කිලිනොච්චියට පය ගැසූ ප‍්‍රථම රාජ්‍ය නායකයා

කිලිනොච්චියට පය ගැසූ ප‍්‍රථම රාජ්‍ය නායකයා

ඳිවත පමණක් ගතින් දරාගෙන, කුරිරු අවි රැඳි මිනිසුන්ගේ නෙත්මානයෙන් ගැළවී දකුණට ජනගඟක් ගලා එන්නට විය අදටත් නොතිත් ඒ ගඟ ගලා එන්නට මඟපාදා දුන්නේ අපූරු අමුත්තකු කිලිනොච්චියට පය ගැසූ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කළ මොහොතක ය.

අගමැති ඩී.එස්.සේනානායකයන් ගෙන් මතු එදා-මෙදා තුර දශක ගණනාවකට පසු කිලිනොච්චියට පය ගැසූ අභීත රාජ්‍ය නායකයා වූයේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ය.

අවසන් සටනේ අවසන් මොහොතේ බියෙන් සැකෙන් තොරව සේනාධිනායකයා එලෙස ගිය ගමන අභීත රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නංවාලන්නට මහඟු පිටුබලයක් සැපැයී ය.

එය ශී‍්‍ර ලංකාවේ සාමය උදාකරලීමට ගත් කදිම පියවරක් වන්නේ ද යන කරුණු පිළිබඳ අප කළ විමසුමක දී ජනතාව දැක්වූ අදහස් කීපය මෙලෙස දිගහැරේ.

මහරගම ප‍්‍රදේශවාසී හේමලතා මහත්මිය පවසා සිටියේ

“ජනාධිපතිතුමා කිලිනොච්චියට ගිය ගමන ගැන අපි බෙහෙවින් ම සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක එවැනි ගමනක් යෑම ම එම ප‍්‍රදේශවල ජනතාවට විශාල ශක්තියක් වූ බවත් කියන්න ඕන.

ඇත්තටම මට විශ්වාසයි අපේ රටට සාමය උදා වෙන දවස ඉතා ම ළඟයි. ත‍්‍රස්තවාදය පරාජය කරන්න ජනාධිපතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙළ ගැනත් අපි සතුටට පත්වෙනවා”

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන චරුති පවසා සිටියේ,

“යුද්ධය නවතින එකනම් ගොඩක් හොඳ යි. ඒක මේ ජනාධිපතිතුමාගේ කාලයේ දීම අවසන් වෙන්න ඕන. මොකද අපිට අනාගතයට අවශ්‍ය බොහෝ දේ කරන්න හැකිවෙනවා.

රටට යුද්ධයක වියදම් නැති වුණා කියන්නේ ඒක අනෙකුත් ආයෝජන සඳහා යොදවමින් අනාගත සුබ සිද්ධියට යොදවන්න හැකිවන නිසා. යුද්ධයක් පවතින අවස්ථාවක දී රටේ ආර්ථිකය පහළ බැසීම අනිවාර්යයෙන් ම සිදුවන දෙයක්. එහෙත් වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒ සියල්ල ජය ගනිමින් ශී‍්‍ර ලංකාවට සාමය උදාවෙනවා කියන එක අපට විශ්වාසයි.”

එතුමාගේ නායකත්වය යටතේ සාමය සඳහා වන විසැඳුමක් සඳහා වඩාත් ම වැදගත් වන්නේ කුමක් ද යන්න තෝරාබේරාගෙන කටයුතු කරනවා. ඒ වගේ ම ජනතාවගේ සිතුම්-පැතුම් වගේ ම වෙනස්කම් ආදිය හඳුනාගනිමින් අවශ්‍ය දේ ඉටු කිරීමෙින් ශී‍්‍ර ලංකාව ගොඩනැඟීමේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කර තියනවා කියලා කියන්න පුළුවන්.”

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ටෙලි මාර්කටින් විධායක නිලධාරියෙකු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“ශී‍්‍ර ලංකාව කියන්නේ දශක ගණනක් පුරාවට ම යුද්ධයෙන් විනාශ වුණු රටක්. අද වෙනකොට ජනාධිපති ඇතුළු සියලුම රණවිරුවන් එක් වී මේ ප‍්‍රශ්නයට විසැඳුමක් සොයන්න යම් කිසි කි‍්‍රයාමාර්ගයක් අරගෙන තියනවා. එහි වැදගත්කම වෙන්නේ මේක තමයි. අවස්ථාව , මෙතෙක් කල් ගෙන ආ මේ ‘යුද්ධය හොඳටම ඇති’ යන්න ප‍්‍රත්‍යක්ෂ කරගත්තා”

කිසිවෙකුට සිතාගන්නටවත් බැරි අවස්ථාවක ජනාධිපතිතුමා නිර්භයව කිළිනොච්චියේ සංචාරයක නිරතවීම පිළිබඳ මොරටුව පදිංචි අයේෂා අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.

“ශී‍්‍ර ලංකාවට ප‍්‍රශංසනීය නායකත්වයක් ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිහිසුණු ත‍්‍රස්තවාදයේ කුරිරු භාවයට නොබියව මුහුණ දුන්නා. ඒ වගේ ම ශී‍්‍ර ලංකාවේ යුදමය වාතාවරණයට විසැඳුමක් ලබාදීමට පූර්ණ කැපවීමකින් කටයුතු කළා.”

සිංහල සිනමා කර්්මාන්තයේ ප‍්‍රවීණයෙකු වන ජයරත්න මහතාගේ අදහස මෙවැන්නකි,

“අගමැති ඩී.එස්.සේනානායකයන් කිළිනොච්චියේ සංචාරය කළා. එම සංචාරයෙන් අවුරුදු පනහකට පස්සේ තමයි රාජ්‍ය නායකයෙක් හැටියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිළිනොච්චියට ගියේ. මම එය ඉතාම අගය කරනවා. ජාතියේ රණවිරුවන්ගේ ආත්ම විශ්වාසය ගොඩනංවන්න මෙය ඉතාම වැදගත්. අපි මේ රටේ ජනතාව හැටියට අපේ සහයෝගය ඉහළින් ම ලබා දෙනවා.

මට හොඳට ම විශ්වාසයි ශී‍්‍ර ලංකාවට ඉතා ඉක්මනින්ම සාමය ළඟා වෙනවා කියන එක.”

පුණ්‍යායතනයක සේවකයෙකු පවසා සිටියේ,

“මගේ එක ම විශ්වාසය අවතැන් වූ පුද්ගලයන්ගේ ආරක්ෂාවට මෙය ලොකු උදවුවක්. ජනාධිපතිතුමා කිළිනොච්චියේ සංචාරය කිරීමෙන් ඔප්පුවෙන එකම දේ එම ප‍්‍රදේශවල තත්ත්වය අද වනවිට සාමකාමි නිදහස් ප‍්‍රදේශ බව. එහි අනෙක් පසින් කියැවෙන්නේ දකුණේ ප‍්‍රදේශවල ජනතාවගේ සිත්වලත් සාමය ළඟා කරගැනීම පිළිබඳ ධනාත්මක සිතුවිලි ඇතිකරවීමට මෙය සනිටුහනක් වනවා කියන එක.

ජනතාව නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි රටකට ජාතිකත්වය ඇතිකිරීම වඩා වැදගත් වන බව. ඒත් මගේ මතය තමයි ලෝකයා ඉදිරියේ ශී‍්‍ර ලංකාව කටයුතු කෙළේ ත‍්‍රස්තවාදය මුලින් උපුටා දැමීමේ ඓතිහාසික කාර්යභාරයකටයි. බටහිර ජාතීන්ගේ ආර්ථිකය කඩාවැටී තිබෙද්දීත්, ඒ අය අසාර්ථක වෙද්දීත් ශී‍්‍ර ලංකාව රටක් වශයෙන් එල්.ටී.ටී.ඊ. ය සමඟ යුද්ධ කරලා ජයග‍්‍රාහී ලෙස නැඟී සිටියා.” යි රජයේ නිලධාරියෙක් පැවැසී ය.

මෙලෙස අදහස් දැක්වූ බොහෝ දෙනා පැවැසූ අයුරින් ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ ශී‍්‍ර ලංකාවට ඉක්මනින් ම සාමය ළඟා වන බවයි. යුද්ධය ඉතා ඉක්මනින්ම අවසන් විය හැකිය. එනමුදු මිනිසුන්ගේ මානසිකත්වය එතරම් ඉක්මනින් පරිවර්තනය නොවනු ඇත. වෙනස් නොවනු ඇත. සමාජයේ දී සියලුම ජනතාව ජාතිකත්වය හා අනෙකුත් වාද බේද නොසලකා එක් වේ නම් එය අප සැමගේ පැතුම වන්නේ ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්