ජාත්‍යන්තර පොලීසිය ‘කේ.පී’ පස්සේ පන්නයි

ජාත්‍යන්තර පොලීසිය ‘කේ.පී’ පස්සේ පන්නයි

ඇඩෙලා ගැනත් විමර්ශන

යුද හමුදාවට බියෙන් කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් බංකරයෙන් බංකරයට පැන ගියා සේ කොටි සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක යැයි කියාගන්නා කේ.පී. සහ ඇඩෙලා බාලසිංහම් නගරයෙන් නගරයටත් රටින් රටටත්පැන යමින් සිටින බව ජාත්‍යන්තර ඔත්තු සේවා තහවුරු කරගෙන තිබේ.

කේ.පී. හෙවත් පද්මනාදන් සහ ඇඩෙලා බාලසිංහම් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය බුද්ධි අංශ සහ ඔත්තු සේවාවල සහාය ඇතිව දැවැන්ත එහෙත් සූක්ෂම මෙහෙයුමක් සිදුකරගෙන යයි.

ඒ අනුව කේ.පී. රැඳී සිටින බවට සැකකරන ස්ථාන ගණනාවක් බුද්ධි අංශ සහ ජාත්‍යන්තර ඔත්තු සේවාවල පරීක්ෂාවට ලක්වී ඇත. එහෙත් ඔහු එම ස්ථානවලින් පලාගොස් ඇති බව හෙළිවී තිබේ.

ඔහු රැඳී සිටි ස්ථානයෙන් එරට නගර කීපයකට පලා ගොස් තිබිණි. ඉන් පසු එරටින් වෙනත් රටකට පැන යා ගත නොහැකිව බුද්ධි අංශ ඔහු පිටුපස ලුහු බදිමින් සිටියි. සැක කටයුතු දුරකතන අංක රැසක් ද පරීක්ෂණ අංශවල අවධානයට යොමු වී තිබේ.

කොටි සංවිධානයේ හිටපු න්‍යායාචාර්යය ඇන්ටන් බාලසිංහම් ගේ බිරිය ඇඩෙලා බාලසිංහම් ද ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධාන කටයුතු තවදුරටත් කරගෙන යාම පිණිස වෙහෙසෙමින් සිටින බවට බුද්ධි අංශ තහවුරු කරගෙන තිබිණි.

ජාත්‍යන්තර කොටි නියෝජිතයන් විශාල පිරිසක් සමඟ ඇය සම්බන්ධතා පවත්වා තිබේ. ප‍්‍රභාකරන්ගේ දියණිය දුවාරාටද ඇය රැකවරණය දුන් බවට තොරතුරු ලැබී තිබිණි.

කොටි සංවිධානය මෙරට පැවැති කාලයේ ළමා කොටි සොල්දාදුවන්ට සයනයිඩ් කරල පැලඳවීම සිදුකිරීමේ උත්සව ගණනාවක ප‍්‍රධාන අමුත්තිය වශයෙන් ඇය සහභාගී වී ඇත.

කේ .පී ඇඩෙලා සහ විදේශගතව රටවල් ගණනාවක සැඟවී සිටින තවත් කොටි නියෝජිතයන් පිරිසක් එක්ව ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානයේ කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කරති.

ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසි ආරම්භ කළ මෙහෙයුම දැන් පුළුල් ලෙස සිදුකෙරේ.

එහිදී කේ.පී. මෙන්ම ඇඩෙලා බාලසිංහම්ද රැඳී සිටි ස්ථානවලින් පලා ගොස් ඇති බව හෙළිවී ඇත. ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් මෙහෙයුම් නොකඩවා සිදු කිරීමට ජාත්‍යන්තර පොලිසිය කි‍්‍රයා කරගෙන යන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් “දිනමිණ”ට පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා