම් ජනතාවගේ චින්තනයේ විශාල පෙරැළියක් සිදුවී ඇති බවත් මිතුරා සහ හතුරා කවුදැයි ඔවුන් දැන් හොඳින් හඳුනන බවත් ඒ මහතා කීවේය.

වයඹ පළාත් සභාවට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දොඩම්ගස්ලන්ද, පානගමුව ප‍්‍රදේශයේ පැවැති රැස්වීමක දී ඒ මහතා මේ අදහස් පළ කෙළේය.

අස්වර් මහතා මෙසේ ද කීවේය.

පලස්තීන ප‍්‍රශ්නයේදීත්, ඉරාකයට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ විටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැරූ ස්ථාවරයට අද මුළු ලෝකයාම ප‍්‍රශංසා කරනවා.

මේ නිසාම එතුමා මුස්ලිම් රටවල නායකයන්ගේ හිත දිනා සිටිනවා. එජාප නායකයා අනුගමනය කෙළේ ඊට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාමාර්ගයක්.

පලස්තීන විමුක්තිය වෙනුවෙන් එදා පාර්ලිමේන්තුවේ සහයෝගීතාවය දක්වා එවකට විරුද්ධ පක්ෂයේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා යෝජනාවක් ගෙන ආ විට එජාප මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට ඒ පිළිබඳව කතා කිරීමත් රනිල් විසින් තහනම් කළා.

මුස්ලිම් මන්තී‍්‍රවරු කවදාවත් ඒ බව අමතක කරන්නේ නැහැ.

පලස්තීන අහිංසක ජනතාව සමූහ ඝාතනය කරන කි‍්‍රයාවේ යෙදී සිටින ඊශ‍්‍රායල් සයෝනිසවාදීන්ගේ ගෙන යන කෘරතර කි‍්‍රයාව හෙළා දැක අද වනතුරුත් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශයක් කර නැහැ.

ජාතික හා ජාත්‍යන්තර මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් එතුමා දැනට ගෙන යන බව කාටත් තේරුම් යනවා. මේ යුදෙව් ව්‍යාපාරයට රනිල් ට සහාය දක්වන්නේ මුස්ලිම් ක්‍රොංග‍්‍රසයේ නායක හකීම් මහතා පමණි. රනිල් යන්නේ ප‍්‍රභාකරන්ගේ මාර්ගයේයි. රනිල් ගේ මාර්ගයේ හකීම් යනවා.

මේ බව මුස්ලිම්වරු අවබෝධ කරගෙනයි දැන් ඉන්නේ. ඒ නිසා මෙවර මැතිවරණයේ දී එජාපයත් එහි නායකයාවත් අතුගා දමන මොහොතේදී රවුෆ් හකීම් ගෙදර යවන්නත් මුස්ලිම්වරු අමතක කරන්නේ නැහැ.

අද වන විට නැඟෙනහිර මුස්ලිම්වරු නිදහසේ ජීවත් වෙනවා. ඒ නිදහස ලැබුණේ බුලත් කොළය යටතේයි.

වයඹ හා මධ්‍යම දෙපළාතත් බුලත් කොළය යටතේ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන බව පැහැදිලියි.

වැදගත් පළාත් දෙකක මැතිවරණ පැවැත්වෙන විට එජාප නායකයා මන්තී‍්‍ර සාගල රත්නායක සමඟ මාලදිවයිනේ නිවාඩු ගත කරනවා.

එස්. බී. අද සාගරයක් මැද තනි වී සිටිනවා. අපේක්ෂකයන්ට උදවු නොකරන නායකයන්ගෙන් රටේ ජනතාව කුමක් බලාපොරොත්තු වෙන්නද?

ජනතාව පෙබරවාරි 14 වැනිදාට බුද්ධිමත්ව සිතා බලා ඡන්දය පාවිච්චි කරයි කියා අපි විශ්වාස කරනවා.

මෙහිදී පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති හරිස්චන්ද්‍ර, අනිල් කුමාර, පළාත් සභා අපේක්ෂක අබ්දුල් සත්තාර මහත්වරු ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා