අමෙරිකාව-අල් කයිඩා අතර වෙනසක් නෑ

අමෙරිකාව-අල් කයිඩා අතර වෙනසක් නෑ

ඉතාලි සංචාරයකදී ලිබියා නායක ගඩාෆි කියයි

එක්දහස් නවසිය අසූගණන්වලදී ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දැක්වූ බව පිළිගෙන ඇති ලිබියාවේ නායක මෝමර් ගඩාෆි පෙරේදා, ඉතාලියේ සංචාරයක යෙදෙමින් අමෙරිකා එක්සත් ජනපදය හා අල් කයිඩා සංවිධානයේ වෙනසක් නැති බව කියා සිටියේ ය.

1986 දී අමෙරිකා එක්සත් ජනපදය ලිබියාවට එල්ල කළ ප‍්‍රහාරයකින් ගඩාෆිගේ හදාවඩාගත් දියණිය ඇතුළු පුද්ගලයන් රැසක් මිය යාමේ සිද්ධිය සිහිපත් කරමින් ගඩාෆි මේ බව කීවේ ය. “එක්සත් ජනපදය අපේ රටට එල්ල කළ ප‍්‍රහාරයත්, අල් කයිඩා ත‍්‍රස්ත කි‍්‍රයාකාරිත්වයත් අතර ඇති වෙනස කුමක් දැ’ යි ඔහු ප‍්‍රශ්න කළේ ය.

ඉතාලි බලධාරින් රතු පලස මතින් 67 හැවිරිදි ගඩාෆි පිළිගත්තද ඔහුගේ අමෙරිකා විරෝධී ප‍්‍රකාශවලින් ඔවුන් සලිත වී තිබේ. ගඩාෆි ඉතාලිය විසින් පිළිගත්තද ඔහු කියන සැම දෙයකටම එරට එකඟ නොවන බව ඔවුන් කියා තිබේ.

ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ ජනතා නිදහස් පක්ෂය පවසන්නේ ගඩාෆි කියන දේවල් ඉතාලි - අමෙරිකා සබඳතා වලට හා මිත‍්‍රත්වයට බලනොපානු ඇති බවය.

සමූහ ඝාතන අවි නිෂ්පාදනය අත්හිටුවීමෙන් 2003 දී ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියට පත් වුවද එම තීරණය සම්බන්ධයෙන් ලිබියාවට ලැබුණු දෙයක් නැතැයි ද ගඩාෆි කීවේ ය.

1969 සිටම ලිබියාවේ බලයේ සිටින ගඩාෆි, ‘ඉරාකය, අල්කයිඩා සටන්කාමීන් ආකර්ෂණය කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට දොස් පැවරී ය.

‘ඉරාකය අල්කයිඩානුවන්ට විවෘත භූමියක් වෙලා. සදාම් හුසේන් ගේ ඉරාකයට ඔවුනට ඇතුළු විය නොහැකිව තිබුණු මුත් අමෙරිකාවේ වැරැද්ද නිසා ඉරාකය ඉස්ලාමීය අන්තවාදීන්ගේ රාජ්‍යයක් වෙලා’ යැයි ඔහු කීවේ ය.

ගඩාෆි මේ ප‍්‍රකාශ කැර ඇත්තේ ඉතාලි අගමැති බර්ලුස්කෝනි සඳුදා ඔබාමා හමුවීම සඳහා අමෙරිකා සංචාරයක යෙදීමට නියමිතව තිබියදී ය.

කලක් ඉතාලියේ යටත් විජිතයක්ව පැවතියදී ලිබියාව විඳි දුක් වේදනා සිහිපත් කළ ගඩාෆි දහස් ගණන් පිටුවහල් කරමින් එකල අපරාධ රැසක් සිදුවුණු බව කීවේ ය.

ඒ සමගම ඉදිරි 25 වසරේදී ලිබියාවට වන්දි වශයෙන් ඩොලර් බිලියන 5ක් ගෙවීම සඳහා ඉකුත් වසරේ ඇතිකරගත් මිත‍්‍රත්ව ගිවිසුම ගැන සඳහන් කරමින් ගඩාෆි කීවේ, යටත් විජිතවාදී ඉතාලියෙන් සිය රටට සිදුවූ හානිය කිසිඳු වන්දියකින් පියවිය නොහැකි බව ය.

ගඩාෆිගේ මේ ඉතාලි සංචාරය එරට බලධාරින්ගේ හා මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. 1911 - 47 දක්වා ලිබියාව යටත්කොටගෙන සිටීම සම්බන්ධයෙන් ලිබියානු ජනතාවගෙන් සමාව යදින මිත‍්‍රත්ව ගිවිසුමකට එළඹීමට තරම් අභීත වීම ගැන ඉතාලි අගමැති බර්ලුස්කෝනිට ප‍්‍රසාදය පලකරන බවද ගඩාෆි කියා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා