අපේ විදේශ ප‍්‍රතිපත්තිය ලෝකයටම ආදර්ශයක්

අපේ විදේශ ප‍්‍රතිපත්තිය ලෝකයටම ආදර්ශයක්

මහින්ද සමරසිංහ
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති

ගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව ජයගැනීමට අදාළ මෙතෙක් හෙළිනොවූ කරුණු හා ශ‍්‍රී ලංකාව පිළිබඳ වත්මන් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රතිචාර පිළිබඳ ආපදා කළමනාකරණ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

* ඉදිරියේදීත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වීමේ හැකියාවක් තිබෙනවාද?

සාමාන්‍යයෙන් එක්සත් ජාතීන් ගේ විවිධ සම්මේලනය, විශේෂ සැසිවාර පවත්වන විට ඒවාට අදාළ ස්ථාවර නියෝග මාලාවක් තිබෙනවා. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක් සිටිනවා. විශේෂ සම්මේලනයක් සඳහා ඉන් 1/3 ක් ඒ කියන්නේ රටවල් 16 ක් අස්සන් කරලා යෝජනාවක් භාරදුන්නොත් අනිවාර්යෙන්ම විශේෂ සම්මේලනයක් පවත්වන්න වෙනවා.

උදාහරණයක් ලෙස පලස්තීන ප‍්‍රශ්නය සඳහා ජගත් මානව හිමිකම් කවුන්සිලය විශේෂ සැසිවාර 4 ක් මේ වෙනකොට පවත්වලා තියෙනවා. පසුගිය 26 වෙනිදා හා 27 වැනිදා ශ‍්‍රීී ලංකාව සම්බන්ධයෙනුත් විශේෂ සැසිවාරයක් පවත්වන්නට හේතුවුණේ රටවල් 16 ක් අස්සන් කරලා දුන්නු යෝජනාවක් නිසයි.

නමුත් ඉදිරියේදී ජිනීවාවලදී අපේ රට සම්බන්ධයෙන් විශේෂ සැසිවාරයක් ඉල්ලනවා නම් ඒ ඉල්ලන කෙනාගේ මොළේ අමාරුවක් තියෙන්න ඕන. පසුගිය 26 වැනිදා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු යෝජනාව ජයග‍්‍රහණය කළේ ඡන්ද එකකින් දෙකකින් නොවෙයි. අපේ යෝජනාවට පක්ෂව රටවල් 29 ක් ඡන්දය ලබා දෙනකොට විරුද්ධව ලැබුණේ ඡන්ද 12 ක් පමණයි.

වැඩි ඡන්ද 17 කින් අපේ යෝජනාව ජයග‍්‍රහණය කළා. ඒ බටහිර රටවල් සමඟ නිතර නිතර වැඩකරන ජපානය වගේ රටවල් පවා ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ මගිනුත් වාසි හිමිවුණේ අපේ ශ‍්‍රී ලංකාවටයි.

ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ බහුතරයක් රටවල් ඉන්නේ ශ‍්‍රී ලංකාවක් එක්ක බව දැන් හොඳටම පැහැදිලියි. නමුත් සමහර රටවල් අපේ රටට එරෙහිව යම් යම් යෝජනා ගේන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඕනෑම ආකාරයකට මුහුණදීමට අපි සූදානම්.

* ඉදිරියේදී එවැනි තත්ත්වයකට මුහුණදීමට තිබෙන සූදානම කුමක්ද?

අපට සූදානමක් තිබුණු නිසානේ වැඩි ඡන්ද 17 කින් අපේ යෝජනාව ජයග‍්‍රහණය කළේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මානව හිමිකම් අමාත්‍යවරයා විදියට මං වසර 3 ක් තිස්සේ සහභාගි වෙනවා. ඒ රැස්වීම්වලට සහභාගි වෙලා මං නිකම්ම ආවේ නැහැ කියලා දැන් හොඳට පේනවා.

මේ රැස්වීම්වලට සහභාගිවෙලා නිතරම මං කළේ අපේ රට වෙනුවෙන් තවත් මිත‍්‍ර රටවල් එකතු කර ගැනීමයි. වසර එකහමාරක් තිස්සේ මේ යෝජනාව අපට එරෙහිව පරාද වෙන බව දන්න නිසා ගෙනාවේ නැහැ.

නමුත් අවසානයේදී ඔවුන්ගේ රටවල ද්‍රවිඩ ප‍්‍රජාවගෙන් පැමිණි බලපෑම නිසා විශේෂ සැසිවාරයකට යන්න ඔවුන් තීරණය කළා. ඔවුන් හිතුවේ අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවල් ඒගොල්ලන්ට සහාය ලබාදෙයි කියලයි. ඒ රටවල්වලට ගිහිල්ලා මේ බටහිර ප‍්‍රජාව කිව්වා, ශ‍්‍රී ලංකාවට සහාය ලබාදෙන්න එපා කියලා.

එපමණක් නොවෙයි ඔවුන් එම රටවලට ලබාදෙන ආධාර ගැන කියලත් අපට එරෙහිව ඒ රටවලින් සහාය ලබාගන්න දැඩි උත්සාහයක් ගත්තා. ඒ තරම් ඔවුන් බලපෑම් කරලත් අපි ජයගන්නවා. ඒක නිසා ශ‍්‍රී ලංකා රජය ඕනෑම දේකට සූදානමින් ඉන්නේ. අපට බහුතරයක් රටවල සහාය තියෙනවා. ඒක නිසා යෝජනා ආවත් නැතත් ඕනෑම දේකට මුහුණදීමට අපේ රට ඉතා ශක්තිමත්ව සිටිනවා.

* ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට මූලිකම වූ රටක් සංවිධානයක් හෝ පුද්ගලයකු සිටිනවාද?

ස්විස්ටර්ලන්තය, ජර්මනිය, මෙක්සිකෝව, චිලී යන රටවල් හතර තමයි මේ විශේෂ සැසිවාරය අපට එරෙහිව පවත්වන්න දැඩි මහන්සියක් ගත්තේ. මේ රටවල් හතර එළිපිට හිටියට මේ රටවල් පිටුපස හිටියේ බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශයයි. බි‍්‍රතාන්‍ය මේ ගැන කතා කරද්දී අපේ රට විවේචනයකට ලක් කළේ නැහැ. ඒ වගේම ප‍්‍රංශයත් මේ ගැන වචනයක්වත් කථා කළේ නැහැ. නමුත් ඒ රටවල් දෙක අපට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා.

* පසුගිය මැයි 19 වැනිදා කොටි නායක ප‍්‍රභාකරන් ඝාතනය වුණා. ඔහු සමඟ අනිකුත් කොටි ප‍්‍රබලම නායකයින්ද ඝාතනයට ලක්වුණා. කොටි සංවිධානයේ නායකයින් මෙසේ ඝාතනය වුණාම මුළු ලෝකයේම කොටි හිතවාදීන් මානසික කඩාවැටුණු බව රහසක් නොවෙයි. එවැනි තත්ත්වයක් යටතේ මැයි 26 වැනිදා මෙවැනි විශේෂ සැසිවාරයක් පැවැත්වීමට හේතුවුණේ කුමක්ද?

මෙම විශේෂ සැසිවාරය පවත්වන්න සූදානම් වුණේ ප‍්‍රභාකරන් ඝාතනය වෙන්න කලින්. මැයි 14 වැනිදා මෙම සැසිවාරය පවත්වන්නයි මේ රටවල් සැලසුම් කරලා තිබුණේ. ප‍්‍රභාකරන් අල්ලා ගැනීමේ අවසන් මෙහෙයුමට කෙසේ හෝ බලපෑමක් කරලා ප‍්‍රභාකරන් බේරා ගැනීමටයි ඔවුන්ට වුවමනා වෙලා තිබුණේ. නමුත් මැයි 14 ට පෙර අස්සන් 16 ක් ලබාගෙන යෝජනාව ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකිවුණා.

මේ විශේෂ සැසිවාරය ඉල්ලපු රටවල් අකමැති වුණා ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමේ සතුට ශ‍්‍රී ලංකාව විඳිනවට. හරි නම් ඔවුන්ගේ යෝජනාවේ මුලින්ම තියෙන්න ඕන ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ ශ‍්‍රී ලංකාවට සුභ පැතීමයි.

නමුත් එහෙම දෙයක් එම යෝජනාවේ නැහැ. ඒගොල්ලන්ගේ රටවල ද්‍රවිඩ ජනතාවගේ බලපෑම් මේ සඳහා හුඟක් හේතුවුණා.

අනිත් කාරණය තමයි ප‍්‍රභාකරන් මැරිලත් දවස් කිහිපයක්ම යනතුරු ඔහු මියගිය බව පිළිගන්න ඔවුන් කැමැතිවුණේ නැහැ. නමුත් කොටි සංවිධානය තම නායකයා මියගිය බව නිල වශයෙන් පිළිගත්තමයි ඇතැම් රටවල් හා ඒ රටවල සිටින ද්‍රවිඩ ජනතාව ප‍්‍රභාකරන් මියගිය බව පිළිගත්තේ.

සාමාන්‍යයෙන් ජිනීවාවලදී මේ වගේ සැසිවාරවලදී කොටි හිතවාදීන් කිහිපදෙනෙක් එක්රැස්වෙලා උද්ඝෝෂණ කරනවා. නමුත් මෙවර ඔවුන්ට එවැනි උද්ඝෝෂණ පැවැත්වීමට නොහැකි වුණේ ප‍්‍රභාකරන්ගේ මරණයත් සමඟ කොටි හිතවාදීන් නන්නත්තාර වී සිටින නිසයි.

* ඔබ කියන්නේ කොටි හිතවාදීන් දිගටම නිහඬව සිටිමින් කොටි සංවිධානය මුළුමනින්ම අත්හරිවී කියලද?

එහෙමම කියන්න බැහැ. කොටි සංවිධානය වෙනුවෙන් කප්පම් ගනිපු, එකතු කරපු, හොරකම් කරපු අතිවිශාල මුදල් සම්භාරය කාගේ හරි ළඟ තවමත් තියෙනවා. කුමාරන් පද්මනාදන් ළඟ මේ මුදල් ගැන විස්තර තියෙනවා කියලත් කියනවා.

ඒ එක්කම තවත් කිහිපදෙනෙක් ළඟත් මේ ගැන තොරතුරු තියෙනවා කියලත් කියනවා. මේ මුදල් වියදම් කරලා පිටරටක ඉඳලා නැවත කොටි සංවිධානය පණගැන්වීමේ ඉඩකඩක් තියෙන්න පුළුවන්. ඒකට ඉඩ නොදෙන්න අපි හැමවිටකම පියවර ගත යුතුයි.

එම නිසා කොටි සංවිධානයේ පවතින සමස්ථ මූල්‍යමය තත්ත්වයත් ඒ මුදල් කාගේ ළඟද තියෙන්නේ කියාත් සොයා බැලිය යුතුයි. කොටි සංවිධානයේ මෙම ඊළාම් ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගත්තු එකක් නොවෙයි.

ශ‍්‍රී ලංකාවෙන් පසුව කොටි සංවිධානයේ අවසානයක් යොමු වී තිබුණේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මෙම ඊළාම් ව්‍යාපාරය ස්ථාපිත කිරීමටයි. තමිල්නාඩුවේ ඊළමක් පිහිටුවා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් වෙන්විය යුතු බවට මත පළකරන කොටි හිතවාදී පිරිස් තවමත් ලෝකයේ රටවල් කිහිපයක සිටිනවා.

* පසුගිය 26 වැනිදා පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවලියට විශිෂ්ට ජයක් ඇතිවුණා. මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බව දැනගත් මොහොතේ සිට ජයග‍්‍රහණය දක්වා ඔබගේ අත්දැකිම් සැකෙවින් විස්තර කළොත්,

අපට මේ ජයග‍්‍රහණය සඳහා ඉතා හොඳ සැලැස්මක් තිබුණා. මෙවැනි ඡන්ද විමසීමක් තියෙන බව දැනගත් මොහොතේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශාල සහයෝගයක් ලබාදුන්නා. සමහර රටවල රාජ්‍ය නායකයින්ට දුරකථනයෙන් කථා කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ මේ අවස්ථාවේදී ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ ශ‍්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන ලෙසයි.

ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ඒ ඒ රටවලින් ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම මේ වැඩේ සාර්ථක කරගැනීම සඳහා ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතාගෙනුත් හිමිවුණේ විශාල සහයෝගයක්. අපට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇතැම් රටවල් සැලසුම් කරමින් සිටියදී ඔවුන්ට කලින් අපි ඉස්සරවෙලා ශ‍්‍රී ලංකාවට වාසිදායක යෝජනාව අපි ඉදිරිපත් කළා.

මෙතනදී මුලින්ම ඡන්ද විමසීමට භාජනය කළේ අපි ඉදිරිපත් කළ යෝජනාව නිසා එමගිනුත් යම් වාසියක් අපට හිමිවුණා. ඒ වගේම අපට හිතවත් තානාපතිවරුන් සමඟ මේ ජයග‍්‍රහණයට අවශ්‍ය සියලු සාකච්ඡා පවත්වමින් සැලසුම් සකස් කළෙත් ඉතාම රහසිගතවයි.

අවසානයේ දී අපට එරෙහිව යෝජනාවට අස්සන් කළ රටවල් කිහිපයක සහාය ඡන්ද විමසීමේ දී අපට ලබා ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්. යෝජනා දෙකම භාරදෙනකොට දෙපැත්තටම හිටියේ රටවල් 17 බැගින්. අපේ 17, 29 දක්වා වැඩිකරගන්න කොට ඒගොල්ලන්ගේ 17 12 දක්වා අඩුකර ගැනීමට අපට හැකිවුණා. අපට සහාය පළ කරන ලද සියලුම රටවල රාජ්‍ය නායකයන්ට ජනාධිපතිතුමා තමා ගේ අස්සනින් යුක්තව ස්තුති කරලා ලිපි යවලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් දෙයක්. ජනාධිපතිතුමා ගේ මිත‍්‍රශීලි විදේශ ප‍්‍රතිපත්තියට ඒක ඉතා හොඳ සාධකයක්.

* රටවල් 12 ක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරද්දී තවත් රටවල් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා,

වැළකිලා හිටියට එමගින් වාසිය අත්වුණේ ශ‍්‍රී ලංකාවට. ඒක නිසා ඒ රටවල් අපට සහයෝගය දැක්වූවයි කිව්වට කිසිවරදක් නැහැ. එම රටවල් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බවට කිසිදු සැකයක් නැහැ.

ඒ වගේම අපේ රටට එරෙහි වූ රටවල් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරලා අප රට ගැන ඔවුන් ගේ තිබෙන වැරැදි අවබෝධය දුරලන්න කි‍්‍රයා කරනවා. ඒ සඳහා අපේ විදේශ කටයුතු අමාත්‍යංශයටත්, තානාපතිවරුන්ටත් සුවිශේෂී වැඩකොටසක් තියෙනවා. මගේ පැත්තෙන් ලබාදෙන්න පුළුවන් උපරිම සහයෝගයක් ඒ සඳහා ලබාදෙනවා.

රටවල් 12 ක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කළා. මේ රටවල් අතර මීට පෙර ශ‍්‍රී ලංකාවට විශාල වශයෙන් සහයෝගය ලබාදුන්නු ආධාර උපකාර කළ රටවලුත් තියෙනවා. එවැනි රටවල් වත්මන් ආණ්ඩුව විසින් තරහ කරගෙන ඇති බවටයි විපක්ෂය චෝදනා නගන්නේ,

මං හිතන්නේ නැහැ, ඒ රටවල් අපිත් එක්ක තරහයි කියලා. ඒ රටවල් ඒ අවස්ථාවේදී යම් තීරණයක් ගත්තා. ඒක අපේ රටට අවැසි වුණා. එවැනි දෙයක් හැමවිටම වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ රටවල් ඒ වෙලාවේදී ගත්තේ වැරැදි තීරණයක්. නමුත් ඒ වැරැදි තීරණය ජයග‍්‍රහණය කරවන්න ඒ රටවලට බැරිවුණා.

අපේ රටේ ඉතිහාසය ගත්තොත් යම් යම් අවස්ථාවලදී ඡන්දය පාවිච්චි කරපු ආකාරය විරුද්ධ පක්ෂයට අද අමතක වෙලා. උදාහරණයක් විදියට ආර්ජන්ටිනාවේ හා එංගලන්තයේ මල්වීනාස් දූපතේ ප‍්‍රශ්නය වෙලාවෙදී මුළු නොබැඳි සමුළුවෙන්ම ශ‍්‍රී ලංකාව පමණයි බි‍්‍රතාන්‍යයට පක්ෂව එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයේදී ඡන්දය ලබාදුන්නේ.

ඒ සිද්ධියෙන් අපි කොන්වුණා. නමුත් එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කිව්වේ වික්ටෝරියා ජලාශය ඇතුළු වාරි යෝජනා ක‍්‍රම රැසකට බි‍්‍රතාන්‍ය උදව් කරලා තියෙනවා. තවත් උදව් කරන්නයි ඉන්නේ. මේ තත්ත්වය මත බි‍්‍රතාන්‍යයට සහයෝගය ලබාදීමට තීරණය කළ බවයි.

* ජාත්‍යන්තර රටවල සහයෝගය ලබා ගැනීමේදී ඔවුන්ගේ යම් යම්, කොන්දේසිවලට යටත්වෙන්න සිදුවෙනවාද?

එහෙම කිසිම යටත්වීමක් නැහැ. අපි රටේ ස්වාධිපත්‍ය රැකගන්න අපි දැනගන්න ඕන. සමහර අවස්ථාවලදී රටවල් වාසි ලබා ගැනීම සඳහා තීරණාත්මක අවස්ථාවලදී සහයෝගය ලබාදෙන වුවමනාවෙන් කොන්දේසි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා අපේ ස්වාධීනත්වය රැකගෙන සහයෝගය ලබාගන්න හැකියාව තිබෙනවා.

මේ වෙනකොට දරුණුම ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමෙන් අනතුරුව සියලුම ශ‍්‍රී ලාංකිකයින් එක්වී රට සංවර්ධනය කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විදේශ ප‍්‍රතිපත්තියට අතිබහුතරයක් රටවල් සිය ප‍්‍රසාදය පළ කර තිබෙනවා. ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා රට කඩිනම් සංවර්ධනයකට ගෙනයාම මුළු ලෝකයම බලා සිටින්නේ දැඩි අවධානයකින්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා