ලකුණු 19කින් පාකිස්තානය පරදවා ශී‍්‍ර ලංකාව පිට පිට තෙවැනි ජයත් ලබයි

ලකුණු 19කින් පාකිස්තානය පරදවා
ශී‍්‍ර ලංකාව පිට පිට තෙවැනි ජයත් ලබයි

හෙට තරගය අයර්ලන්තය සමඟ

වර්නන් ගුණසේකර එංගලන්තයේ සිට වාර්තා කරන 2 වැනි ලෝක කුසලාන විස්සයි - 20 තරගාවලිය

ශී‍්‍ර ලංකාව ඊයේ (12) ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී පාකිස්තානය ලකුණු 19කින් පරදවමින් 2වැනි ලෝක කුසලාන විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ පිට පිට තෙවැනි ජයග‍්‍රහණයත් වාර්තා කෙළේය.

තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය ශී‍්‍ර ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 81ක් රැස් කළ අතර ඒ මත ගොඩනැගුනු ශී‍්‍ර ලංකා ඉනිම කඩුලු 7කට ලකුණු 150ක් විය.

පාකිස්තානය එම ඉලක්කය හඹා යාමේදී යුනුස් ඛාන් හා මිස්බා උල්හක් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61කදී ලකුණු 66ක සබඳතාවයක් ගොඩනැගුවද මිස්බා (21) දැවි යාමෙන් පසුව පාකිස්තාන ඉනිම බිඳ වැටෙන්නට විණි.

16 වැනි ඕවරය යැවූ මුත්තයියා මුරලිදරන් පිට පිට පන්දු දෙකකදී මිස්බා හා ෂහීඩ් අෆ්රිඩි දවාලීය. මුරලි ලකුණු 28කට කඩුලු 2ක් බිඳ හෙලීය.

ලසිත් මාලිංග සාර්ථක පන්දු යැවීමක නියැලෙමින් ලකුණු 17කට කඩුලු 3ක් බැඳ හෙලීය. අවසන් ඕවර 5 තුළ ජයග‍්‍රහණය සඳහා ලකුණු 52ක් අවශ්‍යව සිටි පාකිස්තානයට ලබා ගත හැකි වූයේ ලකුණු 32ක් පමණි.

කඩුලු 9කට ලකුණු 131කට ඔවුන්ගේ ඉනිම නිමා විය. පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් යුනුස් ඛාන් පන්දු 37කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 50ක් රැස් කෙළේය.

ශී‍්‍ර ලංකාව ඊයේ (12) තරගය සඳහා ඉසුරු උදාන වෙනුවට ජගත් එක්දින තරග බිමේ අංක 1 පන්දු යවන්නාව සිටින නුවන් කුලසේකර කැඳවා තිබිණි.

කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශී‍්‍ර ලංකාවට මුල් ඕවර දෙක තුනේදී ලකුණු ගලා ආවේ නිතැතිණි.

ආරම්භක පන්දු යවන සොහේල් තන්වීර් ඔහුගේ පළමු ඕවර දෙකේදී වයිඩ් හා නීති විරෝධී පන්දු 8ක් යැවු අතර හතරේ පහර 4ක් එල්ල වීම නිසා ඔහුගේ පළමු ඕවර දෙක ඇතුළත ලබා දුන් ලකුණු සංඛ්‍යාව 29ක් විය. ඉන්පසු ඔහු පන්දු යැවීම සඳහා කැඳවුයේ නැත.

තිලකරත්න ඩිල්ෂාන් හා සනත් ජයසූරිය ඊයේ යළිත් වතාවක් ශී‍්‍ර ලංකා ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්හ. පළමු ඕවර 5 අවසන් වන විට ලකුණු 59ක් රැස් කිරීමට මේ දෙදෙනා සමත් වූහ.

ඩිල්ෂාන් හා ජයසූරිය ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් රැස්කර ගෙන සිටියදී තරගයේ 9වැනි ඕවරයේ ෂහීඩ් අෆ්රිඩිගේ අවසන් පන්දුවට යුනුස් ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් ජයසූරිය ලකුණු 26කට දැවී ගියේය.

පන්දු 24කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කෙළේය. ශී‍්‍ර ලංකාව පළමු ඕවර 6 අවසන් වන විට හතරේ පහර 8ක් හා හයේ පහරක් සමඟ කිසිවෙකු නොදැවී ලකුණු 65ක් රැස්කර ගෙන සිටියේය.

11 වැනි ඕවරයේදී අෆ්රිඩිගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඩිල්ෂාන් දැවී ගියේය. පන්දු 39කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් සමඟ ලකුණු 46ක් වාර්තා කෙළේය.

නායක කුමාර් සංගක්කාර හා හිටපු නායක මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 21ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී සංගක්කාර ‘ස්ටම්ප්’ කිරීමකට හසුව ලකුණු 15කට දැවී ගියේය.

පන්දු 16කට මුහුණ දුන් ඔහු එක් හතරේ පහරක් එල්ල කෙළේය. ජයවර්ධන හතරේ පහර 2ක් සමඟ ලකුණු 19ක් රැස් කෙළේය. අෆ්රිඩි, උමාර් ගුල් හා සයීඩ් අජ්මාල් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා