රනිල් නායකත්වයේ සිටින තුරු ප‍්‍රාදේශීය සභාවක්වත් දිනන්න බැහැ

රනිල් නායකත්වයේ සිටින තුරු ප‍්‍රාදේශීය සභාවක්වත් දිනන්න බැහැ

මහින්ද රත්නතිලක
පේෂ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය

දිරි පළාත් සභා මැතිවරණය, වත්මන් දේශපාලන තත්ත්වය හා දැනට දේශපාලන ක්ෂේත‍්‍රයේ පැතිර යන ඇතැම් කටකතා පිළිබඳ පේෂ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය මහින්ද රත්නතිලක මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

  • එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්තී‍්‍රවරුන් යළි පක්ෂයට එක්කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා එම මන්තී‍්‍රවරුන් අතරේ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ වගේම රාතී‍්‍ර කාලවලදී රහසිගත හමුවීම් සිදුවන බවටත් දේශපාලන ක්ෂේත‍්‍රයේ රාවයක් පවතිනවා.

ඔය රාවයන් ප‍්‍රචාරය කරන්නේත් එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුවට එක්වුණේ රට ත‍්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා සහාය ලබාදීමට.

රට, ජාතිය ගැන සිතන පිරිස් ආණ්ඩුවට එක්වීම පුදුමයක් නොවෙයි. ඔය ආපු කණ්ඩායමෙන් මේ වනවිට වඩාත්ම සතුටට පත්ව සිටින පුද්ගලයා මමයි. ඒකට විශේෂ හේතුවක් තිබෙනවා.

2007 අය-වැය පරාජය කිරීම සඳහා දේශීයවත් ජාත්‍යන්තරවත් කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වුණා. කොටි සංවිධානය, අපේ සමහර දේශපාලන පක්ෂ හා නායකයනුත් මීට හවුල් වුණා.

ඒ කුමන්ත‍්‍රණය අනුව රජය පෙරළුණා නම් මේ වනවිට කිසිදු හමුදා ජයග‍්‍රහණයක් ලබාගන්න පුළුවන් වෙන්නේ නැහැ.

සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිතුමා හිටියත් මානුෂික මෙහෙයුම් සඳහා මුදල් වියදම් කරන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත වන අයවැයෙන්.

බැරිවෙලාවත් එදා අය-වැය පරාජයට පත්වූවානම් අද මෙහෙම හමුදා ජයග‍්‍රහණ ගැන කතාකරන්න වෙන්නේ නැහැ.

එදා ආණ්ඩුව පරාජය කරලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවාගෙන මට හොඳ ඇමැතිකමක් ලබාගන්න පුළුවන්කම තිබුණා.

එදා රට වෙනුවෙන් මං ඓතිහාසික තීන්දුවක් ගත්තේ කෙළින්ම ජනාධිපතිතුමාට කතාකරලා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන්න කැමැතියි කියලයි.

මං කිසිම තැරැව්කරුවෙක් නොමැතිවයි ආණ්ඩුවට සහාය ලබාදීමට එක්වුණේ. එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි සියලු දෙනාම ජනාධිපතිතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිවයි පැමිණුනේ.

මේ රට ත‍්‍රස්තවාදයෙන් මුළුමනින්ම බේරාගෙන රට සංවර්ධනය කිරීම සඳහා සිටින එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව මුළු රටම පිළිගන්නවා.

ඒක නිසා ආණ්ඩුවට පැමිණි කිසිවෙකුට යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට වුවමනාවක් නැහැ. ඒ සඳහා කිසිදු ප‍්‍රතිපත්තිමය හේතුවකුත් නැහැ.

  • එසේ නම් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ කරූ ජයසූරිය මහතා යළි එක්සත් ජාතික පක්ෂයට එකතුවුණේ ඇයි?

කරූ ජයසූරිය මහතා ආපසු ගියේ ජනාධිපතිතුමා ගැනවත් ආණ්ඩුව ගැනවත් කළකිරිලා නොවෙයි. ගාමිණි අතුකෝරාල මහත්තයා ඉන්න කාලෙදිත් ඔහුත් සමඟ එකතුවෙලා රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව යම් යම් කි‍්‍රයාමාර්ග ගැනීමට කරූ ජයසූරිය මහතා කි‍්‍රයා කළ බව රහසක් නොවෙයි.

ඒ බොහෝ අවස්ථාවලදී රනිල් වික‍්‍රමසිංහ මහතා බේරා ගැනීමට කි‍්‍රයා කෙළේ මමයි. මෙවර කරූ ජයසූරිය මහතා ආණ්ඩුවට එකතුවුණේ බැරිම තැනයි.

ඔහු දැනගෙන සිටියා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා මේ කපේදී හරියන්නේ නැති බව. යළි ඔහු එක්සත් ජාතික පක්ෂයට යෑමටත් හේතුවක් තියෙනවා. ඒක කවුරුවත් හරියට දන්නේ නැහැ.

කරූ ජයසූරිය මහතා අසනීප වී රෝහල්ගත ව සිටින අවස්ථාවකදී රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණියා කරූ ජයසූරිය මහතා හමුවීමට. තමාගේ අතින් සිදුවූ වැරැදිවලට සමාව දෙන ලෙස වික‍්‍රමසිංහ මහතා මෙහිදී ඉල්ලීමක් කළා.

රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ඉල්ලා සිටියේ නැවත පැමිණ පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර බාරගන්නා ලෙසයි. එම වේලාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ යම් සැලැස්මක් කි‍්‍රයාත්මක වුණා.

එස්. බී. දිසානායක, සජිත් පේ‍්‍රමදාස, වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් නායකත්වය සඳහාත් පක්ෂයේ ඉහළම තනතුරු සඳහාත් යෝජනා වී තිබුණා.

මේ තනතුරු ලබා දුන්නා නම් තමන්ගේ නායකත්වය ඉතා ඉක්මනින් නැතිවෙන බව රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතා හොඳින් දැනගෙන හිටියා.

ඒක නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා කල්පනා කළා නියෝජ්‍ය නායකයකු පත් කළහොත් මේ අර්බුද තාවකාලිකව හෝ යටපත් කිරීමට පුළුවන් බව.

අවසානයේදී වැඳලා හරි කමක් නැහැ කරූ ජයසූරිය මහතා පක්ෂයට යළි එක්කර ගන්න ඕන කියලා රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කරන්න ඇති.

  • යුද්ධය ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුවට හැකිවූවත් රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුවට නිසි සැලැස්මක් නැති බව කරූ ජයසූරිය මහතා ප‍්‍රකාශ කර තිබුණා?

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුවන් නායකයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයයි කියලා කරූ ජයසූරිය මහත්තයා පුවත්පතකට ප‍්‍රකාශ කරලා තිබුණා මං දැක්කා.

එහෙනම් එහෙම නායකයෙක් දාලා එදා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන්න ඉදිරිපත් වුණේ ඇයි කියලා කරු ජයසූරිය මහත්තයාගෙන් මං අහන්න කැමැතියි.

ලෝකයේම ආර්ථිකය ගැන දන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියලනේ සමහරුන් කියන්නේ. නමුත් ඔහු රට පාලනය කරපු අවුරුදු දෙකේදී ආර්ථිකයේ ප‍්‍රගතියක් ඇඟට දැනෙන ආකාරයෙන් සිදුවුණේ නැහැ.

නව රැකියා අවස්ථා ලැබුණෙත් නැහැ. යුද්ධයක් කළෙත් නැහැ. නමුත් වත්මන් ආණ්ඩුව දැවැන්ත යුද්ධයක් කරමින් ත‍්‍රස්තවාදයත් පරාජයට පත් කරමින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිත් සිදුකරමිනුයි ඉන්නේ.

මේ එන සිංහල, හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ ඒකීය ශ‍්‍රී ලංකාවක් යටතේ. එවිට සියලුදෙනාම ඉන්නේ කිසිදු ත‍්‍රස්තවාදී භීතියකින් තොරවයි.

කරූ ජයසූරිය මහත්තයටත් එතකොට දැකගන්න පුළුවන් වෙයි ජනතාව විඳින නිදහස. යුද්ධයට යන වියදම අඩුවුණාට පසුව මේ රට තවදුරටත් සංවර්ධනය කිරීමේ කි‍්‍රයාමාර්ග වැඩිකිරීමට ජනාධිපතිතුමාට පුළුවන් වෙනවා.

  • ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන් පරාජයට පත්වෙයි කියලා ආණ්ඩුව බියවී තිබෙන නිසා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වැඩිකර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා නිදි කිරා වැටි වැටි ඉන්නකොට නොයෙකුත් දවල් හීන පේනවා. ඒවගේ දවල් හීනයක් පෙනිලා වෙන්නැති ඔය වගේ කතාවක් කියන්නේ.

පළාත් සභා දෙක ගැන කියන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම ආණ්ඩුව වාර්තාගත ජයග‍්‍රහණයක් ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය දැනටමත් ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත්වෙලා.

ඇඟට දැනෙන ඡන්ද ව්‍යාපාරයක නිරතවෙන්න එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට නොහැකි වී තිබෙනවා. නුවරඑළිය පැත්තේ ජනතාවගේ තියෙන උනන්දුව බලන්න.

ජනාධිපතිතුමා සහභාගිවන රැස්වීම්වලට වතුකරයේ ජනතාවගේ තියෙන්නේ විශාල උනන්දුවක්. වතුකරයට විශාල වැඩකොටසක් කරලා තියෙන්නේ ජනාධිපතිතුමයි. ඒක නිසා තොණ්ඩමන් හා චන්ද්‍රසේකරන් යන දෙදෙනාගේම සහාය හිමිවෙලා තියෙන්නෙත් වත්මන් ආණ්ඩුවටයි.

කොටි ත‍්‍රස්තවාදයෙන් මුළු රටක්ම දුක් වින්ද යුගය අවසන් කළ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණ සියල්ලේදීම වාර්තාගත ජයග‍්‍රහණයක් ලබන එක වළක්වන්න කිසිම ජගතෙකුට බැහැ.

ජනතාව පටි තදකරගෙන ඉවසගෙන හිටියේ මේ උත්තරීතර ජයග‍්‍රහණ ලැබෙනතුරු. එවැනි කැපවීම් කළ ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙන්නත් ආණ්ඩුව කි‍්‍රයා කරනවා.

  • සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණයක් මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා පළාත්බද දේශපාලනඥයන්. එසේ තිබියදී ජනාධිපතිතුමා ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම තුළින් පෙන්නුම් කරන්නේ මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගන්නා බවද?

ආණ්ඩුවට කිසිම අභියෝගයක් නැහැ. නමුත් ඕනෑම මැතිවරණ ව්‍යාපාරයකදී පක්ෂයේ නායකත්වය ගත යුත්තේ නායකයායි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා හැටියට ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය ලබාදෙනවා.

නියම නායකත්වය කියන්නේ ඒකටයි. ඕනෑම මැතිවරණයක් පොඩියට හිතන්න බැහැ. ඕනෑම මැතිවරණයකට තම උපරිම ශක්තිය යෙදවිය යුතුයි. සන්ධානයේ ශක්තිය දැකලා රනිල් වික‍්‍රමසිංහ මහතා තම මැතිවරණ සටන අත්හැරියාට අපට කරන්න දෙයක් නැහැ.

නමුත් ජනාධිපතිතුමා නම් එදා ඉඳලම ඕනෑම මැතිවරණයකට නායකත්වය ලබාදෙනවා. එහි කිසිම වරදක් නැහැ. ඒ වගේම එදා ඉඳලා හිටපු නායකයන් බොහෝ දෙනෙක් පළාත් පාලන මැතිවරණවලට වගේම පළාත් සභා මැතිවරණවල ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලටත් නායකත්වය ලබා දී තිබෙනවා.

1991 පළාත් පාලන මැතිවරණය වෙලාවේදී රත්නපුර නගර සභාවට මං තරග කෙළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මට හොඳට මතකයි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මහෙයෙවූයේ එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතායි. රත්නපුර මැතිවරණ රැලියට ඇවිල්ලා පේ‍්‍රමදාස මහත්තයා තරග වදින අපේක්ෂකයන් සියලුදෙනාම වේදිකාවට නැග්ගුවා.

"මේ අපේක්ෂකයන් තරග කළාට රත්නපුර නගර සභාවේ සැලසුම්, ප‍්‍රතිපත්ති හදන්නේ මමයි. මට ලබාදෙන ඡන්දයක් හැටියට මේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන්න" කියලා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා.

රණසිංහ පේ‍්‍රමදාස මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට ප‍්‍රාදේශීය සභා මැතිවරණවලට නායකත්වය ලබාදුන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පළාත් සභා මැතිවරණවලට නායකත්වය නොදෙන්න කිසිම හේතුවක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ එදා හිටපු හැම නායකයෙක් ම කි‍්‍රයාශීලීව සෑම මැතිවරණයකටම මුහුණ දුන්නා. ඒ වගේම නායකත්වය ලබා දුන්නා. නමුත් වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය ලබානොදී මඟහරිනවා.

ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහත්තයට පොදු ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන්නෙත් නැහැ. සමහරක් ප‍්‍රශ්න තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙත් නැහැ. එක් දවසක් රත්නපුර නගර ශාලාවේ රැස්වීමක් තිබුණා.

රනිල් වික‍්‍රමසිංහ මහතා කතා කරන්න කලින් එක් පාක්ෂිකයෙක් නැගිටලා ප‍්‍රකාශයක් කරලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගෙන් ප‍්‍රශ්නයක් විමසුවා.

ඒ අවස්ථාවේදී තරමක් කේන්ති ගිහිල්ලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වේ මොකක්ද දන්නවද?

ආරක්ෂක අංශ නිලධාරින්ට කතා කරලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වා, කණෙන් අල්ලලා මේ පුද්ගලයා එළියට දාන්න කියලා.

එහෙම වෙලා පළාත් සභාවල, ප‍්‍රාදේශීය සභාවල දේශපාලනඥයන්ගේ, ජනතාවගේ ගැටලු විසඳන්න බැහැ. ජනතාවට ඇහුම්කන් දෙන්න ඕන. ඒකට හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.

  • ආණ්ඩුව හැමදාම යුද ජයග‍්‍රහණ පෙන්නලා ජයග‍්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කරනවා.

ඡන්දයක් ගැන හිතලා මේ ආණ්ඩුව කවදාවත් යුද ජයග‍්‍රහණ පෙන්නලා නැහැ. යුද ජයග‍්‍රහණ ලබාගන්නා විට ඒවා රටේ ජනතාවට පෙන්වීම වරදක් නොවෙයි.

රටේ ජනතාවටත් අයිතියක් තියෙනවා යුද ජයග‍්‍රහණ පිළිබඳව සෑම තොරතුරක්ම දැන ගැනීමට. මැතිවරණ පවත්වන්නේ නිසිකලට වේලාවට. එහෙම මැතිවරණ එක් පැත්තකින් පවත්වනකොට අනෙක් පැත්තෙන් යුද ජයග‍්‍රහණ ලබා ගන්නවා.

මැතිවරණ නිසා හමුදා මෙහෙයුම් නතර කරන්න බැහැනේ. අනෙක අපි රජයේ මාධ්‍ය පැත්තකින් තියමු. දැන් බලන්න පෞද්ගලික මාධ්‍යයෙන් අද වැඩිපුරම පෙන්වන්නේ යුද ජයග‍්‍රහණ.

අද ස්වර්ණවාහිනියේ රාතී‍්‍ර ප‍්‍රවෘත්ති මං නැරඹුවා. විනාඩි 30 න් විනාඩි 20 ක්ම ඔවුන් පෙන්නුවේ මුලතිව් යුද ජයග‍්‍රහණ ලබාගත්තු එක.

එහෙම යුද ජයග‍්‍රහණ පෙන්නුවයි කියලා පෞද්ගලික මාධ්‍ය ආණ්ඩුවට ඡන්ද දිනන්න උදවු කරන්නේ නැහැනේ. අවුරුදු 30 ක් තිස්සේ මේ රටට සෑම ප‍්‍රශ්නයක්ම ඇති කිරීමට මුල් වූ ත‍්‍රස්තවාදය අන්ත පරාජයකට පත් කරමින් තිබෙනඅවස්ථාවකදී හැම මාධ්‍යයකම ප‍්‍රධාන මාතෘකාවක් බවට එය පත්වීම කාටවත් යටපත් කරන්න බැහැ. එහෙම යටපත් කළොත් එම මාධ්‍ය ජනතාව විසින්ම ප‍්‍රතික්ෂේප කරාවි.

  • ආණ්ඩුවට මෙතරම් වාසියක් තිබෙනවා නම් ආණ්ඩුව භීෂණය පතුරුවලා මැතිවරණ ජයගන්න හදනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කරන්නේ ඇයි?

භීෂණය පතුරුවන්නේ කවුද කියලා අද මුළු රටම දන්නවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ජීප් රථයක අංකය හොර රහසේම මගේ රථයේ අංකයට සමාන ලෙස සකස් කරලා තියෙද්දී පොලිස් අත්අඩංගුවට ගෙන තියෙනවා. යම් වරදක් කරලා මගේ පිට දාන්නයි රංගේ බණ්ඩාර මහතා සැලසුම් කරලා තියෙන්නේ.

රංගේ බණ්ඩාරලාගේ ඩබල් ගේම්වලින් හෙළිවන්නේ රටේ භීෂණය වපුරන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි. නැත්නම් වාහනවලට හොර අංක තහඩු යොදා ගනීවිද?

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා