අද පාර්ලිමේන්තුවෙන්....

 

 

 

 

ආයෝජකයන් දිරි ගැන්වීමට විශේෂ සහන පැකේජ හඳුන්වා දී තිබෙනවා

- ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා

මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා අමාත්‍යංශ අතර සම්බන්ධීකරණ වැඩ පිළිවෙළක් සකස් කොට ඇතැයි ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප‍්‍රකාශ කෙළේය.

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල පනත් කෙටුම්පත සහ වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මේ බව පැවැසීය.

වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (11) උදේ 9.30 ට රැස්විය.

නිවේදන හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු මන්තී‍්‍රවරුන්ගේ වාචික ප‍්‍රශ්න වාරයේදී ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුªරු ලබා දුන්හ.

ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා -  ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය පිහිටුවීමෙන් පසු මෙරටට විශාල වශයෙන් ආයෝජන අවස්ථා උදා වී තිබෙනවා. ආයෝජන මණ්ඩලය පිහිටුවීමේ මූලික අරමුණ වුණෙත් මෙරට ආයෝජන ඉඩ ප‍්‍රස්ථා පුුළුල් කිරීමයි. මීට අමතරව ආයෝජන මණ්ඩලයට තවත් කාර්යයන් රැසක් පැවරෙනවා.

හී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය මගින් 2006 වසරේ සිට මේ දක්වා කර්මාන්ත ශාලා විශාල ප‍්‍රමාණයක් අරඹා තිබෙනවා. රටපුරා සෑම දිස්ති‍්‍රක්කයකටම මේ කර්මාන්ත ශාලා ව්‍යාප්ත වී තිබෙනවා. මේ කර්මාන්ත ශාලාවලට විශේෂිත බදු සහන ලබා දෙමින් අපනයන දිරි ගැන්වීමට අප කටයුතු යොදා තිබෙනවා. නිෂ්පාදනය කරන භාණ්ඩවලින් සියයට 80 කට වැඩියෙන් අපනයනය කරන කර්මාන්ත ශාලාවලට මේ විශේෂිත බදු සහන ලබා දෙනවා. මේ බදු සහන ලබාගෙන ජාත්‍යන්තර වශයෙන් ඉතාම ජනපි‍්‍රයත්වයට පත් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා අපට තිබෙනවා. නොරිටාකෝ පෝසිලෙන් කර්මාන්ත ශාලාව එවැනි එකක්.

මීට අමතරව ඇඟලුම් කර්මාන්තය සඳහා අපි සුවිශේෂී සහන ලබාදෙනවා. අපේ ඇඟලුම් අපනයනයෙන් මෙරටට විශාල විදේශ විනිමය උපයා ගැනීමට අපට හැකි වී තිබෙන්නේ මේ නිසයි.

අපනයන ක්‍ෂේත‍්‍රයේ නියැළී සිටින කර්මාන්තකරුවන්ට රජය සුවිශේෂ සහන පැකේජයක් ලබාදී තිබෙනවා.

ආයෝජන මණ්ඩලය සහ රේගු දෙපාර්තමේන්තුව අතර දුරස්ථභාවය දැන් නැති වී තිබෙනවා. ආයෝජන මණ්ඩලය, රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට මා විශේෂ කමිටුවක් පත් කළා. ආයෝජකයන් දිරි ගන්වා මෙරටට විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයා ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා. මේ සඳහා අමාත්‍යංශ අතර සම්බන්ධීකරණ කටයුතු අරඹා තිබෙනවා.

මෙරට ආයෝජන ඉඩ ප‍්‍රස්ථා පුළුල් කිරීම සඳහා අමාත්‍යංශ රැසක් සමඟ ඉතාම සමීපව ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යංශය කටයුතු කරනවා. අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය අප ඉතා සමීපව කටයුතු කරන එක් අමාත්‍යංශයක්.

2008 වසරේදී රැකියා අවස්ථා 8000 ක් පමණ ආයෝජන මණ්ඩලය මගින් උදාකර තිබෙනවා. කර්මාන්තශාලා 268 ක 178,000 ක පමණ සේවක පිරිසක්දැනට ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ සේවය කරනවා. උතුරු - නැඟෙනහිරට ද අපි විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් හඳුන්වා දී තිබෙනවා.

අපේ රටේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා අපි උපරිම උත්සාහය දරනවා. අධ්‍යාපන අංශයටත් අපි ආයෝජන අවස්ථා උදාකර දී තිබෙනවා. පවතින බාධකත් ඉවත් කැර මේ කටයුතු තව තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. මේ පනත් සංශෝධනයත් ඊට ඉවහල් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රවී කරුණානායක මහතා (එ. ජා. ප.) - විදේශයන්ගෙන් ආනයන කරන ටෙලිනාට්‍ය සඳහා සියයට 10 ක බද්දක් අයකිරීමට කටයුතු කළා. මෙවැනි කි‍්‍රයාවලින් ආදායම් උපදවන්නටද මේ සංශෝධන ගෙන එන්නේ.

ඇමැති අනුර යාපා මහතා - නෑ. ඒක වැරැදියි. ආදායම් ඉපයීමට වඩා අපට අවශ්‍ය වුණේ දේශීය නිෂ්පාදන දිරිගැන්වීමයි. අද එය සිදු වී තිබෙනවා.

රවී කරුණානායක මහතා - ඒක බොහොම හොඳයි. මම කිව්වේ ඒක උදාහරණයක් විතරයි.

නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.

රවී කරුණානායක මහතා - මේ රටට ආයෝජකයන් පැමිණෙන්නේ කිසියම් ඵලදායී කටයුත්තක නියැළීමටයි. ඔවුන්ගේ අරමුණු ඉටු නොවුණහොත් ආපසු යනවා. එය වැළැක්වීමට නොහැකියි. විදේශයන් සමඟ ඇතිකරගෙන තිබෙන වෙළඳ ගිවිසුම් අපේ රටේ යහපතට හරවා ගත යුතුයි. එහෙත් දැනට මේ ගිවිසුම් කි‍්‍රයාත්මක වන්නේ ඒ රටවල යහපතටයි.

කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා - වෘත්තීය ආරක්‍ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතන පනත් කෙටුම්පත ද අද දින ඉදිරිපත් කෙරෙනවා. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂා කිරීම විශේෂ වගකීමක් වශයෙන් අපේ රජය සලකනවා. අද අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රට එක්සේසත් කොට එකම ධජයක් යටතට ගෙනැවිත් තිබෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ලබා ගත් මේ ජයග‍්‍රහණය ගැන සඳහන් කරන්නේ නැත්තේ කුහක මාධ්‍යයන් පමණයි. මහාරාජාගේ මාධ්‍ය ආයතනය ඒ වගේ එකක්. රටට වින කරන මේ මාධ්‍ය ආයතනය ගැන තීරණයක් ගැනීමට නොහැකි වීම ගැන මා කනගාටු වෙනවා.

ඇමැතිවරුන් වශයෙන් අපිට පැවරුණ කාර්යය අප හරියාකාරව ඉටුකළ යුතුයි. දැන් ප‍්‍රභාකරන් මරා දමා මේ රටෙන් ත‍්‍රස්තවාදය අතුගා දමා තිබෙනවා. දැන් අපි වැඩ පටන් ගෙන තිබෙනවා. මේ පනතෙන් සිදුකෙරෙන්නේ සේවකයා සහ ස්වාමියා යන දෙදෙනාම ආරක්‍ෂා කිරීමයි.

වසර තුනක් යන්නට පෙර අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රට නිවහල් රාජ්‍යයක් බවට පත් කළා. දැන් අපි මේ රට ආර්ථික වශයෙන් නිදහස් නිවහල් රටක් බවට පත්කිරීමේ සටන පටන් ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රණවීර පතිරණ මහතා (ජ. වි. පෙ.) - ඉතා වැදගත් පනත් දෙකක් ගැන තමයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. යමක් කරන්න ඕන කියන පරමාර්ථයෙන් මේ පනත් ඉදිරිපත් කළා නම් අපි සතුටු වෙනවා. එහෙත් අපි මේ පනත්වලින් ඔබ්බට ගොස් වැඩ කරන ජනතාව ගැන කතා කළ යුතුයි. වැඩ කරන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලන ආයතනයක් පිහිටුවීම හොඳයි. එහෙත් 80,000 කට අධික සේවක පිරිසක් රැකියාවලින් එළියට ඇද දමා තිබෙනවා. ඇඟිල්ල කැපීම ගැන කතා කිරීමට පෙර බෙල්ල කැපී යෑම ගැන කතා කළ යුතුයි.

ඇමැති අනුර යාපා - 80,000 කගේ රැකියා අහිමි වී ඇති බව කියන්නේ කවර සංඛ්‍යාලේඛනවලින්ද, කොහෙන්ද ඔය තොරතුරු ලබා ගත්තේ. මැෂින් කි‍්‍රයාකරවන්නන් 500 කගේ පුරප්පාඩු තිබෙනවා.

රණවීර පතිරණ මහතා - රැකියා අහිමිවූවන් පිළිබඳ සියලු තොරතුරු අප ළඟ තිබෙනවා. බියගම – කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ සෘජු රැකියා පමණක් නොවේ වක‍්‍ර රැකියා විශාල වශයෙන් අහිමි වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බලන්න ආයතනයක් පිහිටුවන්න.

හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත රණවීර මහතා මූලාසනයට පැමිණියේය.

පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා (ජ. නි. පෙ.) - අපේ රටේ ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වසර ගණනාවක් තිස්සේ අපි උත්සාහයක නිරතව සිටිනවා. තවත් පැත්තකින් අපි විශාල අභියෝග රැසකට මුහුණපා සිටිනවා. ත‍්‍රස්තවාදය සම්බන්ධ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දුන්නා. දැන් අපට ඇත්තේ ආර්ථික අභියෝගයයි. ත‍්‍රස්තවාදය නිමාකිරීම සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කළා සේම ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒමටත් දැන් අපි උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. රවී කරුණානායක මහත්තයලා හැමදාම කියන්නේ බටහිරට ඇඟිල්ලවත් දිගු කරන්න එපා. එහෙම කළොත් මහා අනතුරකට මුහුණපෑමට සිදුවෙනවා කියලයි. ආර්ථික ගැටලුව විසඳීමෙදිත් මේ තර්කය ගෙන එනවා. ඒත් දැන් ඒවා පරණ කතා. අපිට ගැළපෙන අපේම වැඩපිළිවෙළකට අනුව අපි මේ ප‍්‍රශ්නය විසඳ්‍ර ගනිමු.

කම්කරු සබඳතා හා මිනිස්බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා - ග‍්‍රැනයිට් වැනි දෑ ආශි‍්‍රත කර්මාන්තවල සේවය කරන අය ඇතැම් විට රෝගී වෙනවා. අපට නිරෝගී ශක්තිමත් ශ‍්‍රම බළකායක් අවශ්‍යයි. වැඩපොළෙහි දුකක් කරදරයක් නැතිව වැඩ කිරීමටයි මෙවැනි පනතක් ගෙනාවේ.

සමස්ත ලංකාවේ වැඩ කරන ජනතාවගේම ප‍්‍රශ්න විසඳන පනතක් ඉදිරිපත් කරනවා. සමහර තැන්වල සේව්‍යයන් ද හොඳින් හැසිරෙන්නෙ නැහැ. ආරක්‍ෂක හිස් වැසුම් නියමිත වුවත් ඒවා පළඳින්නෙ නැහැ. විවිධ අනතුරු නිසා අවුරුද්දකට වැඩ කරන දින පන්ලක්‍ෂයක් අහිමි වෙනවා. එය රටේ නිෂ්පාදනයට බාධාවක්.

මේ ආයතනයේ කාර්ය මණ්ඩලය 24 ක් ඉන්නවා. ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ද බඳවාගෙන සිටිනවා. වෛද්‍යවරුන් ද බඳවාගෙන තිබෙනවා. දියුණු රටවල සහාය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. සමහර රටවල් නොමිලේ යන්ත‍්‍ර සූත‍්‍ර ලබා දුන්නා. මොරටුව විශ්වවිද්‍යාලය සමඟ ආරම්භ කළ පාඨමාලා මගින් අයිතිකරුවන්, පාලකයන් හා සේවකයන් දැනුවත් කරනවා. ශක්තිමත් ශ‍්‍රම බළකායක් සඳහා කටයුතු කරනවා. ඒඩ්ස් රෝගය ගැන පවා දැනුවත් කිරීමට කටයුතු කරනවා.

රටක සාමය වැඩ කරන ජනතාවට අවශ්‍යයි. ත‍්‍රස්තවාදය නිසා සේවකයෝ කොපමණ මැරුණාද? ජ. වි. පෙ. සහෝදරයන් ඒ කාලෙ පැක්ටරි කීයක් ගිනි තිබ්බාද? බස් කීයක් ගිනි තිබ්බාද? ඒවායින් රස්සා නැතිවුණා.

නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.

සෙනෙවිරත්න මහතා - වැඩ කරන ජනතාව ආරක්‍ෂා කිරීම සඳහාත් මේ ආයතනයේ පාලනය තවත් පුළුල් කිරීමටත් මේ පනත ඉදිරිපත් කරනවා.

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත විය.

වෘත්තීය ආරක්‍ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (12) පෙරවරු 9.30 ට යළි රැස්වේ.
 


යුද්ධය අවසන් වූ පසු ආයෝජන වැඩිවෙලා

- ඇමැති කුමාර වෙල්ගම

ත‍්‍රස්තවාදය නිමකරමින් ලද ජයග‍්‍රහණයෙන් පසු විදේශීය ආයෝජකයන් මෙන්ම දේශීය ආයෝජකයන්ගෙන් ද කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ලැබෙන ඉල්ලුම වැඩිවී ඇතැයි කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර් වෙල්ගම මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදයේ පිළිතුරු කථාවේදී පැවැසීය.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා (ජවිපෙ) සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින්,

කර්මාන්ත රැසක් වැසීයාම නිසා සේවක රැකියා අහිමිවී තිබෙනවා. ලෝක ආර්ථික කඩාවැටීම ගැන සාකච්ඡා කළත් ආණ්ඩුව ඒ ගැන යොමු කළේ අඩු අවධානයක්.

ලෝක ආර්ථික කඩා වැටීමේ විපාකය ජනවාරි මාසයේ සිට දැනෙන්න පටන් ගත්තා. ඇඟලුම් කම්හල් ඇතුළු පෞද්ගලික අංශයේ අසූ දහසක පමණ රැිකියා අහිමි වී තිබෙනවා. මේ පිරිසට තාවකාලිකව හෝ සහනයක් ලැබිය යුතුයි.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දිමුතු බණ්ඩාර අබේකෝන් මහතා මුලසුනට පැමිණියේය.

කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා - ඇඟලුම් කර්මාන්තයේ ප‍්‍රශ්නයක් ගැනයි යෝජනාව. මෙය දීර්ඝකාලීනව සිදුවූ දෙයක්. මේ ප‍්‍රශ්නය බලපාන්නේ සුළු පරිමාණයේ ඇඟලුම් කම්හල් වලටයි. අමෙරිකාවෙන් ලැබුණ කෝටා ක‍්‍රමය නැතිවීම නිසාත් රැකියා අහිමිවුණා. නිදහස් වෙළෙඳ කලාපයේ රැකියා විසිපන්දහසක පමණ පුරප්පාඩු තිබෙනවා. ඇතැමුන් මේ රැකියා පිළිගත හැකි මට්ටමේ නැති බව හිතනවා. එය සමාජ මට්ටමේ ප‍්‍රශ්නයක්. ඈත පළාත්වලින් එන අය කලක් වැඩකරනවා. ටික කලකින් යනවා. කර්මාන්තපුරයට ගැලපෙන පරිදි නේවාසිකාගාර පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. නමුත් අප නේවාසිකාගාර කිහිපයක් පවත්වනවා.

රස්සා තිබෙනවා නමුත් සේවකයෝ නැහැ. මෙසේ කර්මාන්තය පවත්වාගෙන යන අතර ලෝක ආර්ථික අර්බුදය ඇතිවුණා. පරිපාලන දුර්වලකම් නිසාත් කර්මාන්ත වැහෙනවා.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාවේ බැංකු පවා වැහුණා. අපේ බැංකු වැහුනේ නැහැ. මේ කර්මාන්ත කරුවන්ට බැංකු ණය සඳහා යම් සහන දීමට, අර්ථ සාධක ගෙවීමේ ගැටලු සඳහා සහන දීමට සාකච්ඡා කළා. සේවක සේව්‍ය කැමැත්ත මත දින පහේ සතියක් ඇති කිරීමටත් අප අවසර දුන්නා. ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත රැකියා ලැබෙන පරිදි සේවක නාම ලේඛනයෙන් නම් ඉවත් නොකිරීමටත් අප යෝජනා කැර තිබෙනවා.

ලංකා බැංකුව හා මහජන බැංකුව රජය සතුවීම නිසා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගැනීමට හැකිවී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දර්ශනය මත අපට මේ ප‍්‍රශ්නයට මුහුණ දීමට හැකිවුණා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා (ජවිපෙ)- ඇඟලුම් හා ඇඟලුම් නොවන ක්ෂේත‍්‍රවලත් සේවක සේවිකාවන් ඉවත් කැර තිබෙනවා. කර්මාන්ත වැහිලා තිබෙනවා. කම්කරු ඇමැතිවරයාගේ කාර්ය කම්කරුවන් ගැන සොයාබැලීම විය යුතුයි. සමහර ආයතන වසා නොදමා කොටස් වශයෙන් සේවකයන් කප්පාදු කර තිබෙනවා. ලෝක ආර්ථික අර්බුදයක් ඇති බව අප පිළිගන්නවා.

තේ, පොල් සහ රබර් මිලෙහි යම්කිසි වර්ධනයක් තිබුණත් මේවා නිෂ්පාදනය වීම විශාල වශයෙන් අඩු වී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ දිගු කාලීන බිඳවැටීමෙක් තිබෙනවා.

ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති නවීන් දිසානායක මහතා -ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් ප‍්‍රකාශ කරන දත්ත සහ අපේ දත්ත අතර පරස්පර විරෝධතාවක් තිබෙනවා. අපේ දත්තවලට අනුව රැකියා 80,000ක් අහිමි වී නැහැ. කර්මාන්ත ශාලා දෙසීය ගණනක් වැසී ගොස් ඇතැයි කිව්වා. එහෙත් කර්මාන්ත ශාලා 51 ක් වැසී ගොස් ඇති බවටයි අපට තොරතුරු ලැබී තිබෙන්නේ. 6800 කගේ පමණ රැකියා අහිමි වී ඇති බවටයි අපට දැනගන්නට තිබෙන්නේ. ඒ අනුව අපේ සංඛ්‍යාලේඛන සහ ජ.වි.පෙ. සංඛ්‍යාලේඛන අතර පැහැදිලි වෙනසක් තිබෙනවා.

4,58,000 ක පමණ රැකියා ප‍්‍රමාණයක් 2009 වනවිට ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ උත්පාදනය වී තිබෙනවා. මේ වසරේදී රැකියා 6000 ක පමණ වර්ධනයක් තිබෙනවා. ලෝක ආර්ථික අර්බුදයේ ප‍්‍රතිවිපාක අපට බලපාන්නේ නැතැයි කියා කිසිවෙක් කියන්නේ නම් එය විහිළුවක්.

උඩුවේ ධම්මාලෝක හිමියෝ මූලාසනයට වැඩම කළහ

නවින් දිසානායක මහතා - අමෙරිකා එක්සත් ජනපදය මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දෙවරක් පුනර්ජීවන අරමුදල් ලබා දුන්නා. එකක් ඩොලර් මිලියන 700 ක් අනෙක 800 ක්. අපි වැනි කුඩා රටවලට එතරම් විශාල මුදල් යොදවන්න බැහැ.

නිපැයුම් ලංකා ව්‍යාපෘතිය යටතේ අපි කර්මාන්තශාලා 90 ක වැඩ අප දැනට පටන්ගෙන තිබෙනවා. මේ යටතේ කර්මාන්තශාලා 300 ක් ඇති කිරීමට සැලසුම් කැර තිබෙනවා.

අපි දැනට බිඳ වැටෙන කර්මාන්ත වෙනුවෙන් පුනර්ජීවන පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කරගෙන යනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප.) - ආයෝජන මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව නම් මේ රටේ කර්මාන්ත අංශයේ බිඳ වැටීමක් සිදුවී නැහැ. එහෙත් ප‍්‍රායෝගිකව මේ පිළිබඳ සොයා බැලුවහොත් මෙහි ඇති සත්‍යතාව පෙනෙනවා. ඒ නිසා ආයෝජන මණ්ඩලයේ සංඛ්‍යාලේඛන මත පදනම්ව මේ කරුණු සාකච්ඡා කිරීමෙන් ඵලක් නෑ.

කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.සං.) - මේ රට මූල්‍ය අර්බුදයකට මුහුණ දී නැහැ. කර්මාන්තශාලාවක් දෙකක් වැහුණාට සමස්ත කර්මාන්ත වැහිලා කියන්න බැහැ. ජාතික දර්ශක අනුව ඛ්යන්න ඕනෑ. ආර්ථික දර්ශන අනුව බලනවිට වර්ධනයක් සිදුවී තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමකට ගේන්න හැකිවුණා. එ.ජා.ප. ආණ්ඩු කෙළේ බදු අය නොකරද? සේවා වියුක්තිය සියයට 5.2 දක්වා අඩු කළ හැකිවුණා. ආයෝජනයේ ප‍්‍රතිශතය 28.4 යි. මහ බැංකුව ඉතා විශාල වැඩ කොටසක් ඉටුකළා. රජයේ සේවක වැටුප් නියම වෙලාවට ගෙවනවා. මිනීමරු ප‍්‍රභාකරන් නිසා ආයෝජකයන් මේ රටට ආවේ නැහැ. ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙන ගිය සටන අප ජය ගත්තා. විදුලිය, මාර්ග සංවර්ධනය ප‍්‍රවාහන පහසුකම් සියල්ලම ජනතාවට දීලා තිබෙනවා. අද තිබෙන්නේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින රජයක්.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එඩ්වඩ් ගුණසේකර මහතා (එ.ජා.ප.) - 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදී නිදහස් ආර්ථික කලාප ඇති කළේ ජේ. ආර්. ජයවර්ධන රජයයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය නිසා ප‍්‍රදේශය දියුණුවුණා.

යුද ජයග‍්‍රහණයට අප හදවතින්ම සුබ පතනවා. මා බෞද්ධයකු වූවත් ප‍්‍රභාකරන් එක්වරක් නොව දහස් වරක් ඝාතනය කළ යුතු බව කියනවා. ඔහු එතරම්ම අපට වද දුන්නා. කර්මාන්තශාලා කඩා වැටීමට යුද්ධය බලපෑවේ නැහැ. කර්මාන්ත කඩා වැටෙන්නේ ආණ්ඩුවේ පරිපාලන දුර්වලකමටයි.

සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිස් මුස්තාපා මහතා - ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් තිබෙනවා නම් එයට ලෝක ආර්ථික අර්බුදය බලපානවා. ශ‍්‍රී ලංකාවේ උද්ධමනය අඩුකර ගැනීමට රජයට හැකිවුණා. ආර්ථික වර්ධනයට කර්මාන්ත අංශය, සේවා හා කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍ර බලපානවා. කර්මාන්ත අංශය මෙරට ආර්ථික වර්ධනයට සකී‍්‍රය දායකත්වයක් සපයනවා.

රජය, ග‍්‍රාමීය කර්මාන්ත නගාසිටුවීමට විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කළා. 2009 අයවැයෙන් ඇතැම් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා ‘සෙස් බදු’ පැනෙව්වා. රට පුරා කාර්මික ජනපද කි‍්‍රයාත්මක වෙනවා. කර්මාන්ත පර්යේෂණ සඳහා පෞද්ගලික අංශය සමඟ නැනෝ කාබන් ආයතනයක් ආරම්භ කළා.

ව්‍යවසාය සංවර්ධන ඇමැති මනෝ විජේරත්න මහතා - මේ රජය ප‍්‍රධාන අර්බුද තුනක් සහිතව රටේ වගකීම බාර ගත්තා. ත‍්‍රස්තවාදය, තෙල් අර්බුදය සහ ලෝක ආර්ථික අවපාතය එම අර්බුද තුනයි.

කර්මාන්ත වැහිලා රැකියා අහිමිවීම කොයි ආණ්ඩුව යටතෙත් සිදුවෙනවා. කර්මාන්ත වැසී රැකියා අහිමිවන බවට අඳෙ¤නා නගන ඇතැම් අය, යුද්ධය ජයග‍්‍රහණය කරගෙන එන අතරේ ලෝකයේ රටවලට ගොස් ලැබෙන ආධාර හා සහයෝගය නැවැත්වීමට කි‍්‍රයා කළා. ආයෝජන මණ්ඩලය හමුවට පැමිණි කිසිම ආයෝජකයෙක් ආපසු ඇරියේ නැහැ. කර්මාන්තශාලා වැසීමෙන් රැකියා අහිමි වූ ගණන අට දහසක් පමණ බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කරනවා.

යුද්ධය පවතින කාලේ ආයෝජකයෝ මෙහි පැමිණීමට පෙර දෙවරක් හිතුවා. යුද්ධයේ ජයග‍්‍රහණයට පසු ආයෝජනය සඳහා මෙහි පසුබිමක් ඇති බවට විදේශ ආයෝජකයන්ට විශ්වාසයක් ඇති වී තිබෙනවා. ආයෝජකයන් රැසක් අප සමඟ සාකච්ඡා කළා. මේ වසර අවසානයට පෙර ආයෝජන වැඩි කිරීමට හා වැසී ගිය කර්මාන්තශාලා ගැන විශ්වාසයක් තැබිය හැකියි.

ආයෝජන මණ්ඩලය යටතේ පුහුණු හා නුපුහුණු ශ‍්‍රමය සඳහා පුරප්පාඩු 10,000 ක් පවතිනවා. නමුත් ඉල්ලුම අඩුයි.

කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර් වෙල්ගම මහතා - කර්මාන්තශාලාවලින් ඉන්ධන ගැලුපුම් ගාස්තුව ඉවත් කළා. දේශීය කර්මාන්තකරුවන්ට ණය පහසුකම් දීම වැඩි කළා. ආනයනික භාණ්ඩවලට සෙස් බද්ද පැනවූවා.

1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් මෙරට කර්මාන්ත වැඩි වුණාට වඩා හානි සිදුවුණා. කර්මාන්තශාලාවල ඇබෑර්තු තියෙනවා. නමුත් යන්නෙ නැහැ. ගම්වල තිබෙන කර්මාන්තශාලා වැහිලා නැහැ. ජනාධිපතිතුමා කියන්නා වගේ පක්‍ෂ – විපක්‍ෂ කවුරුත් එක්වී දේශීය කර්මාන්තකරුවන්ට පැකේජයක් දෙන්න ඕනෑ.

කර්මාන්තශාලා වැහිලා තියෙනවා. එහෙත් ඔය කියන අසූදහස හා තුන්ලක්‍ෂය නම් මා පිළිගන්නෙ නැහැ. අපට ලැබී ඇති තොරතුරු අනුව තියෙන්නේ 7391 යි. තවම වසා නැති වහන්න බලාපොරොත්තු වන කර්මාන්තවල සේවක ගණන 2184 යි. කර්මාන්තපුර ආරම්භ කරමින් යනවා. යුද්ධය අවසන් වූ පසු ඉල්ලුම වැඩියි.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල බලන්න මා දෙවරක් ගියා. වාසිදායක පැකේජයක් දෙනවා නම් උතුරු හා නැඟෙනහිරට යන බව ආයෝජකයෝ කියනවා. විදේශ ආයෝජකයෝ එන්න කැමැතියි.

විදේශ සහයෝගය ඇතිව කර්මාන්ත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. රැකියා සුරක්‍ෂිත භාවය රැකෙන පරිදි කි‍්‍රයා කරනවා.

විවාදය අවසන් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා