අසල්වැසි මිත‍්‍රයාට පෙ‍්‍ර්ම කරන්න!

අසල්වැසි මිත‍්‍රයාට පෙ‍්‍ර්ම කරන්න!

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය – තාන්ති‍්‍රක කණ්ඩායමක් ඉන්දියාවට ගොස් සාකච්ඡා පවත්වති. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ දූත පිරිසට අයත් වෙති. ඉන්දීය ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක එම්. කේ. නාරායන්, විදේශ කටයුතු පිළිබඳ ලේකම් සිවශංකර් මෙනන් හා ආරක්ෂක ලේකම් විජය සිං යන රාජ්‍ය - තාන්ති‍්‍රකයන් සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබේ.

ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට රටේ යහපත් වෙනසක් ඇති කිරීමට හැකියාව ඇතැ’යි ඉන්දීය නියෝජිතයෝ පෙන්වා දෙති. ඒ වනා හී ඉතා යහපත් කල්පනාවෙකි.

ඉන්දියාව යනු කුමන අර්ථයකින් ගෙන බැලුව ද අප ගේ අල්ලපු ගෙදර වන්නේ ය. ඔහු සමඟ අවබෝධයෙන් කටයුතු නො කළහොත් අප ගේ බොහොමයක් දේශපාලන කි‍්‍රයාකාරකම්වලට බාධා එල්ල වන්නට පුළුවන. කලාපීය බලවතා ලෙස ඉන්දියාව තේරුම් ගැනීමත් ඔහු හා මිත‍්‍රශීලි ස්ථාවරයක සිට කටයුතු කිරීමත් අප ගේ විදේශ ප‍්‍රතිපත්තිය විය යුතු ය.

එය දැන් යහපත් ලෙස සිදුවෙයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව සමඟ දැඩි මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගියා ය. ඒ නිසා ම ගැටලු සහගත තැන් නිරාකරණය විය. ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ පාලන සමයෙහි ඉන්දියාව සමඟ සම්බන්ධතා බිඳ වැටිණි. ඒ නිසා අපට බොහෝ පාඩු සිදු විය.

නිදහසින් පසු ශ‍්‍රී ලංකාව අනුගමනය කරන සාර්ථක ම විදේශ ප‍්‍රතිපත්තිය දැන් කි‍්‍රයාත්මක වන බව බොහෝ දෙනා පෙන්වා දෙති. මහින්ද රාජපක්ෂ මහතා රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ආසියාව, අප‍්‍රිකාව, මැද පෙරදිග හා ලතින් ඇමෙරිකානු රටවල් සමඟ ද ඉතා යහපත් සබඳතා ගොඩනඟා ගෙන තිබේ.

විශේෂයෙන් මෙහිලා කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඉන්දියාව හා පවත්නා හොඳහිත ය. ඉන්දියාව යනු විශාල ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය වන්නා සේ ම ඉතා සංකීර්ණ දේශපාලන පසුබිමක් ඇති දේශයෙකි. හින්දු මූලධර්මවාදය මෙන් ම ද්‍රවිඩ ජාතිකවාදය ද එහි කි‍්‍රයාත්මක වේ. එරට මධ්‍යම ආණ්ඩුව මේ සියල්ලට මුහුණදෙමින් ශ‍්‍රී ලංකාවට සහායවීමට ඉදිරිපත් ව සිටී.

මේ වන විට ප‍්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ. ඒවා බෙහෙවින් සාර්ථක බව ද දැනගන්නට ලැබේ. දෙරටේ ධීවරයන් අතර පවත්නා ගැටලුව එක් මාතෘකාවෙකි. සහන ගම්මානවල වැසියන් ගේ සුබ – සාධනය තවත් මාතෘකාවෙකි. තමිල්නාඩුවේ වසන ශ‍්‍රී ලාංකේය සම්භාවයක් සහිත දෙමළ සරණාගතයන් ගේ ගැටලුව ඊළඟ මාතෘකාවෙකි.

ධීවරයන්ගේ ගැටලු දෙපාර්ශ්වයට ම තිබේ. ඉන්දියානු ධීවරයෝ අපේ සීමාවේ මාළු අල්ලති. අපේ ධීවරයෝ ඉන්දීය සීමාවේ මාළු අල්ලති. මේ අනුව දෙපැත්තෙන් ම ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබේ. සාකච්ඡාවලින් පසු ගැටලුවට සාර්ථක විසැඳුමක් ලැබෙනු ඇත.

තමිල්නාඩුවේ ඡන්ද පොරය මත බොහෝ විට ශ‍්‍රී ලංකාව කෙරෙහි එදිරිවාදී ලෙස බලන සිරිතක් එහි ඇතැම් දේශපාලකයන් ළඟ තිබිණි. වයිකෝලා, නැදුමරන්ලා මෙන් ම කරුණානිධි හා ජයලලිතා ද ඊට සම්බන්ධ ය. මේ මතවාදය බිඳ වැටුණේ පසුගිය දා පැවැති ඉන්දීය මහා මැතිවරණයත් සමඟ ය. දෙමළ ජාතිවාදයට උක්ත මැතිවරණයෙන් ලැබුණු තැනක් නැත.

හින්දු මූලධර්මවාදය ද, දෙමළ ජාතිකවාදය ද ඉන්දීය මහා මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක් විය. බුද්ධිමත් නායකයකු ලෙස උක්ත සිදුවීම මහින්ද රාජපක්ෂ මහතා දැනගෙන සිටියේ ය. තමිල්නාඩුවට අප ආදරය කළ යුතු ය. එහෙත් කිසිකලෙකත් ඊට බිය විය යුතු නැත.

බ‍්‍රසීලය මෙන් ම ඉන්දියාව ද තවත් ලෝකයක් යැයි කියනු ලැබේ. ඒ තරමට ම එහි දේශපාලනය හා ආර්ථිකය සංකීර්ණ වේ. එහෙත් ඉන්දියාව ද චීනය, ඉරානය වැනි රටවල් ද ආසියාවේ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් ය. ඊට රුසියාව හා පාකිස්ථානය ද එක් විය යුතු ය. අද රුසියාව ආසියාවට වඩා යුරෝපයට බර ය.

පාකිස්තානය පෙනී සිටින්නේ ඉන්දීය විරෝධයක් ද කරපින්නාගෙන ය. මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය පාලකයකු ලෙස කෙතරම් දූරදර්ශී ද කිවහොත් ඉන්දියාවේ මෙන් ම පාකිස්තානයේ ද සහයෝගය අපට ලබාදීමට එතුමාට හැකි විය. අද අප භුක්ති විඳින්නේ එහි ප‍්‍රතිඵල ය.

ඉරානය, ලිබියාව මෙන් ම අප‍්‍රිකානු රටවල් සමූහයක් ද ශ‍්‍රී ලංකාවට සහාය දීමට ඉදිරිපත් ව සිටී. මානව හිමිකම් කොමිසමේ දී ශ‍්‍රී ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ ඒ රටවල් ය. මෙහි දී කාරණා දෙකක් විශේෂයෙන් සඳහන් කළ යුතු ය. පළමුවැන්න ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගේ නො සැලෙන ප‍්‍රතිපත්ති ගරුක බව ය.

දෙවැන්න එඩිතර හා බුද්ධිමත් තීන්දු ගැනීම ය. යුරෝපා සංගමයට භය – පක්ෂපාතකමක් දැක්වූයේ නම් කොටි සංවිධානය පරාදය කිරීමට හැකිවන්නේ නැත. තමිල්නාඩුවට මෙන් ම ඉන්දියාවේ මූලධර්මවාදයට යටත් වූයේ නම් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය පරාදය කිරීම දූෂ්කර වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා ඒ සියල්ල නියම ලෙස කළමනාකරණය කරගත්තේ ය.

යථාර්ථය ගතහොත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යම් – යම් ප‍්‍රශ්න තිබේ. තමිල්නාඩුව බයිස්කෝප් න්‍යායයක් අනුගමනය කරමින් ඒවා උච්චස්ථානය කරා ගෙන යන බව ද දකින්නට ලැබේ. නිදසුනක් කිවහොත් තමිල්නාඩු වර්ගවාදී දේශපාලකයෝ නැවත කච්චතිව් ප‍්‍රශ්නයක් ඇදගෙන දඟලති.

කච්චතිව් ප‍්‍රශ්නය මීට වසර ගණනාවකට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේ විසඳ්‍ර අවසන් කර තිබේ. නැවත ඒ ගැන ප‍්‍රශ්න කිරීමෙන් ප‍්‍රතිඵලයක් නැත. ඒ බව හින්දු පුවත්පත ද දින කිහිපයකට පෙර පෙන්වා දී තිබිණි. තමිල්නාඩු දේශපාලකයන් දැන් විකාර කතා නැවැත්විය යුතු ය.

ඉදිරි දින කිහිපය තුළ නොබැදි ජාතීන්ගේ සමුළුව පැවැත්වීමට නියමිත ය. රටවල් එකසිය විසි ගණනක් ඊට සහභාගී වේ. ඊජිප්තුවේ දී පැවැත්වෙන මේ සමුළුවේ කැපී පෙනෙන නායකයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා හැඳින් වේ.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් ලොව ඇති හොඳ ම ආදර්ශය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ය. ඔහුට නොබැඳී ජාතීන්ගේ සමුළුවේ දී විශාල පිළිගැනීමක් හිමිවනු ඇත. ඉන්දියාව සමඟ පවත්වන සජීවි සම්බන්ධතා මෙහි දී අපට ඉතා වැදගත් වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා