විජේතිලක – විජේතුංග - විශ්වමාලි - ශ්‍යාමලි ප‍්‍රථම වරට ජාතික සූරයෝ වෙති

විජේතිලක – විජේතුංග - විශ්වමාලි - ශ්‍යාමලි

ප‍්‍රථම වරට ජාතික සූරයෝ වෙති

නන්දන විජේතුංග තරගය නිමකරමින්...
ඡායාරූපය - ඉන්ද්‍රජිත් පෙරේරා

කී‍්‍රඩා අමාත්‍යංශය සංවිධානය කළ 35 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පිරිමි මැරතන් තරගය ජයගත් ඉෂාන් විජේතිලක, පිරිමි පාපැදි තරගය ජයගත් නන්දන විජේතුංග, කාන්තා ඇවිදීමේ තරගය ජයගත් බී. එන්. විශ්වමාලි සහ කාන්තා පාපැදි තරගය ජයගත් නිලුකා ශ්‍යාමලී ප‍්‍රථම වරට ජාතික සූරතාවන්ගෙන් පිදුම් ලැබීමට ඊයේ (14 දා) සමත් වූහ.

කී‍්‍රඩා උළෙලේ මැරතන්, ඇවිදීම සහ පාපැදි තරග දෙහිඅත්තකණ්ඩියේ දී ඊයේ පෙරවරුවේ පැවැති අතර මේ සඳහා උතුරු - නැගෙනහිර ප‍්‍රදේශ නියෝජනය කරමින් ද ප‍්‍රබල සහභාගීත්වයක් දක්නට ලැබුණි.

මැරතන් තරගයේ දී මධ්‍යම පළාතේ ඉෂාන් විජේතිලක ප‍්‍රථම වරට ජාතික මැරතන් සූරයාවීමේ භාගය ලැබුවේ පැය 2 විනාඩි 23 තත්පර 03 කින් කිලෝ මීටර් 42.195 ක දුර ප‍්‍රමාණයක් නිම කරමිනි.

හත් වතාවක්ම ජාතික මැරතන් සූරයා වූ වයඹ පළාතේ අජිත් බණ්ඩාර මෙවර තරගය සහභාගි නොවීය. ඒ ඔහුගේ පාදයේ ආබාධයක් හේතුවෙනි. මේ තරගයේ දෙවැනි ස්ථානය වයඹ පළාතේ ආර්. එම්. අයි. ඒ. රත්නායක දිනාගත් අතර, දකුණු පළාතේ උපුල් විජිත කුමාර තෙවැන්නා බවට පත් විය.

කාන්තා මැරතන් තරගය ජයග‍්‍රහණය කරනු ලැබුවේ සබරගමුව පළාතේ මල්ලිකා චන්ද්‍රකාන්ති ය. 1999 වසරේ දී ද ජාතික මැරතන් සූරිය වූ චන්ද්‍රකාන්ති මෙවර තරගය නිම කළේ පැය 3 විනාඩි 3 තත්ත්පර 48 ක කාලයක් ගත කරමිනි. කාන්තා මැරතන් තරගයේ දෙවැනි ස්ථානය මධ්‍යම පළාතේ ඩී. ඒ. ඉනෝකාට හිමි වූ අතර, තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ ද මධ්‍යම පළාතේ අනුරාධි බෝගහවත්ත ය.

පිරිමි ඇවිදීමේ තරගයෙන් 9 වැනි වතාවටත් ජය ගැනීමට බස්නාහිර පළාතේ බී. එම්. එන්. නයනානන්ද සමත් වූයේ පැය 1 විනාඩි 43 තත්ත්පර 43 කදී තරගය අවසන් කරමිනි. මෙම තරගයේ දෙවැනි ස්ථානය සබරගමුවේ ආර්. ඒ. එස්. ඒ. රාජපක්‍ෂට හිමිවූ අතර වයඹ පළාතේ එම්. එස්. සේනාසිංහ තෙවැනි ස්ථානයට තරගය නිම කළේ ය.

කාන්තා ඇවිදීමේ තරගයේ දී බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුනු ආර්. බී. එන්. විශ්වමාලි ප‍්‍රථම වතාවට ජාතික ඇවිදීමේ සූරිය ලෙස ඊයේ රන් පදක්කම දිනා ගත්තේ පැය 2 විනාඩි 6 තත්ත්පර 51 කාලයක් ගත කරමිනි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දකුණු පළාත නියෝජනය කළ උමේෂි සශිකලාට සහ භාෂිනි ජයසිංහ ට හිමි වූහ.

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගවලට ජාතික මට්ටමේ සිටින පාපැදි සූර සූරියන් කිහිපදෙනෙක්ම සහභාගි වූහ. ගියවර ජාතික පාපැදි සූරයාවූ බස්නාහිර පළාතේ සී. පී. මීමනගේ සමග නන්දන විජේතුංග, වසන්ත හරිශ්චන්ද්‍ර, ඉන්දික විතානගේ සහ තුසිත දිනේෂ් ඇතුළු මුල් පෙළේ සිටින තරගකරුවන් කිහිප දෙනෙක්ම සහභාගි වූ අතර, කාන්තා තරගයට ද සාෆ් රන් පදක්කම් දිනූ පාපැදි සූරියන් වූ ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ, කි‍්‍රෂ්ණා ගුණතිලක, අයේෂා සුමනවීර සහ නිලූකා ශ්‍යාමලී සහභාගි වූහ.

කිලෝ මීටර් 110 ක් දුරැති පිරිමි පාපැදි තරගයේ මෙවර ජයග‍්‍රහණය ලබා ගත්තේ බස්නාහිර පළාතේ නන්දන විජේතුංගය. දෙවැනි ස්ථානය වයඹ පළාතේ නදීර පුෂ්පකුමාර ට ද, තෙවැනි ස්ථානයට වයඹ චතුර ඉන්දිකට ද හිමි විය.

කාන්තා පාපැදි සූරතාව දිනා ගත්තේ බස්නාහිර පළාතේ නිලූකා ශ්‍යාමලී ය. දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේම ලසන්ති ගුණතිලකට ද, තෙවැනි ස්ථානය සබරගමුව පළාතේ අයේෂා සුමනවීරට ද හිමිවිය.

තරග ජයග‍්‍රාහකයන්ගේ නම් හෙට පත‍්‍රයේ...


සංවිධායකයෝ සමඟ පාපැදිය නොමග යති

35 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පිරිමි පාපැදි තරගයේ ගමන් මාර්ගය සංවිධාකයන් විසින් පටලවා ගැනීම නිසා වයඹ පළාත නියෝජනය කළ කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුටම අසාධාරණයක් සිදුවූ බවට ‘දිනමිණ’ට ආරංචි වේ.

මේ හේතුව නිසා ඔවුන්ට තරගයේ මුළු දුර ප‍්‍රමාණයට වඩා තවත් කිලෝ මීටර් 2 ක් පමණ දුර පාපැදිය පැදීමට සිදුව තිබේ. මේ පිළිබඳව වයඹ පළාත් කී‍්‍රඩා නිලධාරි සංවිධායකයන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බව අසාධාරණයට ලක්වූ කී‍්‍රඩකයෝ ‘දිනමිණ’ට පැවැසූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා