මරාගෙන මැරෙන බෝම්බයෙන් පාකිස්තානයේ 30ක් මරුට

මරාගෙන මැරෙන බෝම්බයෙන් පාකිස්තානයේ 30ක් මරුට

40කට තුවාල: කිහිපදෙනකුට බරපතළයි

පාකිස්තානයේ ඩෙරා ගාසි කාන් නගරයේ අල් - හුසේනියා මුස්ලිම් පල්ලියෙන් පිටත රැස්ව සිටි ෂයිටි සැදැහැවතුන් පිරිසකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඉකුත් බ‍්‍රහස්පතින්දා පුද්ගලයන් තිස්දෙනෙක් පමණ මියගිය බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝම්බර් 10 දින, ඇෆ්ගනිස්තාන් වයඹදිග මායිමට එල්ල වූ 40 දෙනෙක්ට මරු කැඳවූ ප‍්‍රහාරයෙන් පසුව සිදු වූ දරුණුතම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය මෙය වශයෙන් සැලකේ.

2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසුව, අමෙරිකාවේ නායකත්වයෙන් කි‍්‍රයාත්මක කළ “ත‍්‍රස්ත විරෝධී සටනට” සහභාගි වීමට රජය ගත් තීරණයට විරුද්ධව පාකිස්තානය පුරා එල්ල වූ අන්තවාදී ප‍්‍රහාර නිසා ඉකුත් 19 මාසයේදී පුද්ගලයන් 1,500 ක් පමණ මිය ගොස් තිබේ.

න්‍යෂ්ටික බලවතෙක් වන ඉස්ලාමීය ජනරජයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය නිසා, එරට ස්ථායිතාව සම්බන්ධයෙන් අන්තර් ජාතිකයේ සැක මතු වී තිබේ.

මේ බෝම්බ ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් බාරගෙන නොමැති වුවත්, මේ සම්බන්ධයෙන් පොලීසිය ඇඟිල්ල දිගු කර ඇත්තේ බෙදුම්වාදී අන්තවාදීන්ටය.

මේ ප‍්‍රහාරයෙන් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අය විශේෂ ප‍්‍රතිකාර සඳහා මුල්ටාන් රෝහලට යවා ඇතැයි වාර්තා වේ.

මේ ප‍්‍රහාරය නිසා මුස්ලිම් පල්ලියට මෙන්ම ඒ අවට ඇති පූජනීය ස්ථාන කිහිපයකටම දැඩි හානි සිදු වී තිබේ. තම පූජනීය නායක ඉමාම් හුසේන් සිහිකරමින් ෂයිටි හිතවාදීන් පවත්වන දින 40 ශෝක කාලයේ අවසන් අදියර දැන් එළඹ තිබේ.

මිලියන 160 පමණ වන පාකිස්තාන් ජනගහනයෙන් 20% පමණ ෂයිටිවරුන්ය. 1980 සිට හටගත් බෙදුම්වාදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිසා පුද්ගලයන් 4,000ක් පමණ දැනට මිය ගොස් තිබේ.

මේ ප‍්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ඇඳ සිටි කබායේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 26 – 31 පමණ තිබෙන්නට ඇතැයි වාර්තා වේ.

මෙයට අමතරව ඈත ගෝති‍්‍රක ප‍්‍රදේශයක ඇෆ්ගන් දේශ සීමාව අසල සිදුවූ තවත් බෝම්බ ප‍්‍රහාරයකින් යුධ භටයන් හත්දෙනෙක් තුවාල ලබා තිබේ.

මේ ප‍්‍රදේශවල තලෙයිබාන් සහ අල් කයිඩා ත‍්‍රස්තයන්ට එරෙහිව මීට දෙමසකට පමණ පෙර පාකිස්තාන් රජය විසින් හමුදා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා