ඒ ඓතිහාසික ගමන මෙසේ සිදුවිය...

ඒ ඓතිහාසික ගමන මෙසේ සිදුවිය...

අහිංසක ද්‍රවිඩ වැසියන්ද බලා සිටිනුයේ රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණීමේ දැඩි චේතනාවෙනි. රජයේ පාලන ප‍්‍රදේශවල තවත් මානුෂික මෙහෙවරක් කි‍්‍රයාත්මක වන්නේ පලාඑන සිවිල් වැසියන් භාරගෙන ඔවුන්ට අවශ්‍ය උවටැන් කිරීම සඳහාය. අලුත් අවුරුද්ද ගෙවීයත්ම ආරක්ෂක අංශ හා රජයෙන් තවත් රහස් සැලැස්මක් කි‍්‍රයාත්මක විය. ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් පමණක් දැන සිටි කිසිදු ජයගත නොහැකි යැයි ප‍්‍රභාකරන් උදම් ඇනූ ප‍්‍රභාකරන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වූ කිලිනොච්චියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්මිත සංචාරයක යෙදීම සැලැසුම් කරමිනි.

නොවැළැක්විය හැකි පරාජයක් හමුවේ සාමාන්‍ය වැසියන්ට මුවාවී දිවි රැක ගැන්මට මාන බලන එල්.ටී.ටී.ඊ.යේ අවසන් බල ඇණිය විනාශ කැර දැමීමට සන්නද්ධ බළකායන් පෙළ ගැසෙද්දී මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවිය.

යුද පෙරමුණුවල සිටින සෙබළුන්ට ඔවුන්ගේ මානුෂීය යුද මෙහෙවර අවසානයක් කරා යොමුව ඇති බව පැහැදිලි වී තිබේ. වෙහෙස නොබලා ඔවුහු එම අපේක්ෂාව ඉටුකර ගැනීමේ චේතනාවෙන් පසුවෙති.

එහෙත් ඔවුන්ගේ විනයගරුක බව හා දැඩි පරිස්සම නිරායුද සිවිල් වැසියන් ඝාතනය වීම හෝ තුවාල ලැබීම වැළැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ.යට සෘජු ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඔවුහු වැළැකී සිටිති.

අහිංසක ද්‍රවිඩ වැසියන්ද බලා සිටිනුයේ රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණීමේ දැඩි චේතනාවෙනි. රජයේ පාලන ප‍්‍රදේශවල තවත් මානුෂික මෙහෙවරක් කි‍්‍රයාත්මක වන්නේ පලාඑන සිවිල් වැසියන් භාරගෙන ඔවුන්ට අවශ්‍ය උවටැන් කිරීම සඳහාය. අලුත් අවුරුද්ද ගෙවීයත්ම ආරක්ෂක අංශ හා රජයෙන් තවත් රහස් සැලැස්මක් කි‍්‍රයාත්මක විය.

ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් පමණක් දැන සිටි කිසිදු ජයගත නොහැකි යැයි ප‍්‍රභාකරන් උදම් ඇනූ ප‍්‍රභාකරන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වූ කිලිනොච්චියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්මිත සංචාරයක යෙදීම සැලැසුම් කරමිනි.

ඒ අනුව අපේ‍්‍රල් 15 වැනිදා කිලිනොච්චිය සංචාරයේ යෙදෙන ජනාධිපති ආරක්ෂක ප‍්‍රධානී බි‍්‍රගේඩියර් ජගත් අල්විස්, ජනාධිපතිතුමාගේ සංචාරය සඳහා අවශ්‍ය පසුබිම තහවුරු කෙළේය. ප‍්‍රදේශයේ ආඥාපතිවරු හමුවී ආරක්ෂිත බව මැනවින් තහවුරු කරගත් ඔහු යළි කොළඹට පැමිණියේ ය. මෙහිදී ආරක්ෂක විධිවිධාන සැලැස්ම සම්පූර්ණයෙන් පැවරී තිබුණේ 57 සේනාංකයට හා එහි සියලු නිලධාරින් වෙතය.

එම ආරක්ෂක විධිවිධානයන් සියල්ල තහවුරු කිරීමට ඔවුන් පියවර ගත්තද අපේ‍්‍රල් 17 දා කිලිනොච්චියට පැමිණෙන්නේ කවුරුන්ද යන වග ඔවුන් කිසිවකු දැන සිටියේ නැත.

කෙසේ වෙතත් එදින උදයේ එකිනෙක හෙලිකොප්ටර් එහි ළඟා වූ අතර පෙ.ව. 9.00 වනවිට පළමු යානය එහි පැමිණ තිබේ. එම හෙලිකොප්ටරයෙන් ගොඩ බටුයේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්නත් ආරක්ෂක අංශයන්හි සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ය.

අපරාජිතයැයි මෙතෙක් සැලකුණු ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.යේ මිනිස් කොටි කඩදාසි කොටි බවට පත් කරමින් මහ ජයග‍්‍රහණ අත්පත් කර ගැනීමට දිවි පරදුවට තබා සටන් කරන වීරෝදාර සෙබළුන් හමුවීමට ජනාධිපතිතුමා කිලිනොච්චියට පැමිණෙන බව මේ සතුරු කිසිවෙකු දැන සිටියේ නැත. මීළඟට පැමිණි හෙලිකොප්ටර් යානයෙන් ගෙන ආවේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි.

එහෙත් මේ කිසිවෙකු කිලිනොච්චිය බලා එන තුන්වන හෙලිකොප්ටරයේ සිටින්නේ කවරකුදැයි හෙළි නොකෙළේය. අවසානයේදී ප‍්‍රභූ හෙලිකොප්ටර් යානය බිමට පහත් කළ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන් ගොඩ බැස්සේය. මෙහිදී 57 හා 58 සේනාංක ආඥාධිපතින් වන මේජර් ජෙනරාල් ජගත් ඩයස් හා බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා ඇතුළු සෙසු නිලධාරීහු ජනාධිපතිතුමා පිළිගත්තහ.

ආසියාවේ නැතහොත් මුළු ලෝකයේම පැරැණිම උත්සවයක් වන සිංහල හින්දු අලුත් අවුරුදුදා තම සේනාධිනායකයා විසින් තමන් අමතක කර නැති බව ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තියත් සමඟ අවබෝධ කරගත් සෙබලු ප‍්‍රීතියෙන් ඉපිල ගයහ. නව අලුත් අවුරුදු උදාවේදී දරුවන් මවුපියන් නෑදෑ හිතවතුන් හමුවීම නව අවුරුද්දේ ජීවයයි.

මේ සම්ප‍්‍රදායයන් 1970 අගභාගය වනතුරු බහුතර ජනතාව විසින් පූජනියත්වයෙන් සලකන ලදී. මේ සම්ප‍්‍රදායන් සුළඟට මුසු කරමින් රට ජාතිවාදී පාලකයන් පිරිසක් බිහිවූයේ 1970 අගභාගයේදීය. කෙසේ වෙතත් සිය සන්නද්ධ බළකා සමඟ එක්ව සිංහල අලුත් අවුරුදු උත්සවය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පොල්තෙල් පහන දල්වත්ම ඔහු ඉතිහාසගත පුද්ගලයකු බවට පත්වූයේය. තවත් අතකින් ඔහුගේ කි‍්‍රයාව සිය රටවැසියන් සහ සෙබළුන් සමඟ ප‍්‍රීතිජනක අවස්ථා භුක්ති විඳි ඉපැරැණි පාලකයන් ගිය මග සිහිකරන්නක් මෙනි.

සිංහල අවුරුද්දේ අප භුක්ති විඳි කැවුම්, කොකිස්, කිරිබත් වැනි රස ආහාර සිය සෙබළ මුළු හා බෙදාහදා ගැන්මට පෙළඹුණු ජනාධිපතිවරයා ඔවුන් බොහෝ දෙනෙකු සමඟ වචනයක් දෙකක් කතා කිරීමට අමතක නොකෙළේය. ජනාධිපතිතුමාගේ ගමනින් සෙබළ මුළු මවිත වූවා සේම ජනාධිපතිවරයාද සෙබළුන්ගේ අලුත් අවුරුදු සූදානමින් මවිත වූයේය.

සාම්ප‍්‍රදායික සිරිතට අනුව ඉවුම් පිහුම් කළ නොහැකි පරිසරයක පවා සෙබළුන්ගේ නිර්මාණාත්මක කුසලතාව ඉදිරිපත් කරමින් කොකිස් බැදීම සඳහා අච්චුව ලෙස මෝටාරයක කොටසක් භාවිත කර තිබීම දැක්මෙන් ජනාධිපතිවරයා මවිතයට පත්විය. රට වෙනුවෙන් මාස කිහිපයක් තිස්සේම දැඩි කැපවීමෙන් යුතු මෙහෙයුමේ යෙදෙන සෙබළ මුළු හා නිලධාරින්ට ජනාධිපතිතුමාගේ කිලිනොච්චි සංචාරය අවුරුදු හැඟීම මැනවින් අත්පත් කර දුන්නේය.

රට වෙනුවෙන් දිවිදුන් ආරක්ෂක අංශවල අයගේ පවුල් හමුවී මීට කලින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළා සේම ජනාධිපතිවරයා යුද සෙබළුන් අමතමින් ඔවුන්ගේ කැපවීම රටට කෙතරම් වැඩදායකද යන්න පැහැදිලි කෙළේය.

මේ රුදුරු වූ ත‍්‍රස්තවාදී කණ්ඩායමෙන් රට මුදාගැන්ම ගැන මුළුමහත් ජනතාවම ආරක්ෂක හමුදාවන්ට කෘතඥතාව පළකරනු ඇතැයි පැවැසූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම කුඩා ළමයින්ට දැන් නිදහසේ බියෙන් තොරව ජීවත්විය හැකි යැයි කියා සිටියේය. මෙහිදී එල්.ටී.ටී.ඊ.යෙන් අල්ලා ගන්නා ලද අවි ආයුධ පමණක් නොව ඔවුන් සතුව තිබූ ගොඩනැගිලි හා කිලිනොච්චියෙන් පලායාමට පෙර විනාශ කරන ලද යටිතල ව්‍යුහයද ජනපති නිරීක්ෂණය කෙළේය.

ඒ සමඟ ත‍්‍රස්ත තර්ජනයෙන් මුළුමනින්ම නිදහස්ව ඇති ඒ – 9 මාර්ගය ඔස්සේ ජනාධිපතිතුමා කෙටි දුරක් ඇවිද ගියේය. මේ ගමන ඔහු සැහැල්ලුවෙන් සැලකුවද ආරක්ෂක අංශ සමස්ත ප‍්‍රදේශයම අධි ආරක්ෂිත කලාපයක් බවට පෙරළමින් සීරුවෙන් සිටිනු දක්නට ලැබිණි. මේ සංචාරයෙන් පසු ජනාධිපතිතුමා ආපසු පැමිණියද සන්නද්ධ බළකායන්හි සියලුදෙනා තුළ ඔහු නොමැකෙන සටහනක් තබා තිබේ.

ප‍්‍රභාකරන්ගේ පස්වෙනි ඊළාම් යුද්ධයට පසුබිම් වූ ඉකුත් 30 වසර තිස්සේ වීරෝදාර සෙබළුන් මුදාගත් කිසිදු නගරයක් හෝ ප‍්‍රදේශයකට කිසිදු රාජ්‍ය නායකයෙකු නොපැමිණ තිබීමේ මතකය ඔහු සනිටුහන් කර තිබේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සෙබළ මුළු බැහැ දැකීමට පැමිණීමෙන් ඔහු ඉතිහාසගත පුද්ගලයකු වූවා පමණක් නොව ජනතා නිදහසට රටේ ඒකීයත්වය හා නිදහසට අභියෝග කරන ඕනෑම පුද්ගලයකු හෝ බලවේගයකට එරෙහිව නැගී සිටීමේ ශක්තියක් ඇති පුද්ගලයකු නමුදු සාමාන්‍ය සෙබළ මුළු හා සාමාන්‍ය ජනතාව සමඟ මුසුවීමට සූදානම් රාජ්‍ය පාලකයකු බව පිළිබිඹු කිරීමෙන් ඔහු රාජ්‍ය පාලනයට නව මානයක් එකතු කෙළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්