එක ධජයක් යටතේ රට එක්සේසත් කළ එකම නායකයා

එක ධජයක් යටතේ රට එක්සේසත් කළ එකම නායකයා


ගලගම අත්ථදස්සී
අනු නා හිමි

බෙල්ලන්විල
විමලරතන අනු නා හිමි


ඇල්ලේ
ගුණවංශ හිමි


ඇමැති
ඩග්ලස් දේවානන්ද


ආණ්ඩුකාර
ටිකිරි කොබ්බෑකඩුව

ආචාර්ය
හරිස්චන්ද්‍ර විජේතුංග

මෑතක් වනතුරු ඊනියා ඊළාම් සිහින රාජ්‍යයේ අගනගරය ලෙස සැලකුණු කිලිනොච්චියේ සිදුකැරුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හදිසි සංචාරය දේශපාලන පක්ෂ නායකයන්ගේ හා පූජ්‍ය පක්ෂයේද ප‍්‍රසාදයට ලක්ව තිබේ.

උතුරුකරයේ රජයේ බලාධිකාරත්වය තහවුරු කැරෙමින් හා සාමකාමී අනාගතයක් සඳහා වන දෙමළ සාමාන්‍ය වැසියන්ගේ අපේක්ෂා දල්වමින් සිදුකළ මේ සංචාරය ඓතිහාසික වැදගත් කමකින් යුත් බව ඔවුහු පවසති.

මහියංගණ රජමහා විහාරාධිපති සහ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ගලගම අත්ථදස්සී හිමියන් පැවැසුවේ ජනාධිපතිවරයාගේ කිලිනොච්චි සංචාරය සාමය ළඟාකර ගැනීමට සහ සියලු ජනවාර්ගික කොටස් අතර සමගිය ඇති කිරීමට දිරි දෙන්නක් බවය.

මෑතක් වන තුරු ගැටුම්කාරීත්වයට ගොදුරු වී තිබුණු ප‍්‍රදේශයකට පැමිණ යුද සෙබළුන්ගේ සහ අවතැන් වූවන්ගේ සුබසාධනය ගැන රාජ්‍ය නායකයකු සොයා බැලීම ප‍්‍රශංසනීය කටයුත්තක් බව උන්වහන්සේ කීහ. මෙම සංචාරය සිදුවුණේ සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ බැවින් එය විශේෂ වැදගත්කමක් දරන්නේ යැයි ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ කුලපති බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ ප‍්‍රකාශ කළහ.

මේ සංචාරය මුළු මහත් ජාතියටම අභිමානය ගෙන දෙන්නක් බව ප‍්‍රකාශ කළ උන්වහන්සේ එය මෑතකදී ත‍්‍රස්තවාදය පරාජය කරමින් ලත් යුද ජයග‍්‍රහණයන් කුළුගන්වන්නක් බව කියා සිටියහ.

දැන් අප කළ යුත්තේ මීළඟ පියවර වන මුලතිව්හි කොටුවුණු සාමාන්‍ය වැසියන් මුදා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපැයීම සහ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට පෙළ ගැසීමයැයි උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

මෙහිදී ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ ආරක්ෂක හේතු මත ජනාධිපතිවරයාගේ මේ සංචාරය අනුමත නොකරන නමුදු මේ ඓතිහාසික සංචාරය මෑත කාලයේදී රාජ්‍ය ප‍්‍රධානියකු විසින් සිදුකළ වීරෝදාර කි‍්‍රයාවක් ලෙස පිළිගන්නා බවය. මෙවන් තීරණාත්මක සන්ධිස්ථානයකදී මෙවන් නායකයකු රටට ලැබීම වාසනාවක් යැයිද උන්වහන්සේ කීහ.

ද්‍රවිඩ ජනතාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සානුකම්පිත අවධානයක් යොමු කිරීමට සූදානම් වූ එකම නායකයා ජනාධිපති රාජපක්ෂ යැයි ශී‍්‍ර ඥානානාභිහර කෝවිලේ හින්දු පූජක බාලරවිශංකර ශිවචර්යාර් සාමි පැවැසීය.

ආරක්ෂක තර්ජන පවා නොතකමින් උතුරේ ජනතාවගේ තත්ත්වය සොයා බැලීමට ජනාධිපතිවරයා කිලිනොච්චියට පැමිණීම ගැන ආඩම්බර වන බව පැවැසූ ඔහු සෙබළුන්ට සහ ද්‍රවිඩ ජනතාවට උපහාර පිදීමට ජීවිත අවදානම පවා නොතකා කිලිනොච්චියට පැමිණි පළමුවන රාජ්‍ය නායකයා වශයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතිහාස ගත වන්නේ යැයිද ඔහු පැවැසීය.

මෙම ගැටුම විසඳීමට මීට කලින්ද විවිධ ප‍්‍රයත්නයක් දරන ලද බවත් ඒවා ගැටුම් ප‍්‍රදේශයෙන් ඈත සිදුකළ හුදු දේශපාලන හරඹයන් බවත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ද්‍රවිඩ ජනතාවට ශක්තියක් වනු ඇති බවත් ඔහු පැවැසීය. ඒ සමඟම ද්‍රවිඩ ජනතාවගේ අධ්‍යාපනය සහ ආර්ථිකය නංවාලීමට ජනාධිපතිවරයා හැමදෙයක්ම කරනු ඇතැයි හින්දු පූජකවරයකු සහ ද්‍රවිඩ වැසියකු වශයෙන් තමාට දැඩි විශ්වාසයක් පවතින බව ඔහු පැවැසීය.

සමාජ සේවා සහ සමාජ සුබසාධන කටයුතු ඇමැති යාපන දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩග්ලස් දේවානන්දා මහතා කීවේ ජනාධිපතිවරයාගේ මෙම ඓතිහාසික සංචාරය සිදුවූයේ මෙරට ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකදී බවය. රාජ්‍ය ප‍්‍රධානියකු පළමු වරට සිදුකළ මේ ගමනින් ආරක්ෂක සෙබළුන් දිරි ගැන්වෙන අතර මුලතිව්හි කොටු වී සිටින සාමාන්‍ය වැසියන්ද දිරිමත් වනු ඇතැයි ඔහු පැවැසීය.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා කොටි ත‍්‍රස්තවාදීන් සිදුකර ඇති විනාශය නිරීක්ෂණය කිරීම යෝජිත සංවර්ධන වැඩසටහන්වලට උත්තේජනයක් වනු ඇතැයිද ඔහු පැවැසීය.

මෙම සංචාරය ගැන අදහස් දක්වන මධ්‍ය පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කීවේ ප‍්‍රභාකරන් ද්‍රවිඩ ජනතාවගේ විමුක්ති දායකයා ලෙස ප‍්‍රකාශ කළද ඔහු බියගුල්ලෙකුª බව දැන් පෙනී ගොස් ඇති අතර රාජ්‍ය නායකයකුගේ අභීතභාවය පෙන්නුම් කරමින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බවයි.

ජනාධිපතිවරයාගේ මේ සංචාරය අභීත කි‍්‍රයාවක් බව භූමිපුත‍්‍ර පක්ෂයේ නායක හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා කීවේය. එය ශී‍්‍ර ලංකාව තනි නායකයකු යටතේ පවතින ඒකීය රාජ්‍යයක් බව තහවුරු කෙළේ යැයි කීවේය. ඔහු අගමැතිව සිටියදී ඔහුට යාපනයටත් යන්න බැරි වුණා.

අද ජනාධිපති ලෙස ඔහු කිලිනොච්චියටත් ගියා. මින් පිළිබිඹු වන්නේ මුළු රටම එකම නායකත්වයක් සහ ධජයක් යටතේ පවතින බව යැයි ඔහු කීවේය. ද්‍රවිඩ ජනතාව දිගුකාලයක් භූක්ති නොවිඳී නිදහසක් දැන් භූක්ති විඳින අතර තව නොබෝ දිනකින් ඔවුන් වෙනුවෙන් සංවර්ධන කටයුතු අරඹනු ඇතැයි ඔහු කීවේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්