ඉතිහාසය යළිත් වරක් ප‍්‍රති නිර්මාණය වූ වගයි...

ඉතිහාසය යළිත් වරක් ප‍්‍රති නිර්මාණය වූ වගයි...

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තිබුණේ දින කිහිපයක් පමණි. සිංහල අලුත් අවුරුද්ද යනු ශ‍්‍රී ලාංකිකයාගේ පළමු හා ප‍්‍රමුඛ ජාතික උත්සවයයි. එල්.ටී.ටී.ඊ.යේ රුදුරු හස්තයට හසුවූවෝ හැර සෙසු සියල්ලෝම උදාවීමට නියමිත අලුත් අවුරුද්දේ මිහිර විඳිමින් උන්හ.

තැනෙක අවුරුදු උත්සව සංවිධානය වෙයි. තවත් තැනෙක කැවිලි පෙවිලි තැනෙයි. ගේ දොර තීන්ත පිරියම් ගාගෙන අලුත් වෙයි. මේ සියල්ල අතරතුර වන්නියේ යුද උණුසුමකි. දේශය මුදාගැනීමේ අවසාන කි‍්‍රයාන්විතයයි.

හදිසියේම අපූරු ආරංචියකි. සියල්ලෝම විපිලිසර වූහ. ජනාධිපතිතුමා කිලිනොච්චියේ හදිසි සංචාරයකය. කිලිනොච්චියද එතුමා එන තෙක් පෙර මඟ බලා සිටියාක් මෙනි. එල්ටීටීඊයේ ප‍්‍රධාන පරිපාලන ප‍්‍රදේශය ලෙස බොහෝ කාලයක් තිස්සේ පැවැති කිලිනොච්චියට වසර 60 කට පසුව ගිය එකම ජන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.

මෙය ඓතිහාසික අවස්ථාවක් මෙන්ම දෙස් විදෙස් ප‍්‍රජාවගේ විමතියත්, ප‍්‍රශංසාවත් එකවිට ලැබුණු අවස්ථාවකි. කිිලිනොච්චිය දිනා ගැනීම ශ‍්‍රී ලංකා හමුදාවේ සිහිනයක් පමණක් යැයි උදම් ඇනූ ප‍්‍රභාකරන්ට කි‍්‍රයාවෙන්ම පිළිතුරු දීමට ජනාධිපතිතුමාට හැකිවිය. මෙය ඉතිහාසය නැවත ලිවීමක් බඳු විය.

මන්දයත් පෙර රජ දවස රෝහණ දේශයේ රජ කළ නායකයන් ආක‍්‍රමණය කිරීමට පැමිණි සියලු සතුරු බලවේග කඳවුරු බැඳ උන්නේ උතුරේ ය. ජනාධිපතිවරයා විශ්වාස කෙළේ ස්වකීය දේශය බේරා ගැනීමට යුද වදින සෙබලුන් මුණගැසීමට කිලිනොච්චියට යාම තම යුතුකම බවයි. විශේෂයෙන්ම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සහෝදර සෙබලුන් සමඟ සැමරීම ද ජනාධිපතිවරයාගේ අපේක්ෂාව විය. රෝහණ දේශයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසය යළිත් වරක් ප‍්‍රති නිර්මාණය කෙළේය.

මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල මහනායක හිමියන් ජනපති සංචාරයෙන් දෙදිනකට පසුව ප‍්‍රකාශ කෙළේ ජනපති කිලිනොච්චි සංචාරය හුදෙක් උතුරේ යුද සෙබලුන්ගේ සතුට උදෙසා පමණක් නොව උතුරේ ජීවත්වන සියලුම ජනතාව මුණ ගැසීමට ගිය ගමනක් බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිළිනොච්චි සංචාරයෙන් යුද සෙබලුන්ට ලැබුණු අවුරුදු තෑග්ග බොහෝ වටී. රටක නායකයෙකුගෙන් අලුත් අවුරුද්දට තෑගි ලැබීම සුළුකොට තැකිය හැක්කක් නොවේ.

මාධ්‍ය ඔස්සේ මේ අපූර්ව සිදුවීම දුටු සාමාන්‍ය ජනතාව ප‍්‍රීතියෙන් ඇලළී ගියාට කිසිදු සැකයක් නැත.

මේ සංචාරය අතරතුර එල්ටීටීඊය සතුව තිබී යුද හමුදාව අත්පත් කරගත් මහා පරිමාණ යුද උපකරණ තොගයක්ද නිරීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා අමතක කෙළේ නැත.

අවසාන වශයෙන් කිවහොත් ජනාධිපතිවරයාගේ කිළිනොච්චි සංචාරය වූ කලී ප‍්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සුණු විසුණු කිරීමේ පෙරනිමිත්තකි. එමෙන්ම ශ‍්‍රී ලංකාව එක්සේසත් කිරීමේ උදාර අරමුණ සහතික කිරීමටත්, රුදුරු ත‍්‍රස්තවාදයට යළි කිසිදු දිනෙක හිස එසැවීමට ඉඩනොදෙන බවට සපථ වීමකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්