සෙනාධිනායකයාගේ හද පිරි ප‍්‍රණාමය

සෙනාධිනායකයාගේ හද පිරි ප‍්‍රණාමය

පසුගියදා කිලිනොච්චියේ හදිසි සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක හමුදාවන් මුණ ගැසුණු අතර ඔවුන්ට සුබ අලුත් අවුරුද්දක් ප‍්‍රාර්ථනා කෙළේය.

එසේම හමුදා සෙබළුන් සමඟ නිදහසේ කතා බස් කළ ජනාධිපතිතුමා අවුරුදු කිරිබත් හා රස කැවිලි වල රස බැලීය.

මවුබිමේ විමුක්තිය වෙනුවෙන් වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ හමුදා සාමාජිකයන්ට ජනාධිපතිතුමා සිය කෘතඥතාව පළ කිරීම ද මෙහි දී සිදු විය.

මෙය ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් කිලිනොච්චි සංචාරයක නිරත වූ පළමු අවස්ථාවයි. එදින පෙ. ව. 10.00 ට පමණ 57 සහ 58 වැනි සේනාංක වල සේනාංකාධිපතිවරු ජනාධිපතිතුමා මුණ ගැසුණහ.

එහිදී ඔවුහු අත්පත් කරගත් ජයග‍්‍රහණ හා යුද මුක්ත කලාපයේ සිවිල් ජනතාව මුදා ගැනීම සඳහා සැලැසුම් කළ මෙහෙයුම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනාධිපතිතුමාට පිළිගැන්වූහ.

ලෝකයේ අංක එකේ ගරිල්ලා හමුදාව ලෙස සලකනු ලැබූ එල්. ටී. ටී. ඊ. යෙන් ආරක්ෂක හමුදාව අත්පත් කර ගත් දැවැන්ත අවි තොග පරීක්ෂා කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහි දී සිදු විය.

තව ද ආණ්ඩුවේ මානුෂීය මෙහෙයුමේ දී මුදාගත් ප‍්‍රදේශවල සංචාරය කළ ජනාධිපතිතුමා එල්. ටී. ටී. ඊ. ය විනාශ කරන ලද ප‍්‍රදේශ ද නිරීක්ෂණය කෙළේය.

තවද මේ සංචාරයේදී ජනාධිපතිතුමා එල්. ටී. ටී. ඊ. යේ මූලස්ථානය ලෙස සලකනු ලැබූ ගොඩනැගිල්ල ද පරීක්ෂා කෙළේය. එමෙන්ම සාම ලේකම් කාර්යාල භූමිය ද පරීක්ෂාවට ලක් කෙළේය.

කිලිනොච්චි සංචාරයේ නිරත වුණු ජනාධිපතිතුමා ආපසු පැමිණෙන අතරතුරේදී අනුරාධපුරයට පැමිණ ශ‍්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය වැද පුදා ගත්තේය.

ජනාධිපතිතුමාගේ මේ සංචාරයට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදා ජ්‍යෙෂ්ඨයන් සහ පොලිස්පතිතුමා ද එකතු වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්