දේශපාලන භේද අමතකකොට රටේ සංවර්ධනයට පෙළගැසෙමු

දේශපාලන භේද අමතකකොට රටේ සංවර්ධනයට පෙළගැසෙමු

- ඇමැති චමල් රාජපක්ෂ

තිස්වසරක් අප රටේ පැවැති යුද්ධය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් කර ඇතැයිද දැන් අපට ඇත්තේ රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයයි ද දේශපාලන භේද අමතක කර දමා රට සංවර්ධය කිරීමේ කාර්යට අප සියලු දෙනාම එක්විය යුතුයැයි වරාය සිවිල් ගුවන්සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හිඟුර රංචමඩගම ගම්මානයේ ඉදිකරන ලද ප‍්‍රජාශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදීය. ශ‍්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් මේ ප‍්‍රජා ශාලාව ඉදිකරන ලදී.

තවදුරටත් කතා කළ චමල් රාජපක්ෂ මහතා ලෝකය පුරාම අද ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. අප රටටත් මේ නිසා යම් බලපෑමක් ඇතිවෙලා.

අර්බුදයට අප මුහුණදිය යුතුයි. ඒ නිසා අප රට සංවර්ධනය කිරීම වේගවත් කළ යුතුයි අප රටේ වගා කළ හැකි සෑම තැනම අප වගා කළ යුතුයි.

හම්බන්තොට වරාය දැන් ඉදිවෙමින් පවතිනවා. එය නියමිත කාලයට පෙර අවසන් කර විවෘත කිරීමට හැකියාව තිබෙනවා.

එසේ වූ විට 2010 හම්බන්තොට වරායට නැව් එනවා. අද රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ ගැන පැහැදි සිටින විරුද්ධ පක්ෂයේ මන්තී‍්‍රවරුන් විශේෂයෙන් ද්‍රවිඩ මන්තී‍්‍රවරු තිදෙනෙක් රජයට එකතු වෙන්න සාකචඡා කර ගෙන යන බවද ඇමැතිවරයා කීවේය.

වාරිමාර්ග අමාත්‍ය ජයතිස්ස රණවීර මහතා - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වී අවුරුදු තුනක් ගතවෙන කොට ත‍්‍රස්තවාදය සම්පූර්ණ යෙන්ම පරාජය කර දැමූ බවත් මේ නිසා අද බියෙන් සැකෙන් තොරව ජනතාවට ජීවිත්වීමට හැකි යයිද පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් බවත් ඔහුගේ නායකත්වය අප රටට තිබෙන නිසා වෙනත් නායකයන් අපට අවශ්‍ය නැති බවද කීය.

ශ‍්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ රංජිත් ගුණසේකර මහතා - ගමේ සංවර්ධනය සඳහා ශ‍්‍රී ලංකා දක්ෂිණ සංවර්ධනය විශාල වැඩ කොටසක් කරගෙන යන බවත් නොදියුණු ගම්මාන වලට අවශ්‍ය යටිතල පහසුකම් සලස්වමින් එම ගම්මාන දියුණු කිරීම රජයේ කාර්යය භාරයක් බැවින් එම කටයුත්තට ශ‍්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය අනුග‍්‍රහය ලබා දෙන බව පැවැසීය.

මේ රැස්වීම අමතා තවත් කීප දෙනෙක්ම කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා