මාධ්‍ය නිදහසට එන්.ජී.ඕ.තප්පුලෑම

මාධ්‍ය නිදහසට එන්.ජී.ඕ.තප්පුලෑම

කොළඹ මුඩුක්කු පේළියක ඉපැදුණු ගැහැනු දරුවෙක් ඉතා දුක් මහන්සියෙන් උගෙන නීති උපාධිය සමත්වූවා ය. මහජනයා ගේ ගිනි කෑමට වඩා රට සල්ලිවලින් යැපීම මැනැවැ’යි කල්පනා කළ ඈ එන්.ජී.ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධාන පැත්තට බර වූවා ය.අද ඇයගේ භාරකාරත්වය මත එන්.ජී.ඕ ගණනාවක් කි‍්‍රයාත්මක ය. ඇයගේ මුදල් ගනුදෙනුවල හරය – ලවය කිසිවෙක් නො දනිති. ඇය ගේ වත්කම් ප‍්‍රමාණය ද කිසිවෙක් නො දනිති. ඕ දැන් මානව හිමිකම් වෙනුවෙන් ද ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් ද බරපතළ අරගලයක යෙදී සිටින්නී ය.

නරක නැත. බැලූ බැල්මට නරක නැත. එහෙත් මේ මානව හිමිකම් ක‍්‍රියාධාරිනිය යටතේ වැඩ කරන තරුණ පිරිසට ඈ සිය යුතුකම් හා වගකීම් ඉටුකරන්නේ ද ? ඈ කීදෙනකුට අර්ථසාධක ලබා දී තිබේ ද? කී දෙනකු අසාධාරණ ලෙස සේවයෙන් නෙරපා තිබේ ද ? කී දෙනකු සේවයේ ස්ථීර නො කොට රාජකාරියෙහි යොදවා තිබේද ? අප දන්නා පරිදි ඈ ඉතා අමාණුෂික ලෙස තම ස්වාමියා හා ආබාධිත දරුවා අතහැර තම පෙම්වතා සමඟ පැනගිය කාන්තාවකි. ඇය ගේ මානව හිමිකම් පිළිබඳ කතාව එසේ ය.

පෙරේදා විහාරමහා දේවි උද්‍යානය අසල පැවැති ජන මාධ්‍ය නිදහසට අදාළ සත්‍යග‍්‍රහයට මෙබඳු ගැහැනු හා මිනිස්සු බොහෝ දෙනෙක් පැමිණ සිටියෝ ය. කලක් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ රාජ්‍ය බලධරයකු ව සිටි තැනැත්තෙක් ද ඊට සහභාගී විය.

ඔහු රාජ්‍ය ජනමාධ්‍යට අදාළ බලධරයකු ලෙස කටයුතු කරන කාලයේ දේශපාලන කුණු ඇවිස්සීම සඳහා රාජ්‍ය ජන මාධ්‍ය යොදා ගත්තේ ය. දේශපාලන හෙංචයියනට අසාධාරණ ලෙස උසස්වීම් ලබා දුන්නේ ය. අද මේ සියලු දෙනා ආණ්ඩුවට එරෙහිව ජනමාධ්‍ය නිදහස ගැන ද මානව හිමිකම් ගැන ද අරගල කරති.

වෘත්තීය පත‍්‍ර කලාවේදී සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මහතාට පහරදීම අප කිසිසේත් අනුමත කරන්නේ නැත. මෙබඳු අහිංසක පුද්ගලයකුට පහරදීමට ඇති වුවමනාව කුමක්දැ’යි සොයා බැලිය යුතුය. පහරදුන්නේ කවුදැ’යි නිරීක්ෂණය කළ යුතුය. ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් වැඩි විග‍්‍රහයක් කළ නො හැකි ය.

එහෙත් පෝද්දල ජයන්ත මහතා වසර දෙකකට ආසන්න කාලයක් පුරා තමන් සේවය කරන ආයතනයට තම යුතුකම් ඉටුකර නැත. උක්ත කාලයෙහි ඔහු කිසිදු වාර්තාවක් ලියා නැත. කිසිදු විශේෂාංගයක් ලියා නැත. අකුරක් වත් නො ලියූ ඔහු නියමිත වැටුප් හා වෙනත් ප‍්‍රසාද දීමනා කලට - වේලාවට ලබාගෙන ඇත. ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක් ජනමාධ්‍ය නිදහස රකින්නේ ඒ ලෙස ය.

වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ කි‍්‍රයා කාරිත්වය ද එක අතකින් පුදුමාකාර ය. ඔවුහු පත‍්‍රකලාවේදීන් ගේ වෘත්තීය ගැටලු ගැන නිරීක්ෂණය කිරීම නවතා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහාය දක්වති. මෙහි වාසිය ලබාගත්තේ විපක්ෂය යි.

මානව හිමිකම් හා ජනමාධ්‍ය නිදහස ඉතා ලාභයට අලෙවි කළ හැකි භාණ්ඩ දෙකකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දුප්පත්කම, සුළු ජාතීන් ගේ අයිතිය හා සාමය වැනි භාණ්ඩ ද මෙලෙස අලෙවි කරනු ලැබේ. මේවා අලෙවි කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදෙන ප‍්‍රධානීහු පිටරට එන්.ජී.ඕ. වෙතින් ඩොලර් ලබා ගනිති. එය සාර්ථක ව්‍යාපාරයෙකි.

මේ ව්‍යාපාරික ඇත්තනට මුළා වූ අහිංසක තරුණ පිරිසක් ද වෙති. ඔවුන් දන්නා ජන මාධ්‍ය නිදහසක් හෝ මානව හිමිකමක් හෝ නැත. ඔවුන් ගේ තරුණ ජවය නිරපරාදේ කමකට නැති ව්‍යාපාරවලට යෙදැවීම ගැන අපි කනගාටු වෙමු. උද්ඝෝෂණ හා සත්‍යග‍්‍රහ සරසන තරුණ පිරිසට ලැබෙන දෙයක් නැත. ඔවුන් මේ කි‍්‍රයාකාරිත්වය ගැන දන්නා ඉළව්වක් ද නැත. තරුණ ජීවිත අයාලේ යැවීම ගැන ඉහත ව්‍යාපාරික ප‍්‍රජාවට කිසිදු සමාවක් දිය නො හැකි ය. කිසියම් නෛතික රාමුවක් යටතේ ඉහත කී වංචනිකයන් කොටු කර ගත හැකි නම් එය සමාජයට කරන මහඟු සේවයක් වන්නේ ය.

ජනමාධ්‍ය නිදහස යැයි අමුතු දෙයක් ලොව කොතැනකවත් නැත. ජනමාධ්‍ය යනු ව්‍යාපාර වේ. ඔව්හු ප‍්‍රවෘත්ති විකුණති. මතවාද හා ආකල්ප ගොඩ නගති. ඕනෑ ම ජන මාධ්‍ය ආයතනයකට න්‍යාය පත‍්‍රයක් තිබේ. දේශපාලනයක් ද තිබේ. න්‍යාය පත‍්‍රය හා දේශපාලනය තීන්දු වන්නේ ආයතනයේ ප‍්‍රාග්ධන හිමියාගේ අභිමතයට අනුව ය. සංගම්වලට එය නැවැත්විය හැකි ද ? එන්.ජී.ඕ.වලට එය නැවැත්විය හැකි ද? එසේ නම්; ලෝකය කණපිට පෙරැළිය යුතු ය. එබඳු ශක්තිමත් බලවේගයක් ලොව කොතැනකවත් නැත.

මේ රටට ඔරොත්තු නො දෙන තරම් ජනමාධ්‍ය ආයතන ගොන්නක් රට පුරා ව්‍යාප්තව තිබේ. ඒවායින් සිදුවන සේවයට වඩා සිදුවන අගතිය වැඩි ය. එක්තරා විචාරකයකු මේ තත්ත්වය හඳුන්වා දී තිබුණේ ජනසන්නිය යන වචනයෙන් ය. ඒ විග‍්‍රහය හරියටම හරි ය. රට පුරා විසිරී ඇති ජනමාධ්‍ය ආයතන බොහොමයක් විසින් සමාජය ලෙඩ කරනු ලැබේ.

තොවිලයක් නටා දෙහි ගෙඩියක් කපා හෝ ආතුරයන් සුවපත් කළ නො හැකි ය. මෙහි භයානක ප‍්‍රතිඵලය වන්නේ අනාගත පරම්පරාව අක්මුල් නැති ජාතියක් බවට පත්වීම ය. ආණ්ඩුව ජනමාධ්‍ය පාලනයක් ගැන කල්පනා කර නැත. ඒ නිසා රෝගය තවත් උත්සන්න වේ. ජනමාධ්‍ය ආයතනවලට ද, ජනමාධ්‍ය සංගම්වලට ද, එන්.ජී.ඕවලට ද කලහකාරී ලෙස හැසිරෙන්නට ඉඩ තැබීම යහපත් නැත. ඉහත ආයතන වගකීමකින් යුතුව තම කාර්යයෙහි නියුතු වන බවක් පෙනෙන්නට නැත. මේ විනාශය දිගටම සිදු වුවහොත් යන ප‍්‍රශ්නාර්ථය සහිතව අද වැකියට තිත තබමු !

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා