සැකයක් නෑ ඌවත් අපට එනවා

සැකයක් නෑ ඌවත් අපට එනවා

ෆයිසර් මුස්තාපා
සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමැති

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් ශී‍්‍ර ලංකාවේ ති‍්‍රවිධ හමුදාව ලැබූ ජයග‍්‍රහණය පිළිබඳත්, ත‍්‍රස්තවාදයෙන් නිදහස් රටක් ලෙස මෙරට සංචාරක කර්මාන්තයේ සිදු කෙරෙන සංවර්ධනය පිළිබඳත් සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සමඟ කළ සංවාදයකි මේ.

* එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් ශී‍්‍ර ලංකාවේ ති‍්‍රවිධ හමුදාව මෑත ඉතිහාසයේ සුවිශේෂී යුදමය ජයග‍්‍රහණයක් ලැබුවා. වසර තිහකට ආසන්න කාලයක් පැවති උතුරු - නැගෙනහිර යුද්ධය දැන් අවසන් වී තිබෙනවා. මේ යුදමය ජයග‍්‍රහණය පිළිබඳ ඔබ දරන ආකල්පය කුමක්ද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වුණාට පසුව “ කොටි ත‍්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කරනවා” කියා තීරණයක් ගත්තා. කුමන බාධා පැමිණියත් දිගින් දිගටම ඔහු එම තීරණයේම සිටියා. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි අද උතුරේ ජනතාවට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරෙන්නට හැකියාව ලැබුණේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමට පෙර මෙරට පැවති ආණ්ඩු යුද්ධය අතගගා හිටියා මිසක් යුද්ධය කිරීම සඳහා අපේ හමුදාවට අවශ්‍ය යුද උපකරණ හෝ ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීම සිදු කෙළේ නැහැ. ඒ නිසයි අවුරුදු තිහක් තිස්සේ දෙමළ ජනතාවට පමණක් නොව සිංහල ජනතාවටත් කොටි ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳීමට සිදුවුණේ.

* ශී‍්‍ර ලංකාවට දැන් ගෞරවනීය සාමයක් ලැබී තිබෙනවා. මේ ලැබූ සාමය අපට උදාකර දුන්නේ වීරෝදාර රණවිරුවන්. අප මේ ලැබූ සාමය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට උරුම විය යුතුයි. මේ පිළිබඳ ඔබගේ මතය පැහැදිලි කළොත්.

සමහර අය හිතන්නේ අප මේ ලැබූ යුදමය ජයග‍්‍රහණය සිංහල ජනතාවට පමණක් ලැබුණ දෙයක් කියලායි. ඒ මතය වැරදියි. අප මේ ලැබූ ජයග‍්‍රහණය, සාමය මේ රටේ ජීවත්වන සියලුම ජාතීන්ට පොදුයි. ති‍්‍රවිධ හමුදාව තමයි රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කළේ. ති‍්‍රවිධ හමුදාවේ වැඩි වශයෙන්ම සිටින්නේ සිංහල රණවිරුවන්. එපමණක් නොව මේ හමුදාවේ දෙමළ, මුස්ලිම් රණවිරුවන් ද සුළු පිරිසක් සිටිනවා.

උතුරු - නැඟෙනහිර යුද්ධයෙන් දෙමළ, මුස්ලිම් බොහෝ පිරිසක් බැට කෑවා. මේ දෙමළ , මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න ගිය ති‍්‍රවිධ හමුදාවත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් හේතුවෙන් බැටකෑවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික චින්තනයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. අපේ ජනාධිපතිවරයාට මේ රට ගොඩනගන්න හැකියි කියන විශ්වාසය මා තුළ පවතිනවා. විවිධාකාර මත දරණ පක්ෂ ආයතන රටේ තිබෙනවා. මේ සෑම බලවේගයක්ම ඒකරාශිව එකම රජයක් යටතේ කි‍්‍රයාකළ යුතුයි. අද අපේ ඇමැති මණ්ඩලයේ වුණත් විවිධ අදහස් දරන පුද්ගලයන් සිටිනවා.

එහෙත් ජනාධිපතිවරයා තීරණ ගන්නේ රටට සුබදායී වන තීරණ සහ මහින්ද චින්තනයට පටහැනි නොවන තීරණයි. ඒ නිසා මේ රටේ ජනතාවට යහපතක් වෙනවා නොඅනුමානයි.

* උතුරේ යුද මෙහෙයුම් ජයග‍්‍රාහී ලෙස නිමා කිරීමට හැකි වී තිබෙනවා. මෙම ජයග‍්‍රහණයන් ස්ථිරසාර සාමයකට මඟ පාදාගන්නේ කෙසේද?

අපි ගිහින් ප‍්‍රභාකරන්නේ අත් අල්ලලා ගිවිසුම්වලට එළඹුණේ නැහැ. මේ රජයට දෙමළ ජනතාවත් සමඟ කිසිම ප‍්‍රශ්නයක් නෑ. ප‍්‍රශ්නය තිබුණේ කොටි ත‍්‍රස්තවාදීන් සමඟයි. ත‍්‍රස්තවාදය සහ දෙමළ මතය කියන්නේ දෙකක්. කොටි ත‍්‍රස්තවාදීන් මානුෂීය බැම්මක් ලෙස දෙමළ අහිංසක සිවිල් ජනතාව පසුගිය කාලයේ යොදා ගත්තා. ඔවුන්ගේ කි‍්‍රයාවන් කොතරම් පහත්ද කියා එයින් පැහැදිලි වෙනවා. එල්. ටී. ටී. ඊ. ය කියන්නේ දෙමළ අහිංසක ජනතාව රැවටු බොරුකාර ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස අද ලෝකය පිළිගෙන තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මාර්ගයට ප‍්‍රභාකරන් පිවිසියේ නම් අද ඔහු ජනතාවත් සමඟ සිටිනවා. පිල්ලෙයාන්, කරුණා අම්මාන් දිහා බලන්න. අද ජන නායකයන් වී සිටිනවා. ඔවුන් යම් අවස්ථාවක පිළිගත්තා ප‍්‍රභාකරන් කියන්නේ දෙමළ ජනතාව පාවාදෙන ෆැසිස්ට්වාදී නායකයෙකු බව. මේ ෆැසිස්ට්වාදී නායකයා බේරාගැනීමට විදේශ කුමන්ත‍්‍රණ ද බොහොමයක් කි‍්‍රයාත්මක වුණා.

ශී‍්‍ර ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කලයි කියා මෙරටට බොරු චෝදනා එල්ල කළා. හැබැයි විදේශ බලවේගයන් හැමවේලාවෙම කතා කළේ ත‍්‍රස්තවාදය තුරන් කරන්න අවශ්‍යයයි කියලායි. එහෙත් ශී‍්‍ර ලංකා රජය ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට සූදානම් වනවිට අපේ සාර්ථකත්වය නැවැත්වීමට ඔවුන්ම කටයුතු කරනවා. ඒ කෙසේ වෙතත් කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අද අපි විශාල ජයග‍්‍රහණයක් ලබා තිබෙනවා. අපට අපේ නායකයා ගැන ආඩම්බර වෙන්න හැකියාවක් තිබෙනවා.

* හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මා හිතන ආකාරයට දැනටත් අවශ්‍යයයි. එහෙත් මේ පනත අහෝසි කරන්න කියා එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා. මෙමඟින් පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂයට තවමත් ජාතික වගකීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමට තරම් ශක්තියක් නෑ කියන එකද?

කොටි ත‍්‍රස්තවාදීන් ගේ නායකයා ප‍්‍රභාකරන් මරා දැමූ සැනින් ත‍්‍රස්තවාදය මුළුමණින්ම අවසන් කළා කියා හිතන්න හොඳ නැහැ. මොකද යම් යම් ස්ථානවල කොටි හිතවාදී කුඩා කණ්ඩායම් සිටිය හැකියි. කොටි ත‍්‍රස්තවාදීන් නැති කළා වුණත් රට ඉදිරියට ගෙනයාමේදී මේ පනත අවශ්‍ය වෙනවා.

කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කරන්න බෑ කියූ එජාපයම අද පිළිගෙන තිබෙනවා, කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කර ඉවරයි, ඒ නිසා දැන් හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය අහෝසි කිරීමේ පනත අවශ්‍ය නෑ කියන එක. දේශපාලන විහිළු කියන්නේ මෙන්න මේවාටයි. මෙවැනි ප‍්‍රකාශන රටට හිතකාමී නොවන දේශපාලන වාසි තකා කරන ප‍්‍රකාශනයි.

රටේ යම් ස්ථානයක බෝම්බයක් තිබුණොත් එයට වගකිව යුත්තේ රජයයි. එවන් කි‍්‍රයා වැළැක්වීමට මේ පනත ඉතා අවශ්‍යයයි. තවමත් ත‍්‍රස්තවාදීන්ගෙන් මෙරටට යම් බලපෑමක් එල්ලවන්නේ නම් ඊට එරෙහිව තිබෙන එක් පිළිමයක්. මේ පනත. ඉතිං කොහොමද මේ පනත අහෝසි කරන්නේ. මේ පනතේ අවශ්‍යතාව අපට තවමත් තිබෙනවා.

එජාපය ප‍්‍රකාශ කරන මෙවන් ප‍්‍රකාශනවලින් පැහැදිලි වන්නේ ත‍්‍රස්තවාදයට නැවත අවස්ථාවක් ලබාදෙන්න කියන එකයි.

* යුද්ධයේ නිමාවත් සමඟ උතුරේ දෙමළ ජනතාව දිනාගැනීම සඳහා රජය විසින් කළ යුත්තේ කුමක්ද?

ද්‍රවිඩ ජනතාව අද රජයත් සමඟ එක්වී සිටිනවා. එහෙත් නොයෙක් දේශපාලන වාසි තකා සමහර පිරිස් උත්සාහ කරනවා, දෙමළ ජනතාව ගේ සිත් තුළ රජය පිළිබඳ අනිසි බියක් හා සැකයක් ඇති කිරීමට . හැබැයි දෙමළ ජනතාව එවන් ප‍්‍රාථමික කි‍්‍රයාවන් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

උතුරේ සුබසාධන කඳවුරුවලට ගිහින් දෙමළ ජනතාව විඳින නිදහස දුටුවම හරිම සතුටක් දැනෙනවා. සමහර නායකයන් දෙමළ ජනතාව ගැන අසුබවාදීව හිතනවා. එහෙම හිතන අය දේශපාලන බංකොළොත් භාවයෙන් පෙළෙන අයයි.

දෙමළ ජනතාවට හිතකාමී හැම නායකයෙක්ම ඔවුන් ගේ සංවර්ධන කටයුතු උදෙසා කි‍්‍රයා කළ යුතුයි. එවිට අපට පුළුවන් දෙමළ ජනතාව දිනා ගැනීමට. දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ හැකියාව අද අපේ රජයට තිබෙනවා. ‘ උතුරු වසන්තය ‘ වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් විදියටයි.

මෙපමණ කලක් දෙමළ ජාතික සන්ධානය ( ඊව්ඒ ) කි‍්‍රයා කළේ කොටි ත‍්‍රස්තවාදයට බියෙන්. එහෙත් දැන් ඔවුන්ට ඔවුන්ගේ ම මතය කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටයි මේ සන්ධානයත් බොහෝවිට උත්සාහ කරන්නේ. ටී. එන්. ඒ. මන්තී‍්‍රවරු සමඟ කතාබහ කරන විට මට පැහැදිලි වූ එක් දෙයක් තමයි “ අපි මෙපමණ කලක් කි‍්‍රයාත්මක කළේ කොටින්ගේ මතය. එහෙත් දැන් අපට අපේම මතය කි‍්‍රයාත්මක කරන්න පුළුවන්” කියන දෙය” තව නොබෝ කාලයකින් ශී‍්‍ර ලංකාව කියන කුඩා දිවයින සංවර්ධනයේ හිණිපෙත්තටම යනවා කියා මා විශ්වාස කරනවා.

* කොටි ත‍්‍රස්තවාදය පරාජය කර දැන් මෙරටට සාමය උදා වී තිබෙනවා. සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා විදියට සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය ගැන ඔබට ප‍්‍රකාශ කරන්න තිබෙන්නේ කුමක්ද?

විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය දෙසට අවධානය යොමු කළොත්, ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් නිසා වසර තිහක් තිස්සේ මෙරට සංචාරක කර්මාන්තය පරිහානියට පත්වී තිබුණා. ඇත්තටම ශී‍්‍ර ලංකාව වගේ සම්පත් තිබෙන රටකට අද වනවිට මිලියන දෙකට අධික සංචාරකයන් පිරිසක් පැමිණිය යුතුව තිබුණා.

එහෙත් අපට ඒ ඉලක්කය සපුරා ගැනීටම නොහැකි වූයේ පසුගිය කාලයේ මෙරට පැවති යුදමය වාතාවරණය නිසායි. මේ හේතුව නිසා පසුගිය කාලයේ වසරකට මෙරට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය වන්නේ ලක්ෂ තුන හමාරක් හෝ හතර හමාරක් වගේ සුළු පිරිසක්. ඒ වාගේම සංචාරක ක්‍ෂේත‍්‍රයේ දළ ජාතික නිෂ්පාදනය වන්නේ සියයට දෙකයි හෝ තුනයි. එම ප‍්‍රතිශතය ඉදිරි කාලය තුළදී සියයට දහයක්, විස්සක් දක්වා වැඩිකර ගත යුතුයි.

සාමය අහිමිවීම ප‍්‍රථමයෙන්ම බලපෑවේ සංචාරක කර්මාන්තයට. ඒවාගේම සාමය ඇතිවීමෙන් වැඩිම ප‍්‍රතිලාබ නෙළාගත හැකිවන්නේත් සංචාරක කර්මාන්තයටයි. මෙරට ජනතාව ගේ ජන ජීවිතය සංචාරක කර්මාන්තය ඇසුරෙන් ඉතා ඉක්මණට වෙනස් කළ හැකියි. සංචාරක ක්‍ෂේත‍්‍රයට විදේශීය මෙන්ම දේශීය සංචාරක ක්‍ෂේත‍්‍රය ද අයත් වෙනවා.

අපි දිහා නොබැලූ සංචාරක ඒජන්තවරුන් මෙරටට සංචාරකයන් ගෙන්වීම ගැන දැන් අපත් සමඟ සාකච්ඡා කරනවා, පසුගිය කාලයේ සංචාරක කර්මාන්තයට ආයෝජන ලැබුණේ ඉතාම අඩු ප‍්‍රමාණයක්. එහෙත් අද සංචාරක ක්‍ෂේත‍්‍රයේ ආයෝජන දෙස බැලුවිට විදේශියකයන් බොහෝ පිරිසක් මෙරට සංචාරක ක්‍ෂේත‍්‍රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටිනවා. කල්පිටිය, දෙදුව වැනි ප‍්‍රදේශ සංචාරක කලාප ලෙස වෙන්කර තිබෙනවා. එතුළින් විශාල වශයෙන් ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීමට පුළුවන්.

නැඟෙනහිර නවෝදය යටතේ සංචාරක කර්මාන්තයට විශේෂ ස්ථානයක් දී තිබෙනවා. හේතුව නැඟෙනහිර ප‍්‍රදේශයේ තිබෙන සම්පත් සහ විවිධත්වය උපයෝගී කර ගැනීමෙන් දකුණට නොදෙවෙනි නැඟෙනහිර ප‍්‍රදේශයක් අපට නිර්මාණය කළ හැකියි.

දේශීය හා විදේශීය සංචාරකයන් මේ ප‍්‍රදේශවලට කේන්ද්‍රගත කළ යුතුයි. ඒ සඳහා සැලසුම්ගත වැඩසටහනක් අප සකසා තිබෙනවා.

ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය නිසා මෙරටට පැමිණියේ අඩු වශයෙන් වියදම් කරන සංචාරකයන්. සුපිරි ගණයේ සංචාරකයන් මෙරටට පැමිණීමට මැළිකමක් දැක්වුවා. එහෙත් අප නුදුරු අනාගතයේදී බලාපොරොත්තු වෙනවා සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා විදෙස් රටවලින් සුපිරි ගණයේ සංචාරකයන් මෙරටට ගෙන්වීමට. අප ඒ සඳහා සඳහා දැන් සිටම සූදානම් විය යුතුයි.

විශේෂයෙන්ම ඇමැති මිලින්ද මොරගොඩ මහතා ගේ උපදෙස් පරිදි මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ග‍්‍රාමීය තරුණ තරුණියන්ට සංචාරක ක්‍ෂේත‍්‍රයේ අවස්ථාව ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

හෝටල් ක්‍ෂේත‍්‍රය පිළිබඳ මාස තුනක අධ්‍යාපනයක් ලබාදී මාසයක පුහුණුවක් ලබාදීමෙන් පසුව සංචාරක හෝටල්වල රැකියා සඳහා යොමු කරනවා. ඒවාගේම මැදපෙරදිග රැකියා සඳහා ද මේ තරුණ තරුණියන් යොමු කරනවා. ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය කි‍්‍රයාවට නංවන “ සිරිලිය සවිය “ වැඩසටහනට අනුබද්ධව සංචාරක ක්‍ෂේත‍්‍රයේ රැකියාවන් සඳහා කාන්තා පාර්ශ්වය ද යොමුකර තිබෙනවා.

දැනට සංචාරක ක්‍ෂේත‍්‍රයේ නියැලී සිටින කාන්තාවන් ප‍්‍රමාණය 5% කටත් අඩු ප‍්‍රමාණයක්. කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවිකාවන් ලෙස යවනවාට වඩා ඔවුන්ට සංචාරක කර්මාන්තයේ පුහුණුව ලබා දී මැදපෙරදිගට යැවීමෙන් වැඩි විදේශ විනිමයක් අපේ රටට උපයා ගැනීමට පුළුවන්.

* 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව මෙතෙක් පැවති සියලු මැතිවරණවලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළා. මෙවර පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය පිළිබඳ ඔබට පැවසීමට තිබෙන්නේ කුමක්ද?

හැම මැතිවරණයකින් වගේම අප ජයග‍්‍රහණය කර තිබෙනවා. මැතිවරණවලින් පමණක් නොව යුද්ධයෙන් ද අපි ජය ගත්තා. යුද්ධය ජය ගත්තා කියන්නේ ආර්ථිකයෙන් ද අපට ජය ගන්න පුළුවන් කියන එකයි. ජනතාව හැමවිටම අපත් සමඟ සිටිනවා. අහන්න දෙයක් නෑ. ඌව පළාත් සභා මැතිවරණයෙන්ද අපි, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගන්නවා. අද මේ රටේ ජනතාව පක්ෂ, පාට දිහා බලන්නේ නැහැ.

රට සංවර්ධනය කළ හැක්කේ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. ජනතාව ඒ බව දන්නවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනම දෙයක් කිරීමට අද අපේ රටේ ජනතාව සැදී පැහැදී සිටිනවා. අවසාන වශයෙන් මං කියන්න කැමතියි, මෙවර පැවැත්වෙන ඌව පළාත්සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඓතිහාසික ජයක් ලබනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා