වේවැල්දූව, දළුගම හා කැලණි සරසවිය

වේවැල්දූව, දළුගම හා කැලණි සරසවිය

කොළඹ උසස් පාසල් අතර වාර්ෂික ගුටිකෙළි සංදර්ශන පැවැත් වේ. කොළඹ හා නුවර පාසල් අතරත් එබඳු ගැටුම් දක්නට ලැබේ. කි‍්‍රකට් හා රගර් කී‍්‍රඩකයන් අතර මෙබඳු ගැටුම් බහුල ය. මේ අතර මාතලේ පළාතේ සිසුහු ගුරුවරුනට පහර දෙති. ගුරුවරු පහරදීමට එරෙහිව වර්ජනය කරති.

විශ්වවිද්‍යාලවල පීඨ - පීඨ අතර ගැටුම් පවතී. ශිෂ්‍ය සංගම් අතර ගැටුම් පවතී. විශ්වවිද්‍යාල මණ්ඩප අතර ද හොඳ හිතක් නැත. පේරාදෙණි සරසවි ඇත්තෝ කැලණි සරසවියට පිරිවෙණ යැයි අපහාස උපහාස කරති. ශී‍්‍ර ලංකාවේ සමස්ත අධ්‍යාපනය ගත් කළ එකිනෙක ආයතන අතර හොඳ හිතක් හෝ සාමයක් හෝ නැත.

කැලණි සරසවිය පෙරේ දා වසා දැමිණි. ඒ ගැටුමක් මුල්කරගෙන ය. කැලණි සරසවි ගැටුම තේරුම් ගත යුත්තේ වෙනත් අර්ථයකින් ය. එය සිසුන් අතර ගැටුමක් නො වේ. සිසුන් හා ගම්මුන් අතර ගැටුමෙකි. හෙවත් සිසුන් හා ප‍්‍රදේශවාසීන් අතර ගැටුමෙකි.

කැලණි සරසවිය පිහිටුවා ඇත්තේ එබඳු ආයතනයකට සුදුසු පරිසරයක නොවේ. විශ්වවිද්‍යාලයය මැදින් වේවැල්දූව නම් ගමට යන ප‍්‍රසිද්ධ පාරක් තිබේ. විශ්වවිද්‍යාලයය ඉදිරිපිට දළුගම නගරය පිහිටා තිබේ. උසස් අධ්‍යාපන ආයතනයකට අවශ්‍ය නිදහස් පරිසරය මේ මගින් ඇහිරී තිබේ.

ගැටුමට දේශපාලන සම්බන්ධයක් ඇතැ’යි සමහරු කියති. ඒ වගක් අප හරියට ම දන්නේ නැත. එහෙත් විශ්වවිද්‍යාල සිසුවකු හා කඩයක මුදලාලි මහතකු අතර වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුම ඇති වූ බව කියති. මෙබඳු සුළු ආරාවුලක් දුරදිග ගියේ කෙසේදැ’යි සොයාබැලීම බලධාරිනට බාර කරමු. සරසවි ශිෂ්‍යයන් හා බාහිර සමාජය අතර හොඳ හිතක් දක්නට නැත. එය බොහෝ කලක පටන් දක්නට ලැබෙන අයහපත් තත්ත්වයෙකි. කැලණි සරසවියට මෙන් ම ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයට ද මේ තත්ත්වය බලපායි. දළුගම හන්දියේ දී ගැටුම් ඇතිවන්නා සේ ම විජේරාම හන්දියේ දී ද ගැටුම් ඇති වේ.

සරසවි සිසුන් කෙරෙහි කාරුණික ව බලන්නට සමාජය පුරුදු වී නැත. එලෙස ම පොදු සමාජය දෙස සංවේදී ඇසකින් බලන්නට සරසවි ශිෂ්‍යයා පුරුදු වී නැත. සරසවි ශිෂ්‍යයා වනාහි කැරලිකාරයකු, ආඩම්බරකාරයකු ලෙස සමාජය කල්පනා කරයි.

ශිෂ්‍යයා ද තමන් විශේෂ පුද්ගලයකු ලෙස කල්පනා කර වැඩ කරයි. මේ නිසා ම දෙපිරිස අතර නුරුස්නා බවක් පවතී. ඕනෑ ම මොහොතක ගැටුමක් ඇතිවිය හැකි ය. එය දුරදිග යා හැකි ය. මේ ගැටුම් නිරාකරණය කිරීම සඳහා දෙපාර්ශවයේ ම ආකල්ප වෙනස් විය යුතු ය.

අප දන්නා පරිදි කැලණි සරසවිය මැදින් වේවැල්දූව ගමට යන පාර වසා දමන්නට පුළුවන්කමක් නැත. එමෙන් ම දළුගම නගරය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පුළුවන්කමක් ද නැත. කළ යුතු වැදගත් ම දේ වන්නේ දෙපිරිස අතර සාම කමිටු ඇතිකිරීම ය. මේ දෙපිරිස ම එකිනෙකා කෙරෙහි ගෞරවයකින් කටයුතු කළ යුතු ය. කැලණි සරසවිය ඒ පළාතට සම්පතකි.

බොහෝ නිවෙස්වල නේවාසිකාගාර පවත්වාගෙන යයි. සරසවි සිසුහු එවායෙහි නැවතී ගෙහිමියනට කුලී ගෙවති. දළුගම නගරයේ වෙළෙඳ්‍රම දියුණු වී ඇත්තේ සරසවි සිසුන් නිසා ය. සරසවිය වසා දැමූ කල ඔවුන් ගේ ආදායම පහත වැටේ.

ශී‍්‍ර ලංකාවේ නූතන සරසවි ගත් කළ ඒවා සටන් භූමි බවට පත් ව තිබේ. ගුස්තිකාරයෝ මෙන් ම මැරයෝ ද එහි සිටිති. බෝම්බ හා තුවක්කු හැර ගරිල්ලා සටනකට උපයෝගී කරගත හැකි ඇතැම් අවි - ආයුධ සිසුන් ළඟ තිබේ. සිසුන් ඕනෑ ම මොහොතක සටනකට සූදානම් ය.

දළුගම කඩ පෙළට හා බස් රථවලටත් ප‍්‍රදේශවාසීන්ටත් එල්ල වූ ප‍්‍රහාරයෙන් ඉහත කී කරුණු සනාථ වේ. සිසුන් ගේ කලහකාරී හැසිරීම කිසිසේත් ම අනුමත කළ නො හැකි ය. ගමක් - නගරයක් වනසන්නට ඉඩ දී කරබාගෙන සිටින්නට කිසිදු පුරවැසියකුට පුළුවන්කමක් නැත. මේ අනුව සිසුන් ගේ පහරදීම් අපි දැඩි ලෙස හෙළා දකිමු.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වනා හී අනාගත සමාජයේ නායකයෙකි. ඔහු උගතකු ලෙස සමාජය නිසි මඟට ගැනීමට පියවර ගත යුතු ය. ශිෂ්‍යයා මැරයකු ලෙස හැසිරෙත්ද? වහා ඔහු මර්දනය කළ යුතු ය. සරසවි ශිෂ්‍ය සමාජය අතරට කබල් දේශපාලනය රිංගා ගැනීම නිසා ඔවුන් ගේ ඇවතුම් – පැවතුම් අයහපත් වී ඇත.

මේ සිද්ධිය පසුපස කබල් දේශපාලනය නොතිබුණත් සිසුන් කලහකාරීවීමට බලපාන එක් හේතුවක් ලෙස එය සැලකිය හැකි ය. සංවිධානාත්මක ප‍්‍රහාරවලට ශිෂ්‍යයා පුහුණු කළේ ඉහත කී කබල් දේශපාලනය යි. සරසවි ශිෂ්‍යයාට ගැළපෙන බුද්ධිමත් දේශපාලන ව්‍යාපාරයක් තව ම විශ්වවිද්‍යාලවල ස්ථාපිතවී නැත. එය අඩුවක් සේ අපි දකිමු.

කැලණි සරසවි ගැටුම නිසා දෙපිරිසට ම හානි සිදු වී ඇත. දැන් සිදුවිය යුත්තේ ඉදිරියට සිදුවිය හැකි ගැටුම නවතා දැමීම ය. මෙබදු ගැටුමක් ඇති වු කල අළුයට ගිනිමෙන් වෛරය තිබෙන්නට පුළුවන නැවත – නැවත ගැටුම් ඇතිවන්නට ද පුළුවන. විශ්වවිද්‍යාලය ඉදිරිපිට පෙලිසියක් ස්ථාපිත කිරීමෙන් හෝ ජංගම මුරපොළක් දැමීමෙන් හෝ ගැටුමට විසැඳුමක් ලැබේ යැයි අප කල්පනා කරන්නේ නැත. දෙපිරිස අතර දිගුකාලීන සාමයක් ඇතිකිරිම හොඳ ම විසැඳු ම වේ. ඒ සඳහා සාම කමිටු ඇතිකිරීම ඉතා වැදගත් ය. දෙපිරිස අතර සාකච්ඡාවක් ඇතිකළ යුතු ය. ඊට පොලිසිය මැදිහත් වන්නේ නම් වඩා යහපත් ය.

කැලණි සරසවිය හැමදාට ම වසාදමන්නට බැරි ය. එය වෙනත් ස්ථානයකට ස්ථාපිත කිරීම ද කළ නො හැක්කකි. සිදුවිය යුත්තේ යහපත් පරිසරයක් ඇති කොට සරසවිය වහා ම විවෘත කිරීම ය. විවිධ ගැටුම් නිසා මේ සරසවිය වරින්වර වසා දමනු ලැබේ. ශිෂ්‍යයන් ගේ අධ්‍යනය කටයුතු හා විභාග පැවැත්වීම ආදිය පමාවීමෙන් සිසුනට බලවත් අසාධාරණයක් සිදු විය හැකි ය. ඒ ගැන අවධානය යොමු කිරීම බලධාරීන් ගේ යුතුකම වේ. මේ ගැටුම නිරාකරණය කරගැනීම සඳහා සරසවි සිසුන් ගේ මෙන් ම ප‍්‍රදේශවාසීන්ගේ ද නම්‍යතාවක් ඇතිවිය යුතු ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා