රනිල්ට එරෙහිව වාරණ නියෝගයක්

නියෝමාල්ගේ පක්ෂ සාමාජිකත්වය:

රනිල්ට එරෙහිව වාරණ නියෝගයක්

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම්දීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව වාරණ නියෝග දෙකක් කොළඹ දිසා අධිකරණය ඊයේ (11) නිකුත් කෙළේය.

රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 91 දෙනකුට එරෙහිව නිකුත් කළ වාරණ නියෝග ලබන 24 දින දක්වා කි‍්‍රයාත්මක බව දන්වා සිටි ප‍්‍රධාන දිසා විනිසුරු සම්පත් විජේරත්න මහතා විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කරමින් ලබන 24 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසද නියෝජග කෙළේය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් මැයි 28 දින නියෝමාල් පෙරේරා ඇමැතිවරයාගෙන් පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකිරීමට හේතු දක්වන ලෙස ඉල්ලා යැව් ලිපියක් පාදක කර ගනිමින් මේ නඩුව පවරා තිබිණි.

නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හලාවත පක්ෂ සංවිධායක ධූරය ලබාගෙන ඇති බවට එජාපයට දැනගන්නට ලැබී ඇති බවත් එසේ ලබාගෙන ඇද්ද ? යන්න පක්ෂයට දන්වන ලෙස දන්වමින් අත්තනායක මහතා එම ලිපිය නිකුත් කර ඇත.

එසේ නිදහසට කරුණු මෙම මස 15 දිනට පෙර නොදක්වන්නේ නම් හලාවත සංවිධායක ධූරය ලබාගත්තා සේ සලකා පක්ෂ ව්‍යවස්ථාවේ 3-4 වගන්තිය අනුව පක්ෂ සාමාජිකත්වය අහෝසි වන බවද ලිපියේ දක්වා ඇත.

තිස්ස අත්තනායක මහතා කිසිදු පරීක්ෂණයක් නොකොට චෝදනාවක් ඉදිරිපත් නොකර පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කිරීම නීති විරෝධී බවත්, ස්වභාවික යුක්ති ධර්මයන්ට පටහැනි බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කෙළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රට ගොඩනැගීමේ ප‍්‍රතිපත්තියට සහාය දක්වමින් එජාප ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමේ කරු ජයසූරිය මහතා සමග එජාප මන්තී‍්‍රවරුන් 16 දෙනෙක් සන්ධාන රජයට සහාය පළ කළ බවත් ඒ අනුව නියෝමාල් මහතාද රජයේ නියෝජ්‍ය ඇමැති ධූරයක් උසුලන බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

එසේ සන්ධාන රජයට එක් වූ අවස්ථාවේ දී එජාප ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම් මන්තී‍්‍රවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිස්ස අත්තනායක මහතා විසින් 2007.7.13 දින ලිපියක් නිකුත් කෙරිණි.

එම ලිපිය අනුව නිදහසට කරුණු විමසීම හෝ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම කොළඹ දිසා අධිකරණය මගින් අතුරු තහනමට ලක් කර ඇති අතර එම නඩුවද දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී.

නීතිඥ අතුලද සිල්වා මගින් නඩුව පවරා තිබූ අතර කරුණු සලකා බැලූ විනිසුරුවරයා මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්තී‍්‍රවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම අගතිදායක බව සඳහන් කෙළේය.

තිස්ස අත්තනායක මහතා නිකුත් කළ ලිපිය අනුව කි‍්‍රයාත්මක වීම හා පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම්දීම වාරණය කළ විනිසුරුවරයා නඩුව ජූනි 24 දින යළි විභාග කරන බව සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා