දකුණේ හොඳ හිත උතුරට රැගෙන යාම

දකුණේ හොඳ හිත උතුරට රැගෙන යාම

කිළිනොච්චිය යුද උණුසුමින් ගිනියම්ව පවතී. යුද සෙබලුන් අතළොස්සක් වූ සිවිල් වැසියන් හා කොටි ත‍්‍රස්තවාදීන් පමණක් වෙසෙන මේ භූමි ප‍්‍රදේශය සැබවින්ම අවදානම් සහගතය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිලිනොච්චි සංචාරය සුවිශේෂී සිදුවීමක් ලෙස ඉතිහාසයට එකතු වන්නේ මේ පසුබිම මතය. මෙතෙක් කාලයකට රාජ්‍ය නායකයෙකු කිලිනොච්චියට ගිය ප‍්‍රථම අවස්ථාව ලෙසින් මෙය සටහන් වන්නේ ආඩම්බරය මුසු හැඟීමකුත් සමඟ මය.

තම දූ දරුවන්ගෙන් මවුපියන්ගෙන් වෙන්ව මයිල දහස් ගණනක් ඈතින් හිද දේශය බේරා ගැනීමට යුද වැදී සිටින සහෝදර සෙබලුන්ගේ දුක සැප බැලීමට යෑම ජනාධිපතිතුමාගේ අභිප‍්‍රාය විය.

විශේෂයෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ යුද බිමේ හුදෙකලා වූ සෙබළ සමූහයාට ජීව වායුව  පෙවීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වන්නට ඇත. කිලිනොච්චි නගරයට ගොස් යුද හමුදාවේ සෙබළ සෙබළියන් මුණ ගැසී අලුත් අවුරුද්දේ සුබ පණිවිඩය ගෙන ඒමට ජනාධිපතිතුමාට හැකි වුයේ ආදි සිංහල සිරිත්-විරිත් වලට අනුගතව ම ය.

සාමාන්‍යයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලැබීමත් සමඟ ම මුලින්ම හමා එන්නේ කෑම බීම වල අනර්ඝ සුවඳය. ඉනික්බිතිව අති විශේෂ චාරිත‍්‍රයක් ද සිංහලයා නොපිරිහෙළා ඉටු කරයි.

ඒ ස්වකීය ඥාති වර්ගයා හමුවීමට ඔවුනගේ දුක සැප විමසීමට නෑගම් යාමය. අනාදිමත් කාලයක සිට පැවත එන්නා වූ මෙකී චාරිත‍්‍රය යුද සෙබලුන් හට ඉෂ්ට කිරීමට මෙවර ජනාධිපතිතුමා තීරණය කෙළේ ඉතිහාසයට ද එක් වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිලිනොච්චි සංචාරයට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ පොලිස්පතිතුමා සහභාගි වූහ.

කි‍්‍රයාන්විතයේ යෙදී සිටින සෙබලුන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තවත් එක් අවුරුදු දිනක් පමණක් වීමට ඉඩ නොදීම ම ඇති. මේ උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවුම් අවුරුද්දක් විය.

ජනාධිපතිතුමා ඇතුළු පිරිස තමන් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට පැමිණීම කි‍්‍රයාන්විතයේ යෙදී සිටි සෙබලුන්ට පුදුම එලවන දර්ශනයක් විය. මේ සංචාරයේදී ජනාධිපතිතුමා උසස් හමුදා නිලධාරීන් හමු වූවා සේම සාමාන්‍ය යුද සෙබළ සෙබළියන්ද හමුව කතා බහ කිරීමට අමතක කෙළේ නැත. එමෙන්ම ඔවුන් සමඟ එකට එකතුව අවුරුදු කෑම බීම වල රස බැලීමට ද ජනාධිපතිතුමා අමතක නොකෙළේය.

කි‍්‍රයාන්විතයේ යෙදී සිටි යුද හමුදා සෙබලු හමුදාපතිවරයා පමණක් ජනාධිපතිතුමාගේ හදිසි සංචාරයෙන් පුදුමයට පත් වූයේ නැත. මේ සංචාරයෙන් දැඩි විමතියට පත්වූයේ සාමාන්‍ය ජනතාවය. යුද්ධයක් නොපවතින කාල සීමාවකදීවත් කිසිදු ජනාධිපතිවරයෙකු මෙතෙක් කාලයකට කිලිනොච්චියට ගොස් තිබුණේ නැත. අතිශය තීරණාත්මක යුද්ධයක් පවතින අවස්ථාවක ජනාධිපතිතුමා කිලිනොච්චියට යාම සැබවින්ම ඉතිහාසගත කාරණාවකි.

කිලිනොච්චිය වූ කලී එල්. ටී. ටී. ඊ. යේ ප‍්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයව පැවැති ප‍්‍රදේශයයි. ජනාධිපතිතුමාගේ කිලිනොච්චි සංචාරයෙන් ශ‍්‍රී ලාංකිකයනට ලැබුණේ සුබ ප‍්‍රාර්ථනා ගොන්නක් පමණක්ම නොවේ. දෙමළ ජනතාවගේ ජීවිත කෙරෙහි ලබා දිය හැකි සුරක්ෂිතභාවයේ පණිවිඩය ද මේ සමඟම ඔවුනට ලැබුණි. සිංහල වේවා දෙමළ වේවා සියල්ලෝම තමාගේ රටවැසියන් බවත් තම රටවැසියන් ගේ ජීවිත සුරැකීම තම වගකීම බවත් හෙතෙම යළිත් මතක් කෙළේය.

මේ අතරම වසර ගණනාවක් මුළුල්ලේ එල්. ටී. ටී. ඊ. යේ තාඩන පීඩනයනට හසුව අසරණව උන් දෙමළ ජනතාව එල්. ටී. ටී. ඊ. යෙන් ගලවා ගැනීමට යුද හමුදාව සමත් වීමද වඩා වැදගත් ය. ජනාධිපතිතුමාගේ කිලිනොච්චි සංචාරය වූ කලී තම ජීවිතය පුදා රට රැක ගන්නා යුද හමුදා සෙබලුන්ගේ උදාර කර්තව්‍යයට සුබ පැතීමත් දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදීමේ කි‍්‍රයාන්විතයේ අවසාන අදියර සනිටුහන් කිරීමත් යන ද්විත්වයම ලෙස අර්ථකතනය කළ හැකිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්