සුළි සුළඟින් හානියට පත් නිවාස සඳහා ‘ඇස්බැස්ටෝස්’ සෙවිලි තහඩු ලබා දෙනවා

සුළි සුළඟින් හානියට පත් නිවාස සඳහා
‘ඇස්බැස්ටෝස්’ සෙවිලි තහඩු ලබා දෙනවා

- නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු

මන්තී‍්‍රවරු ඉදිරිපත්කරන ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන බවට මා පොරොන්දු වුණත් අදාළ අංශවලින් පිළිතුරු නොලැබීම නිසා එය ඉටුකිරීමට නොහැකිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මා නාගරික කොමසාරිස්තුමාට දන්වා සිටිනවා මන්තී‍්‍රතුමන්ලා ඉදිරිපත් කරන ප‍්‍රශ්න අදාළ නිලධාරීන්ට යොමුකොට පිළිතුරු ලබාගෙන මාවෙත ඉදිරිපත් කරන්න කියා යනුවෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

මොරටුව මහනගර සභා රැස්වීමේ මුලසුන දරමින් ඒ මහතා එසේ පැවැසීය.

මෙම 2009 වසරේ ජනවාරි මාසයේ සිට චිත‍්‍රපට දර්ශන මැජික් දර්ශන, සර්කස් දර්ශන, සංගීත සන්දර්ශන හා වෙනත් සන්දර්ශන සඳහා වන ප‍්‍රවේශ පත‍්‍රවල වටිනාකමින් 25%ක විනෝද බද්දක් අයකිරීමට තීරණය කැර ඇතැයි ඒ මහතා කීය.

සුරංග අපොන්සු මහතා (එ. ජ. නි. ස) - ලක්ෂපතිය අවට ගම්වාසීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ලක්ෂපතියේ පිහිටි නගර සභා ඉඩමේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකැර, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හා වෘත්තීය මධ්‍යස්ථානයක් ආරම්භකරන ලෙස යෝජනා කරනවා.

නිමල් යසසිරි පීරිස් මහතා (එ. ජ. නි. ස) - නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන ටී. එල්. සී. පීරිස් මහතා නගරසභාවට තේරීපත්වීමෙන් පසු පළමුවෙන්ම සාදන ලද ළිඳ වසාදමලා. මේ ගැන පියවරක් ගන්න.

ඩී. සමන්ත සිල්වා මහතා (එ. ජ. නි. ස) - මොරටුවැල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ විදුලිය හා ජලය පිළිබඳ ගැටලු මතුවෙලා. මෙයට නිසියාකාරව ජලය ලැබෙන්නේ නැහැ. මේ නිසා ගැබිනි මවුවරුන්ටත් අපහසුතා රාශියක් මතුවෙනවා.

බී. කේ. අතුල පීරිස් මහතා (එ. ජා. ප) - සභාවට අයත් උයන හතරවන පටුමගේ පිහිටි පොදු වැසිකිළිය පවුල් පහළොවක් පමණ පාවිච්චි කරනවා. මේ නිසා වැසිකිළි උතුරා යෑමෙන් ඔවුන් මහත් අපහසුතාවකට මුහුණපානවා. එබැවින් මේ වැසිකිළි වළ ශුද්ධ පවිත‍්‍ර කැර දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඇලෙක්ෂි රංජන් කුරේ මහතා (ජ. වි. පෙ) - පිළිස්සුණු බල්බ් වෙනුවට අලුතින් බල්බ් සවිකරන්න කීවාම විදුලි අංශයෙන් ලැබෙන පිළිතුර තමයි ‘බල්බ් නැහැ’ කියන එක. මර්කරි බල්බ් 600ක් පමණ අඩු බවක් කියනවා. ලෙකෝ සමාගමෙන් වීදි පහන් පද්ධතිය නඩත්තු කිරීම සඳහා ලක්ෂ තිස් පහක්ම ලබාදී තිබෙනවා. එයින් ඉතිරිවී ඇති මුදල්වලින් විදුලි පහන් ගත හැකියි.

ඔසද අබේකෝන් මහතා (එ. ජ. නි. ස) - මීට වසරකට ප‍්‍රථම ලුතිනන් කර්නල් හර්ෂ තාරක දිසානායක මහතා මියගියා. ඔහුගේ නමින් පාරක් නම් කරන ලෙස ප‍්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් ද තිබුණා. මේ වන තෙක් කිසිම කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ.

ගාවින් මත්තෙස් මහතා (එ. ජා. ප) - රාවතාවත්තේ ටෙල්බට් සිල්වා මාවත, කැනන් ඩී. වී. ජේ. පීරිස් මාවත. සොයිසා පාරේ වික‍්‍රමසිංහ ආරච්චි මාවත. ශාලංකාපුර පාරවල්වලට නාමපුවරු නැහැ.

ඒ වගේම පොල් කොටුව පාරේ තුන්වැනි පටුමග, දියත පෙදෙස චමින්ද ප‍්‍රශාද් වික‍්‍රමරත්න මාවත්වල මාර්ග දැන්වීම් පුවරු අතුරු දහන්වෙලා. මේ ගැන සොයා බලන්න.

සුජිත් පුෂ්පකුමාර මහතා (එ. ජ. නි. ස) – කටුබැද්ද දන්දෙණියවත්ත දකුණුපැත්තේ ඇති බැටරිවත්ත මැදින් මාර්ගයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කළා. මෙතෙක් ඒ පිළිබඳ කිසිවක් කි‍්‍රයාත්මක වෙලා නැහැ.

නියෝජ්‍ය නගරාධිපති මොමස් විජේරත්න මහතා (එ. ජ. නි. ස) - ඉතා කෙටි කාලයකදී විසඳන්න පුළුවන් දේවල් පවා විසැඳීම කල්ගත වෙනවා.

මේ නිසා කළයුත්තේ ඉක්මනින් විසැඳියහැකි ප‍්‍රශ්න මුලට ගෙන ඒවා අවසන් කිරීමයි. මෙහිදී දේශපාලනඥයින් වන අප හා නිලධාරීන් එක්ව සුහදව කටයුතු කළ යුතුයි.

කුලරත්න පීරිස් මහතා (එ. ජා. ප) - අඟුලාන මුහුදුබඩ පාරේ විශාල ඉඩමක් කොටස් කර විකුණා බොහෝ කලක් වෙනවා. එහෙත් ඉඩම් ගත්තු අයට ගෙයක් හදාගන්නවත් බැංකු ණයක් ගන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා. හේතුව ඒ අයගේ බිම් කට්ටි සැලැසුම් තවම අනුමතකැරදී නැහැ. මෙහෙම වුනාම වෙන්නේ අනවසර ඉදිකිරීම්වලට පෙළෙඹීමයි. මේ අයගේ ප‍්‍රශ්නය විසදා ඔවුන්ට සහනයක් ගෙනදීමට පියවර ගන්න.

ශාන්ත කුමාර ෆොන්සේකා මහතා (එ. ජා. ප) - සොයිසාපුර ජනතාව ඉදිරිපත්කැර ඇති පෙත්සමක් මා සභාගත කරනවා. එහි සඳහන්වන්නේ කුණු කසළ ඉවත් නොකිරීමේ ප‍්‍රශ්නයක් පිළිබඳවයි. ඒ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලනවා.

ප‍්‍රදීප් ශි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා (එ. ජ. නි. ස) - දුමින්ගෝද මැල් මාවත නගරසභාවට පවරා ගන්න කියා එහි ජනතාවගේ ඉල්ලීමක් මා මහ සභාවට ඉදිරිපත් කළා. ඒ පිළිබඳ කිසිදු කි‍්‍රයාමාර්ගයක් මේ දක්වා අරගෙන නැහැ.

රොහාන් දිමුතු කුමාර ප‍්‍රනාන්දු මහතා (එ. ජ. නි. ස) - සමහර ප‍්‍රශ්න ඉදිරිපත් කළාම තවත් ප‍්‍රශ්න ඇතිවෙනවා.

සමහර ඉඩම් ගැන යෝජනා ඉදිරිපත් කළාම ඒ ඉඩම පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික සංවර්ධන අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව ආදී ආයතනවලටත් සම්බන්ධතා පවතිනවා.

එවිට මේ සභාවට තනි තීන්දුවකට එන්නට බැහැ.

නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා (එ. ජ. නි. ස) - මොරටුව ප‍්‍රදේශයේ ඇතිවූ සුළි සුළඟින් ව්‍යසනයට ලක්වූ කඩලාන මොරටුමුල්ල නැඟෙනහිර, බටහිර ඉඳිබැද්ද, විල්ලෝරාවත්ත යන ප‍්‍රදේශවල ගෙවල්වලට ඇස්බැස්ටෝ සෙවිලි තහඩු ලබාදීමට පියවර ගන්නවා.

කේ. ඩී. නිශාන්ත ප‍්‍රදිනාන්දු මහතා (ජ. වි. පෙ) – ලක්‍ෂ තුනකට වඩා වැඩි වංචාවක් සිදුවී තිබෙනවා. වරිපනම් වංචාව අසුවෙයි. දඬුවම් ලබා දෙයි. ආයතනයට මුදල් ලබාදෙයි කියා බලා සිටියා.

ඒ පැමිණිල්ල විභාගවූ නිසයි අපි තීරණය එනකම් සිටියේ, එහෙත් දැන් දැනගන්නට තියෙනවා සමථයකට පත්වුණ බවක්. මොකක්ද මේවායේ තේරුම.

රවිනාත් ගුණසේකර (එ. ජා. ප), තිලකසිරි ප‍්‍රනාන්දු (එ. ජ. නි. ස), අජිත් චන්ද්‍රසෝම (එ. ජ. නි. ස), ධම්මික ප‍්‍රනාන්දු (එ. ජා. ප), පි‍්‍රයනාත් මෙන්ඩිස් (එ. ජ. නි. ස), ලක්මාල් කුමාර (එ. ජ. නි. ස), සජිත් දුමින්ද පීරිස් (හෙ. උ), සුනිල් නන්දසිරි (එ. ජා. ප), දිලිප් තෙන්නකෝන් (එ. ජ. නි. ස), තුමින්ද අනූෂ කුමාර (ජ. වි. පෙ), චන්ද්‍ර ගාමිණී පීරිස් (එ. ජා. ප), මනෝජ් මෙන්ඩිස් (එ. ජා. ප) මහත්වරු සහ සජීවනි පීරිස් (ස්වාධීන) මහත්මිය ද අදහස් දැක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා