මුලතිව් ගස් බෙනයකින් කොටි සැටලයිට් දුරකථන

මුලතිව් ගස් බෙනයකින් කොටි සැටලයිට් දුරකථන

කොටි නායක ප‍්‍රභාකරන් භාවිතා කළ වර්ගයේ නවීන සැටලයිට් දුරකථන, මාලිමා යන්ත‍්‍ර ඇතුළු රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් මුලතිව් මුල්ලියාවලි කට්ටකාඩු කැලෑවේ විශාල පළු ගසක බෙනයක සඟවා තිබියදී වවුනියාව පොලිසිය මගින් පෙරේදා (24) සවස සොයාගෙන තිබේ.

නවීන තාක්ෂණයෙන් යුත් ලෝකයේ ඕනෑම රටකට කතා කළ හැකි සැටලයිට් දුරකථන 12 ක්, මාලිමා යන්ත‍්‍ර 44 ක්, එම දුරකථන සිම් කාඩ් 13 ක්, ජී. පී. එස්. උපකරණ 39 ක්, දුරදක්නා 6 ක්, එස්. ජී. පතරොම් 15 ක් මෙහිදී සොයාගෙන තිබේ.

උප පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර මහතාට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරීක්‍ෂක බන්දුලසේන මහතා ඇතුළු පිරිසක් කළ වැටලීමකදී මෙම උපකරණ සොයාගෙන තිබේ.

කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ඉහළ පෙළේ කොටි නායකයින් භාවිතා කොට ඇත්තේ අත්අඩංගුවට පත් වූ මෙවැනි වර්ගයේසැටලයිට් දුරකථන බව පවසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා මේවා ඉතා වටිනාකමින් ඉහළ මෙන්ම නවීන තාක්ෂණයෙන් යුතු ඒවා බවද පවසයි.

වන්නි ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, පොලිස් අධිකාරි රවිමල් කොඩිතුවක්කු, මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි මේ වැටලීම සිදුකොට ඇති අතර වැටලීම සඳහා 59 සේනාංකාධිපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත, මේජර් දිසානායක, මේජර් හේරත් මහත්වරුන්ගේ සහාය ලැබුණු බවද වවුනියාව පොලිසිය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා